Wednesday, May 8, 2024

රාජපක්ෂගේ ගුටි, වීරවංශගේ නටන වතුර සහ ගොඨාගේ සුදු වෑන් – සුනන්ද දේශප්‍රිය

රාජපක්ෂවරුන් මේ දිනවල හිස ගිනා ගත්තා සේ ය. මහ රාජපක්ෂ තමන් කියන කරන දෙයක්වත් හරි හැටියට නොදන්නා ගානය. වරෙක කියන්නේ තමන් පන්ඩිතකමක් කරගත් නිසා දෙවසරකට පෙර ජනාධිපතිධුරය නැති වූ බවයි. තවත් වරෙක කියන්නේ දැන් හෙළිකොප්ටර් නැති නිසා මහ මඟ ගමන් කරන්නට සිදුව ඇති නිසා තමන් කළ සංවර්ධනය දෑසින්ම දකින්නට පුළුවන් බවයි. තවත් තැනෙකදී කියන්නේ තමාට හොරා හොරා හොරා කියන බවත් එහි තේරුම හොඳම රාජ්‍ය නායකයා බවත් ය. රාජපක්ෂගේ සමස්ත දේශපාලනය කැටිකරගත් සටන්පාඨය වන ‘අලුතෙන්ම පටන්ගමු! ‘ යන්න විසින් පසුගිය දස වසර පුරා රාජපක්ෂ යෙදී සිටි දේශපාලනය නිෂේධ කරයි!

මේවා සොහාන් ළකුනු මුහුණේ වැටෙන විට කියැවෙන කතා ය.

මේ අස්සේ තවත් අපූරු කතාවක් කියා තිබුනේ ජනතාවගෙන් හිඟා කාගත් රුපියල් සියයේවායින් පළාත් සභා මංත්‍රී කනෙකු වූ ගම්මන්පිල ය. තමන් අගොස්තු 18වනදා බලයට පැමිණි වහාම සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම ගැන අලුතින් පරීක්ෂණ ආරම්භ කරන බවය. එකම අඩුපාඩුවකට තිබුණේ ලසන්ත ඝාතනය කළ 2008 වසරේ සිට සහ ප්‍රගීත් අතුරුදහන් කළ 2010 වසරේ සිට එම පරීක්ෂණ නොකළේ ඇයි දැයි කියා සිටීම පමණය! රාජපක්ෂවරුන් පසුගිය කාලය පුරාම වළිකෑවේ ලසන්ත ඝාතනය සහ ප්‍රගීත් අතුරු දහන්කිරීම කාලයේ වැලිතලාවෙන් වසා දැමීමට ය.දැන් ගම්මන්පිල එම පරීක්ෂණ යළි ආරම්භ කරන බවට පයිත්තියන් කතා කිය යි.

මිරිහානේ දී ගොඨාගේ සුදුවෑන් රථයක් පොලීසියට හසු වීමට දවස් හතරකට පෙර අනුරාධපුරයේ දී වීරවංශ බිහිසුණු කතාවක් කීවේ ය. එනම් රාජපක්ෂ විරෝධී ප්‍රචාරයන්හි නියුතු මංගල සමරවීරගේ කටකතා බලකායේ පිරිස්හි හිස් මත නටන උණුවතුර වක් කරන ලෙසයි. නටන උනුවතුර කවරකුගේ හෝ හිසට වක්කිරීම මරණීය විපාක ගෙන දිය හැකි අපරාධයකි. විරවංශ මෙම ප්‍රකාශය කළේ රාජපක්ෂ වේදිකාවේ හිඳුවාගෙන ය. පසුගිය කාලයේ මෙකී සුදුවෑන් වලින් පැහැර ගිය ජනයාට පැමිණවුයේ වීරවංශ යෝජනා කරන තාලයේ වධ බන්ධනයන් ය.

වීරවංශගේ ඒ ප්‍රකාශයෙන් කුල්මත් වී දෝ රාජපක්ෂ ඉන් දින හතරකට පසු තමන්ගේ කතාවක් අසා සිටීමට පැමිණි පුද්ගලයකුට පහර දීමට රූපවාහිනී කැමරා ඉදිරියෙහිම මිට අමෝරා ගත්තේ ය‍. සිය ආරක්ෂාවට අපුමාණවත් යැයි ආන්ඩුවට චෝදනා කරන රාජපක්ෂ අකුරැස්සේ පැවැති එම රුස්වීමට යන්නේ කිසිදු ආරක්ෂාකාරී  බවකින් තොරව මහා ජනයා මැදින් ගෙදර යන්නා සේ ඇවිද ගෙන ය. එල්ටීටීඊ කාරයකුට නොව ඕනෑම සතුරකුට එසේ ඇවිද යන රාජපක්ෂට අනතුරක් කිරීම ඉතා ලෙහෙසි ය. එල්ටීටීඊ අනතුරක් ඇතැයි රෑ දවල් ලතෝනි දෙන රාජපක්ෂ නිසි ආරක්ෂාවකින් තොරව එළෙස ඇවිද යන්නේ සැළසුම් කළ අනතුරක් ඇතිකර ගෙන මහජන අනුකම්පාව දිනා ගැනීම පිනිස ද?

