Thursday, April 18, 2024

ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ – අජිත් සී පෙරේරා

කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනයේ එකම සටන් පාඨය වී ඇත්තේ වර්ගවාදයයි. ජාතිවාදයයි. ආගම්වාදයයි. විටෙක ජාතික කොඩිය විකෘති කිරීමට අනුබල දෙන මහින්ද රාජපක්‍ෂ තවත් විටක සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතරේ වෛරය පැතිරීමට කටයුතු කරයි.

ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් උතුරේ දේශපාලන පක්‍ෂ මැතිවරණයකදී ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්වයං පාලනයක් වැනි වචන තම මැතිවරණ ප්‍රකාශවලට ඇතුල් කරන බව දනී.

එය වර්තමානයේදී මහින්ද රාජපක්‍ෂ සිංහල වර්ගවාදය පිළිබඳව කරනු ලබන ප්‍රකාශ හා සමාන වේ. මෙම ස්වයං තීරණ අයිතිය ඔහුගේ දේශපාලන සගයන් වන ඩග්ලස් දේවානන්ද හා වාසුදේව නානායක්කාර ද සිදු කරයි. අද ද ඔවුන්ගේ ස්ථාවරය එයයි.

මහින්ද රාජපක්‍ෂගේ හිඟන්නාගේ තුවාලය :

දශක තුනක යුද්ධය මහින්ද රාජපක්‍ෂට හිඟන්නාගේ තුවාලය හා සමාන වේ. යුද්ධයෙන් පීඩා වින්දේ දකුණේ සහ උතුරේ සාමාන්‍ය ජනතාවය. යුද්ධය නිසා ජීවිත අහිමි වූයේ යුද්ධයට එරෙහි වූ දකුණේ සහ උතුරේ දෙමව්පියන්ගේ දරුවන් ය. යුද්ධයට ජීවිත පූජා කළ දේශපාලන නායකයින් අතරේ සිංහල, දෙමළ හා මුස්ලිම් පුද්ගලයින් රැසකි.

එමෙන්ම මහා සංඝරත්නය, හින්දු, කතෝලික හා ඉස්ලාම් පූජකයින් ද යුද්ධයට ජීවිත පූජා කළෝය. මේ සියල්ල මඟින් ද රාජපක්‍ෂට වැලදි ඇති ඇම්නීසියා (Amnesia) රෝගය නිසා අමතක වී ඇත.

ඔහුට අමතක වී ඇති වැදගත්ම කරුණ වන්නේ එල්ටීටීඊ සංවිධානය සමඟ ඔහු ගොඩනගාගෙන තිබූ මිත්‍රත්වයයි.

මහින්දගේ එල්ටීටීඊ මිත්‍රත්වය :

මහජන මුදලින් රුපියල් මිලියන 800 ක් රාඩා ආයතනය හරහා සෘජුවම ප්‍රභාකරන්ගේ අතට ලබාදුන්නේ මහින්ද රාජපක්‍ෂය. එම නිසා ප්‍රභාකරන්ගේ ආශිර්වාදයෙන් 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට මහින්ද රාජපක්‍ෂට හැකි විය.

ප්‍රභාකරන් නොසිටින්නට මහින්ද රාජපක්‍ෂ මේ රටේ ජනාධිපති නොවේ.

අරන්තලාව භික්‍ෂු ඝාතනයට පොලිස් නිලධාරීන් 600 කගේ ජීවිත විනාශයට වගකිව යුතු යැයි ප්‍රකාශිත කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන්ට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති ධූරය පිරිනැමුවේ ද මහින්ද රාජපක්‍ෂය.

එමෙන්ම පිල්ලෙයාන්ට නැගෙනහිර මහඇමති ධූරය ලබාදුන්නේ ද මහින්ද රාජපක්‍ෂ විසින්ය.

