අපේක්ෂිත පරදි 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණය එක්සත් ජාතික පෙරමුණට ජය අත්කර දී අවසන් විය.
දේශපාලන, ආර්ථික සහ සමාජීය යන සියලු ක්ෂෙත්‍රයන්හිදී ම යහ පාලනය සහ සමානාත්මතාවය රජයන දේශයක් බවට ශ්‍රී ලංකාව ගෙනයාමේ දැවැන්ත අභියෝගයට දැන් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන සාමූහිකව මුහුණ දිය යුතු ය.
එහිලා ජනාධිපති සිරිසේන මුහුණ දෙන අභ්‍යන්තර අභියෝග පිළිබඳ හදිසි කටු සටහනක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. රනිල් විකුමසිංහ මුහුණ දෙන අභියෝග දෙවැනිව කටු සටහන් කරමු.
තමන් සතුව ලක්ෂ 58ක් ඇතැයි පාරම් බෑ ගෑ රාජපක්ෂ කඳවුර මහ මැතිවරණයෙන් ලක්ෂ 48කට පසු බැස්සේ ය. ලක්ෂ 62ක් සතුවූ රාජපක්ෂ විරෝධී පුලුල් පෙරමුණ මෙවර තරඟ කළේ ජනාධිපති සිරිසේන, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නැතිවය. එසේ තිබියදීත් ලක්ෂ 50ක් ලබා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත් වුයේ සිය ජන්ද පදනම වේගවත් ලෙස ඉහළ නංවා ගත් නිසා ය. ලක්ෂ 50 එජාප ජන්ද පදනමෙහි ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ ජවිපෙ, දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලද ජන්ද ලක්ෂ 11ක් ම වෙනම ලබා ගත් නිසා ය. ඊට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොදු අපේක්ෂකත්වය වෙත ගෙන ආ ශ්‍රීලනිප ජන්ද සංඛ්‍යාව ද ආපසු ඔහුට සහාය දැක්වූ පොදු පෙරමුණූ අපේක්ෂකයින් වෙත ඇදී ගිය නිසාත් ය. ඊට අමතරව මෙවර ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ජනාදිපතිවරණයට වඩා සියයට 4කින් අඩු ය.
රාජපක්ෂ තරඟ කළ කුරුණෑගල මෙම මැතිවරණයේ ජන්දදායක හැසිරීම සඳහා කැඩපතක් වැන්න. එහිදී රාජපක්ෂ කඳවුර ජය ගත්තේ අනූ නමයෙනි. ජනාධිපතිවරණයේ දී එය සතුවූ වැඩි ජන්ද 80000 මෙවර 30000 දක්වා පහත වැටුනි. මහ මැතිවරණයෙහි දී ජවිපෙ ලබා ගත් ජන්ද 40000 රාජපක්ෂ විරෝධී ජන්ද ලෙස සැළකෙන බැවින් ඇත්ත වශයෙන්ම නම් සමස්ත ජන්ද ප්‍රකාශවීම අනුව රාජපක්ෂ කඳවුර කුරුණෑගලින් පරාද ය. රාජපක්ෂ මැජික් එකක් කුරුණෑගල නැති බව මෙම ලියුම්කරු කීවේ මැතිවරණයේ මුල් දිනවලදීම ය.
