Tuesday, May 7, 2024

රාජපක්ෂ කෝටි ගණනින් වාහන ද කෑමද ගනිමින් මහජන මුදල් විනාශ කළ හැටි

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ජනාධිපති කාර්යාලයට වාහන 187ක් කුලී පදනම මත සේවයට ලබා ගෙන තිබු බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවක් මඟින් අනාවරණය වී ඇත. මෙම වාහන සඳහා රුපියල් තිස්දහසේ (රු. 30,000) සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස (රු. 150,000) දක්වා කුලියක් මසකට ගෙවා ඇති අතර එක් මාසයක් සඳහා මෙම වාහන 187 වෙනුවෙන් ගෙවා ඇති කුලිය රුපියල් එක්කෝටි පනස් හතර ලක්ෂ හතලිස් දෙදහස් දෙසීයකි (රු. 15,442,200). එනම් මසකට රුපියල් කෝටි 11.5කටත් වඩා වැඩි මුදලකි.

මෙලෙස වාහන 187ක් කුලී පදනම මත ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වෙන් කළ රජයේ වාහන එක්දහස් ගණනකට අමතර වශයෙනි. මෙම වාහන දහස් ගණන වෙනුවෙන් 2014 වර්ෂයේ නොවැම්බර් මස දරා ඇති ඉන්ධන වියදම රුපියල් මිලියන 49.6කි. (කෝටි පහකට ආසන්න වේ) 2014 දෙසැම්බර් මස ඉන්ධන වියදමරුපියල් මිලියන 43.5කි. (රුපියල් කෝටි 4.3කි) එනම් මෙම මාස දෙක සඳහා මහින්ද රාජපක්ෂගේ වාහන තොගය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වියදම් කර ඇති මුදල (කුලිය හා ඉන්ධන) රුපියල් මිලියන 123.9කි. (එනම් රුපියල් කෝටි 12කට වැඩි මුදලකි)

වාහන සඳහා මාස දෙකට වියදම් කර ඇති මුදලට අමතරව එම මාස දෙකේ කෑම බීම සඳහා ද ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිලියන 150ක් එනම් රුපියල් කෝටි 15ක් වියදම් කර ඇත. ඒ අනුව වාහන හා කෑමබීම සඳහා මාස දෙකකට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 273.9කි. (රුපියල් කෝටි 27 ද ඉක්මවා ඇත) රාජපක්ෂ පවුල ගමන් බිමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා හිතුමතේ භාවිතා කරන ලද අතර ඒ වෙනුවෙන් ගුවන් හමුදාවට ගෙවිය යුතු මුදල් ද ඉහතින් දැක්වූ රුපියල් මිලියන 273.9ට එකතු වුවහොත් එම මුදල කෙතරම් විශාල වේද? යන්න සිතා ගැනීම ඔබටම භාර කරමි.

කුලී පදනම මත ලබා ගෙන ඇති එම වාහන 187 අතුරෙන් 36ක් යොදවා ඇත්තේ විශේෂ රාජකාරී සඳහාය. මෙම විශේෂ රාජකාරි මොනවාද යන්න පිලිබඳ සිදු කළ විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණක් නම් එම වාහන 36න් 07ක් ලබා දී ඇත්තේ විමල් වීරවංශගේ පක්ෂ සාමාජිකයින්ට බවයි. එම වාහන පහත සඳහන් ලෙස ලබා දී තිබුණි.

වාහන අංකය වාහනයේ වර්ගය ලබා දී ඇති පුද්ගලයා මාසික කුලිය රු.
KT – 5335 මොන්ටේරෝ ස්පෝර්ට් සරත් වීරවංශ 150,000.00
KO – 1375 ටොයෝටා ඇලියොන් 240 ප්‍රියන්ජිත් 80,000.00
PB – 0645 ඩබල් කැබ් ජයසිංහ 120,000.00
PE – 6342 නිසාන් නවාරා කැබ් කොඩිතුවක්කු 120,000.00
JP – 4312 ඩබල් කැබ් ප්‍රියන්ත බෙල්ලන 120,000.00
KO – 9480 ටොයෝටා ඇලියොන් මුසාමිල් 80,000.00
KO –  9416 ටොයෝටා ප්‍රිමියෝ පද්ම උදයශාන්ත 30,000.00700,000.00

විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ සමයේ ඔහුගේ සහෝදරයා පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු අමාත්‍යංශයේ වාහන ද භාවිතා කරන ලදී. මසකට රුපියල් ලක්ෂ හතක කුලී වාහන රැගෙන විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂට ඉටු කළ විශේෂ රාජකාරිය කුමක්ද යන්න ජනතාවට පැහැදිලි කළ යුතුය. බොරු දේශප්‍රේමය මවා ගෙන යටි ගිරියෙන් බෙරිහන් දෙන වීරවංශගේ දේශපාලන නිරුවත තේරුම් ගැනීමට මෙය එක් උදාහරණයක් පමණි. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හෙන්චයියන් විසින් මහජන මුදල් කෝටි ගණනින් විනාශ කළ ද මොවුන් ඒ පිලිබඳ එකදු වචනයක් හෝ පිට නොකළ හේතුව මෙයින් පැහැදිලිය. විමල් වීරවංශට හිතු හිතූ ලෙස සොරකම් කර ගැනීමට ඉඩ සලසන අතර ඔහුගේ පක්ෂයේ අනෙකුත් කැනහිලුන් වෙනුවෙන් මහජන මුදලින් මාසයකට කුලිය රුපියල් ලක්ෂ ගණන් ගෙවමින් සුඛෝපභෝගී වාහන ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට ලබා දී තිබු බව මෙම වාර්තාවෙන් හෙළි වේ. වාසුදේව නානායක්කාර, චන්දන කත්‍රිආරච්චි, සුසන්තිකා ජයසිංහ, රොස්මන්ඩ් සේනාරත්න, තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, ඒ.එච්.එම්.අස්වර්, වසන්ත ඔබේසේකර, රෝහණ වීරසිංහ මෙලෙස කුලියට ලබා ගත් වාහන ලබා දුන් අයගෙන් කිහිපදෙනෙකි. වාහනයක් තීරුබදු රහිතව ගෙන්වීමට ලබා දෙන බලපත්‍රය විකුණා දමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පළාත් සභා මන්ත්‍රීවරුන්ට ද මෙලෙස වාහන ලබා දීම කිනම් අපරාධයක් ද?

කුලියට ලබා දී ඇති වාහන වල හිමිකරුවන් ද, මෙම විමර්ශනයේදී හෙළි වී ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ වාහනය පාවිච්චියට ලබා දී ඇති පුද්ගලයාගේ සමීප ඥාතීන්ගෙන් එම වාහන කුලියට ලබා ගෙන ඇති බවයි. රෝස්මන්ඩ් සේනාරත්න වෙනුවෙන් ලබා දී ඇති වාහනය කුලියට ගෙන ඇත්තේ ආර්.එම්.සේනාරත්නගෙනි. තවද හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක වෙනුවෙන් ලබා දී තිබු PB – 5748 වාහනයට කුලිය ගෙවා ඇත්තේ මදුෂා සඳමිණී දිසානායකටය. වර්නන් සමරකෝන්ට ලබා දී තිබූ HS – 7780 වාහනයට කුලිය L.I.සමරකෝන්ට ගෙවා ඇත. ඒ.වීරරත්න වෙත ලබා දී තිබූ KL –  5352 වාහනය කුලියට ගෙන ඇත්තේ සසී සුරංග වීරරත්න යන අයගෙනි. මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරී රොහාන් වැලිවිට ගේ ඥාතියෙකුට අයත් KI – 6789 අංක දරණ මෝටර් රථය මහජන සම්බන්ධතා අංශයට මසකට රුපියල් තිස්පන්දහසක (රු. 35,000) කුලියට ලබා ගෙන ඇත.