ශ්‍රී ලංකාවේ ජනතාවට රාජ්‍ය නායකයින්ට මරු කැඳවමින් විවිධ ස්ථානවල පිපිරී ගිය බෝම්බ එල්ටීටීඊ සංවිධානයේ මුහුදු බලකායට අවශ්‍ය අවි ආයුධ ලබා ගැනීමට මුදල් සම්පාදනය කළ අවි ආයුධ ජාවාරමේ ප්‍රධාන ඒජන්තවරයා වූ ද ප්‍රභාකරන්ගේ යුද්ධයේ මහ මොලකාරයා වූ ද කේ. පී ට විසුම්පාය ලබාදුන්නේ ද මහින්ද රාජපක්‍ෂ විසින්මය.

මේ සියල්ලම කුරුණෑගල දිස්ත්‍රීක් අපේක්‍ෂකයාට වැළඳී ඇති ඇම්නීසියා (Amnesia) රෝගය නිසා අමතක වී ඇත.

ශ්‍රී ලංකාව සින්නක්කරව තමන්ට :

මහින්ද රාජපක්‍ෂ සහ පවුල ශ්‍රී ලංකාව සින්නක්කරව තමන්ට අයත් විය යුතු බවත්, ජීවිතාන්තය දක්වා ජනාධිපති තනතුර දැරීම සඳහා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේත්, එල්ටීටීඊ පරාජයට පත්කොට රට සදහටම ත්‍රස්තවාදයෙන් ගලවා ගත් බව ප්‍රකාශ කරමිනි.

වර්තමානයේ ඔහු කියන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදය යලි හිස ඔසවන බවය.

13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගොස් බලය බෙදාහරින බවට සහ යුද්ධ අපරාධ ගැන අන්තර් ජාතික පරීක්‍ෂණයකට ඉඩ දෙන බවට බෑන් කී මූන්ට සහ ඉන්දියාවට දුන් ප්‍රතිඥාව අමතක කරමින් රට බෙදීමක් ගැන දැන් ඔහු දොඩවයි.

ඔහු පවසන පරිදි ත්‍රස්තවාදය අවසන් වූවා නම් එල්ටීටීඊය විනාශ කළා නම් යලිත් එය හිස එසවීමට ඉඩක් නැත. යලිත් එල්ටීටීඊය හිස ඔසවන්නේ නම් ඔහුගේ පලමු ප්‍රකාශය බොරුවකි.

එය සත්‍ය නම් දැන් ඔහු නගන ප්‍රකාශ ද බොරුවකි.

මෙයින් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂ ඇම්නීසියා (Amnesia) රෝගය බරපතල ලෙස රෝගාතුරව සිටින බවයි.

පටු දේශපාලනයෙන් රට ගිනි තැබීම:

මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඔහුගේ වර්ගවාදී නඩය මෙම පටු දේශපාලනයෙන් රට ගිනි තැබීම වහාම නතර කළ යුතුය.

2005 සිට පැවති සෑම මැතිවරණයකදීම මහින්ද රාජපක්‍ෂට තිබූ එකම සටන් පාඨය ජාතිවාදයයි.

ජනවාරී 8 මේ රටේ ජනතාව ප්‍රති‍ක්ෂේප කළේ ද මෙම සටන් පාඨයයි.

එය අමතක කරලමින් මෙම සටන් පාඨයම ඉදිරිපත් කිරීම මහින්ද රාජපක්‍ෂ හා ඔහුගේ නඩය ගෝත්‍රික සමාජ ගති පැවතුම්වලින් මිදීමට ඇති නොහැකියාව යලි යලිත් පෙන්වා දේ. මැතිවරණයට ඉතිරිව ඇති දින කිහිපය තුළ හෝ රටේ ජනතාවට බුද්ධිමත්ව ආමන්ත්‍රණය කිරීමේ සටන් පාඨයක් හොයා ගැනීමට මහින්ද රාජපක්‍ෂට ඉඩ තිබේ.

එය රාජකමේ සිට ‍දොරටු පාල ධූරයට පල්ලම් බැසීමට නම් කළ යුතු හොඳම කාර්ය බව අවධාරණය කරමු. මැතිවරණයට ඇත්තේ තව දින 10 ක් පමණි.

– හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් සී පෙරේරා විසින් නිකුත් කරන ලද නිවේදනයකි.

Archive

Latest news

Related news