2015 මහා මැතිවරණය විසින් පෙන්වා ලන අඳුරුතම චිත්‍රය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් රාජපක්ෂ වහලුන්ගේ පක්ෂයක් බවට පත්ව ඇති බවයි. මෙම වහලුන්ගෙන් වැඩි දෙනෙකු දූෂණ සහ භිෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති එමෙන්ම දෙමළ සහ මුස්ලිම් විරෝධී ජාතිවාදය කර පින්නා ගත් පිරිස් ය. එවැනි ජාතිවාදී දූෂිකයින් රාජපක්ෂ කඳවුරේ වැඩිම මනාප ලබා ගැනීමෙන් පෙන්නුම් කැරෙන්නේ රාජපක්ෂවාදී ජන ස්ථරය මෙරට වර්ගවාදී භීෂිත සහ දූෂිත දේශපාලන ක්‍රමයක් දිගටම ගෙන යෑම සඳහා බිය ජනක තොතැන්නක් විය හැකිව තිබූ බවයි. මෙම ස්ථරයෙහි සමාජිය නායකත්වය දරන්නේ රාජපක්ෂ විසින් සිංහල ජනයා අතර ගොඩ නගන ලද වර්ගවාදයේ සහ දූෂණයේ දේශපාලන පංතිය යි. එය කොතරම් බලගතුද යන්න රාජපක්ෂ කඳවුර ලබා ගත් ජන්ද ප්‍රමාණයෙන් සහ එහි වැඩිම මනාප ලබා ගැනීමට වංචනිකයන් සමත්වීමෙන් ම පෙනේ.
මහින්දානන්ද, විරවංශ, ගම්මන්පිළ, අලහප්පෙරුම, පොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ප්‍රේමජයන්ත, දිනේශ්, යනාදී ලෙස මෙම නම් වැල බොහෝ දිගය.
රාජපක්ෂ කඳවුර සිය මැතිවරණ ප්‍රචාරයේ ගාමක බලය ලෙස සළකන ලද්දේ යුදවාදය සහ සිංහල-බෞද්ධ අන්තවාදය යි. එය නිසඟයෙන්ම මෙරට සුලුතර ජන ප්‍රජාවන් වන දෙමළ සහ මුස්ලිම් ජන විරෝධයක් බවට පත් විය. කෙටියෙන් රාජපක්ෂ කඳවුර සිය දේශපාලනය පදනම් කලේ අන්තවාදී සිංහල ජාතිවාදය මතය. එම මතවාදය ගෙන ගියේ රාජපක්ෂවාදී දූෂණයේ සහ භීෂණයේ බලවේගයි.
මෙම රාජපක්ෂවාදී දේශපාලන ස්ථරය, ජනාධිපති සිරිසේනට පක්ෂපාතී දේශපාලන නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින් බවට පත්වීම සහමුලින්ම වාගේ වැළැක්වීමට සමත් වූහ. එයින් පෙනෙන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජන පදනම රාජපක්ෂ අල්ලා ගෙන ඇති අන්දමයි.
මෙම මැතිවරණයේ ඉහත කී වර්ධනයන් විසින් ශ්‍රීලනිපයේ සභාපති ධුරය දරන ජනාධිපති සිරිසේන වහාම මුහුණ දිය යුතු ප්‍රබල අභියෝගය දෙකක් ඉදිරිපත් කරයි. පළමුවැන්න නම් ශ්‍රීලනිපය රාජපක්ෂ ග්‍රහණයෙන් මුදවාගෙන යළි බහුත්වවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් කරා ගෙන ඒමය. එය ලෙහෙසි නැති එහෙත් ජය ගත හැකි අභියෝගයකි.
වෘකයින් සමඟ සටන් කිරීමට නම් වෘකයින් ලෙසම හැසිරිය යුත් යැයි කීවේ රුසියානු විප්ලවයේ නායකයා වූ ලෙනින් විසිනි. දැන් ජනාධිපති සිරිසේන ද ඒ බව පසක් කර ගෙන ඇති බව පෙනේ. පිස්සු බල්ලාට දියට වැටුණු පසු යළි ගොඩට ඒමට බැරි වන ලෙස පහර දිය යුතු යැයි කීවේ චීන විප්ලවයේ නායකයා වූ මා ඕ සේතුං ය. දැන් දියට වැටී ඇති රාජපක්ෂවාදී පිස්සු බල්ලන්ට දේශපාලන වශයෙන් කිසිදු ඉඩක් නොදී සිය බලවේග යළි පෙළ ගස්වා ගැනීම ජනාධිපති සිරිසේන සතු වගකීම වේ.