මේ අතර රාජපක්ෂ බෑයා වන ගෝඨාභය තවත් අපූරු කතන්දරයකට මුල පිරුවේ ය. එනම් පසුගිය 21දා සිවිල් ඇදුම් හැඳ ආයුධ ආයුධ සන්නද්ධ වූ යුද හමුදා සොල්දාදුවන් සහිත ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් තමා පදිංචි මිරිහාන ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිය ජීවිතයට ඇති තර්ජනය පෙන්නුම් කිරීමක් බවය. වීරවංශ පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ මෙම වෑන් රථය රාජපක්ෂවරුන් ඝාතනය කිරීමට රනිල් වික්‍රමසිංහ ආන්ඩුව යොදා ඇති සැළැස්මක කොටසක් බවට සැක කළ යුතු බව ය; සුදු වෑන් ගැන රාජපක්ෂ ආන්ඩුවට චෝදනා කළ ද දැන් සුදුවෑන් පවතින්නේ වත්මන් ආන්ඩුව යටතේ බවත් ය.

අන්තිමේදී ඇත්ත හෙලිවන විට විරවංශ – ගොඨාභය දෙබානේම මුඛ පූට්ටු විය. එම සුදු වෑන් රතයේ චැසි අංක අන්ව හෙළිදරව් වී ඇත්තේ එය එල්ටීටීඊ මුහුදු කොටි නායක සූසෙයි විසින් භාවිත කරන ලදුව යුද හමුදාව විසින් අල්ලා ගෙන සිය පාවිච්චියට යොදා ගන්නා ලද එකක් බවයි. එම වාහනය අයත්ව තිබී ඇත්තේ රාජපක්ෂවාදී යුද හමුදා මේජර්වරයකු වන ප්‍රසන්න සිල්වාට ය. එහි අවි ඇතිව ගමන් කළේ ඔහුගේ අංගාරක්ෂකයින් ය. එහි එක් සොල්දාදුවකු කියා ඇත්තේ තමා සතු පිස්තෝලය ලබා දුන්නේ ගෝඨාභය විසින් බව ය.

මෙම හෙළිදරව්ව නිසා දැන් රාජපක්ෂ සහ වහලුන් විසින් පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ ගණනාවක් මතු වෙයි. ඒවා මෙසේ ය:

2009 වසරේදී අල්ලා ගන්නා ලද මෙම සුදුවෑන් රථය 2015 වන තුරු නිසි ලෙස ලියා පදිංචි නොකරන ලද්දේ මන්ද? මෙම සුදු වෑන් රථය පසුගිය කාලය පුරා යොදා ගන්නා ලද්දේ කවර කාර්‍යයන් සඳහාද? එහි පාලනය තිබුණේ කවරකු යටතේ ද? එහි සවි කරන ලද ව්‍යාජ අංක තහඩුව කවරකු විසින් කවර අවශ්‍යතාවයක් උදෙසා සකස් කරන ලද්දක් ද? මෙම වාහනය පැවැතියේ ගෝඨාභය රාජපක්ෂ යටතේ යැයි කියන්නේ ඇත්ත ද? එල්ටිටීඊ සංවිධානයෙන් අල්ලා ගන්නා ලද මෙවැනි තවත් කොපමණ සුදුවෑන් ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් නිලධරයකු හෝ යටතේ පැවැතියේ ද? මෙකී වාහනය ගමන් කරමින් තිබුණේ දේශපාලන කූටෝපායක් ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නිවෙස දෙසට වෙඩි කිහිපයක් තබා පලා යාමට ද?

‘මෙන්න සුදු වෑන් සුදු වෑන්’ යැයි උඩ පිනුම් ගැසූ  වීරවංශ හෝ ගෝඨාභය දැන් එම ප්‍රශ්ණවලට අපට පිළිතුරු ලබා දෙන්නේ ද? නැතනම් තවමත් මෙම සුදුවෑන් රථය පැමිණියේ රාජපක්ෂවරුන්ට වින කැටීමට යැයි බයිල ගායනයේ දිගටම යෙදී සිටිනු ඇත්ද?

දැන් රාජපක්ෂවරුන්ගේ බඹරය වැල්ලේ නොව කවර තැනක ගැසුවත් කැරකෙන්නේ නැත. බයිලා හැර රාජපක්ෂ වහලුන්ට ගැයීමට අලුත් සිංදු නැත්තේ ඒ නිසා ය. දැන් වහලුන්ගේ අලුත්ම බයිලාව වී ඇත්තේ ‘ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ විරෝධී ජන්ද කඩන නිසා දිනන්න පුලුවන්’ කියා ය. ඒ තරමට ම වහල්ලු දේශපාලනිකව දුගී වී සිටිති. වහලුන්ගේ එම තර්කයෙන් කියැවෙන ඇත්ත යථාර්ථය නම් රාජපක්ෂ විරෝධි ජන්ද ගොඩ අද බහුතරය බවයි.

Archive

Latest news

Related news