මේ උදාහරණ කිහිපයක් පමණි. වාහන කුලිය ගෙවා ඇති අයගේ නාමලේඛනය හා වාහනය පාවිච්චි කරන ලද අය පිළිබඳව දීර්ඝ විමර්ශනයක් තුළින් මීට වඩා තොරතුරු හෙළිදරව් කර ගත හැකිය.

මෙම වාහන තොගය අතුරෙන් PP – 6772 අංක දරණ ඩිමෝ බට්ටා ලොරි රථය සත්ත්ව ආහාර ප්‍රවාහනය සඳහා මසකට රුපියල් තිස්දහසක (රු. 30,000) කුලියට ලබා ගෙන ඇත.

මහින්ද රාජපක්ෂගේ මන්දිරයේ බල්ලන් 40ක්, පෝනියන්, මැකෝ ගිරවුන්, එළුවන් යනාදී වශයෙන් සත්තු වත්තක් පවත්වාගෙන ගිය බව ද රාජපක්ෂට මන්දිරයෙන් එලියට බසින්නට සිදු වූ විට මෙම සතුන් නොයෙකුත් පුද්ගලයන් විසින් රැගෙන ගිය බව එම දිනවලදී මාධ්‍ය මඟින් හෙළිදරව් කරන ලදී. ඒ බැව් සනාථ කෙරෙන එක් සාධකයක් ලෙස මෙම ලොරි රථය හඳුන්වා දිය හැකිය. නොඑසේ නම් සත්ත්ව ආහාර ප්‍රවාහනයට ලොරි රථයක් කුලියට ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. වාහනයෙන් ප්‍රවාහනය කරන ලද්දේ මන්දිරයේ සිටි සතුන්ගේ ආහාර බව පැහැදිලිය. මහ රජාගේ සිත් ප්‍රීතිය උදෙසා සුරතලයට ඇති කළ සතුන්ගේ කෑම ප්‍රවාහනයටද ගෙවන ලද්දේ මෙරට මහජන මුදල් ය. කෑම ප්‍රවාහනයට කුලිය පමණක් රුපියල් තිස්දහසක් (රු. 30,000) නම් කෑම සඳහා කෙතරම් මුදලක් වැය කරන්නට ඇත්ද?

අසාධ්‍ය රෝගියෙකු ප්‍රවාහනය කිරීමට ගිලන් රථයක් නොමැති ග්‍රාමීය රෝහල් කොතෙකුත් මෙරට තිබේ. වියළි කාලවලදී පානීය ජල බිඳක් බෙදා හැරීමට ජල බවුසරයක් නොමැති පළාත් පාලන ආයතන කීයක් මෙරට තිබේ ද? බහුතරයක් පීඩිත ජනතාව මෙවන් දැවෙන ප්‍රශ්නවලින් මිරිකී සිටියදී මහින්ද රාජපක්ෂ තම පැවැත්ම වෙනුවෙන්, තම වන්දිභට්ටයන් වෙනුවෙන් රුපියල කෝටි ගණනින් වැය කර වාහන ලබා දීමෙන් එක් පැලැන්තියකට පමණක් වරප්‍රසාද ලබා දෙන ලදී. මෙම කල්ලිය සමඟ එක පතේ කන එවුන්ට පමණක් සියලු සැප පහසුකම් ජනතා මුදලින් ලබා දී මොවුන් තමන්ගේ සුවච කීකරු අතවැසියන් බවට පත් කර ගන්නා ලදී. අද දවසේ ජනතාව ඉදිරියට පැමිණ නැවතත් මහින්ද රාජපක්ෂ නමැති පිල්ලිය බලයට ගෙන ඒමට වලිකන්නේ රාජපක්ෂ යටතේ ජනතා මුදලින් සුර සැප විඳින ලද මෙම රාජපක්ෂ ගැත්තන්ම නොවේ ද?

(ලිපයේ මුල් මැය: රාජපක්ෂලා  සහ ගෝලයෝ සුර සැප විඳි අයුරු)

විශේෂ ලියුම් කරුවකු විසිනි

– ලංකා ට්රුත්

 

Archive

Latest news

Related news