මෙම කර්ත්‍යවයේ ලා ජනධිපති සිරිසේන පරිස්සම් විය යුතු ප්‍රධාන බොරු වලක් නම් දැක්මක් සහ කැපවීමක් නැති පිරිස් විසින් ඔහු වටකර ගැනීමට ඇති ඉඩ කඩයි.
වර්ගවාදී සහ රාජපක්ෂවාදී පුද්ගලයින් ගණනාවක් ජනාධිපති කාර්යාලය අරක්ගෙන සිටින බව රහසක් නොවේ. මහා මැතිවරණයෙහි රාජපක්ෂගේ පරාජය පෙනි පෙනී තිබියදීත් රාජපක්ෂ කඳවුර ජයග්‍රහණය කරන බවට කිලී මහරාජා සමඟ එක්ව ප්‍රචාරයන්හි යෙදුනේ එම පිරිස් ය. එමගින් ඔවුන් උත්සාහ කලේ අවසන් මොහොතෙහි හෝ රාජපක්ෂ කඳවුරට ඔක්සිජන් ගැසීමට ය. ඇත්ත වශයෙන්ම නම් රාජපක්ෂ ශක්තිමත්වීමට කාලය ලබා දී ඔහුට නාමයෝජනා දීම කරා ජනාධිපති සිරිසේන දුෂ්කර තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් මෙම පිරිස් වග කිව යුතු ය.
එකී කඩාකප්පල්කාරී පුද්ගලයින් කිලී මහාරාජා විසින් කොතරම් පුම්බන ලද්දේ ද යත් පසුගිය ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ ව්‍යාපාරය තුල සිය සිවිල් නායකත්වය ඉහළින්ම පෙන්වා ලූ සමන් රත්නප්‍රිය සහෝදරයාට අවසන් දින කිහිපය තුළ ප්‍රසිද්ධයේම එවැනි පිරිස් වෙත අනතුරු හඟවා සිටීමට සිදු විය.
නායකයකුට තනිව සටන් කළ නොහැකි ය. නමුත් සටන්කාමී හමුදාවක් ගොඩ නඟා ගැනීමේ පළමු පියවර වන්නේ දක්ෂ සහ පක්ෂ කපිතන්වරු, ලුතින්නවරු සහ ඇසූ පිරූ තැන් ඇති උපදේශකයින් පත් කර ගැනීමයි. ජනාධිපති සිරිසේනගේ සාර්ථකතවයෙහි විශාල කොටසක් රඳා පවතිනු ඇත්තේ ඔහු කොතරම් දුරකට එවැනි සහායක කණ්ඩායමක් පිහිටුවා ගැනීමට සමත් වන්නේ ද යන්න මත ය.
ලිපියෙහි ආරම්භයෙහිදීම සඳහන් කළ දෙවැනි අභියෝගය වන අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ එක් වී සම්මුති බද්ධ සහජීවන ආන්ඩුවක් ගොඩ නැගීම සහ පවත්වාගෙන යාම පිණිසද එවැනි කණ්ඩායමක් පත් කර ගැනීම තීරණාත්මක වේ. එසේ නොවුවහොත් සහ ජීවන ආණ්ඩුවක් වෙනුවට සිදුවනු ඇත්තේ කකුළෙන් ඇදීමයි.
ජනාධිපති සිරිසේනට සිය නායකත්වය සහ බහුත්වවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් පක්ෂයෙහි පිහිටුවා ගැනීමට එතරම් කාලයක් ඉතිරිව නැත මන්ද යත් විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයින් පත් කර ගැනීමේ මැතිවරණ පමා නොකොට අඩුම වශයෙන් වසරක් තුළ හෝ පැවැත්විය යුතු බැවිනි. එය ඔහුගේ නායකත්වය උරගා බැලෙන ඊළඟ තරඟ බිම වනු ඇත.
ශ්‍රීලනිපය තුළ බලය අල්ලා ගෙන සිටින රාජපක්ෂවාදී දූෂණයේ සහ භිෂණයේ දේශපාලන පංතිය පරාජය කිරීම සඳහා යතුර වනු ඇත්තේ දූෂිකයින්ට සහ භීෂකයින්ට නිසි දඩුවම් ලබා දෙන ඉක්මන් යාන්ත්‍රණයන් පිහිටුවීමයි. චංවා දූෂණ සෙවීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසම තවම වැඩ අල්ලාවත් නැත. අල්ලස් සහ දූෂණ කොමිසම රාජපක්ෂවාදීන්ගේ අත කොළුවකි. මේ අංශයේ යම් කැපී පෙනෙන වැඩ කොටසක් තර ඇත්තේ පොලීසියේ දුෂණ විමර්ශණ ඒකකය පමණකි. රාජපක්ෂ සමය අරක්ගත් පිශාචයින්ට, ප්‍රේතයින්ට සහ ලේ පිපාසිත මහසෝනුන්ට තව දුරටත් දොළ පිදේනි දීමට අවශ්‍ය නැත. ඔවුන්ට හිරබත් කන්නට සැලැස්වීම පමා නොකළ යුතු ය.
දැනටමත් හෙළිදරව් වී ඇති අපරාධ ගණනාවක්ම වෙති. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය, පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ් ඝාතනය, කොළඹින් පැහැරගත් තරුණ පිරිස් ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි රඳවා සිට පසුව ඝාතනය කිරීම, සිරිලිය හොර ගිනුම, වීරවංශගේ හොර ගමන් බලපත්‍ර, ජොන්ස්ටන්ගේ හොර අරක්කු, ප්‍රසන්නගේ පගා, යනාදිය වහාම අධිකරණය හමුවෙහි විනිශ්චය සඳහා ඉදිරිපත් කළ යුතු වේ. අවශ්‍ය නම් මේ සඳහා අන් බොහෝ රටවලදී මෙන් විශේෂ අධිකරණයන් පිහිටුවිය යුතු ය.
මෙවැනි පිළිවෙතක් අවශ්‍ය වන්නේ හුදෙක් ශ්‍රීලනිපය සුද්ධ කිරීම පිණිස නොව ඉදිරියෙහි දී එවැනි දුෂණ සහ භීෂණ ඇති වීම අවම කිරීම පිණිස ය.
මෙම කෙටි හදිසි සටහන අවසන් කිරීමට පෙර තවත් එක් කරුණක් සඳහන් කළ යුතු ම වේ. එනම් රාජපක්ෂවාදී දූෂණ භීෂණ බලවේග දැන් සිය පරාජය පිළිගෙන නිහඬව සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම මරාන්තික වරදක් විය හැකි බවයි. මැතිවරණයෙන් ලබා ගනු බැරිවූ බලය ලබා ගැනීමට අන් විධි සහ ක්‍රම භාවිත නොකරනු ඇතැයි ජනාධිපති සිරිසේන කල්පනා නොකළ යුතු ය. එමෙන්ම රාජපක්ෂවාදී වර්ගවාදී දේශපාලන බලවේග සහ පුද්ගලයින් ගොනු කර ගනිමින් අන්ත ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් කරා රාජපක්ෂ කඳවුර යොමු වීමට ද ඇති ඉඩ කඩ බොහෝ ය. මන්ද යත් රාජපක්ෂවාදී බලවේගයන්ගේ එකම අවකාශය වනු ඇත්තේ යුද වාදී වර්ගවාදී වෛරකාරී දේශපාලන ය පමණක් නිසා ය. විරවංශලාට, ගම්මන්පිළලාට, දිනේශ්ලාට සහ රාජපක්ෂලාට ඇති එකම වහළ වනු ඇත්තේ වර්ගවාදය යි.
වර්ගවාදී මෙන්ම දූෂිත සහ භීෂිත දේශපාලනඥයින් හෙළිදරව් කැරෙන සහ දඩුවම් කැරෙන නීතිමය සහ සමාජීය ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය වන තවත් හේතුවක් වන්නේ එයයි.
ජනාධිපති සිරසේන, ඔබට මෙකී අභියෝග ජයගැනීමෙහිලා ධෛර්‍ය පතමු!