Saturday, April 27, 2024

ජාත්‍යන්තර සහාය ශක්තිමත් ව ලබා ගැනෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනවා – මාවයි සේනාධිරාජා

ජාත්‍යන්තරයේ සහයෝගය තවඳුරටත් ශක්තිමත් කර ඩයස්පෝරා දෙමළ ජනතාවගේ ඒකමතික සහාය ලබා ගැනීමට හැකි අයුරින් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බවට තමිලරසු පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා මහතා පවසයි.

යාපනයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේ ය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දෙමළ ජාතික සන්ධානය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිකුත් කිරීම සඳහා  කටයුතු ආරම්භ කර ඇති බව ය.

‘ශ්‍රී ලංකාව නැමැති ඒකීය රටක් තුළ දෙමළ ජනතාව තම තමන් පාලනය කරන ස්වාධීන පාලනයකින් යුතු මධ්‍යම රජයේ මැදිහත්වීමකින් තොර පළාත් සභාවලට බලතල බෙදා දෙන උතුරු නැගෙනහිර ඒකාබද්ධ ප්‍රතිපත්තියක් අපේ ඉල්ලීමයි.

ඒ අතර, ජාතික ප්‍රශ්නය පිළිබඳ විසඳුම් ද, අප දිනපතා මුහුණ දෙමින් සිටින ඉඩම් ප්‍රශ්නය, බන්‍ධනාගාරවල සිටින තරුණයන්ගේ ප්‍රශ්නය, අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය, කාන්තා ආරක්‍ෂාව, කාන්තා ගෘහ මූලික පවුල්වල ප්‍රශ්න වැනි කරුණු පිළිබඳ අප ගැන රජය සමඟ සාකච්ඡා කළා.‘යි ද ඔහු පැවසී ය.

නව රජය පාලනයට පැමිණීමෙන් පසු යම් කාල වකවානුවක් තුළ එම ප්‍රශ්නවලට විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට සිදු වන බව ද, විශේෂයෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සිදු වන බව ද, තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඒ අනුව සකසන බව ද සේනාධිරාජා මහතා පවසයි.

නිශ්චිත දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තමන් විසින් දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබෙන නමුත් ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය තවඳුරටත් ශක්තිමත් කර ඩයස්පෝරා දෙමළ ජනතාවගේ ඒකමතික සහාය ද ලබා ගැනීමට හැකි අයුරින් තම මැතිවරණය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන බව ද ඔහු පැවසී ය.

අප ජනතාව පසුගිය කාලයේ දෙමළ ජාතික සන්ධානය කෙරෙහි තබා ඇති විස්වාසය මෙන් ආණ්ඩු වෙනසකට ජන්දය ලබාදුන්නා මෙන් සියලු දෙනාම එක්වී දෙමළ ජාතික සන්ධානය තෝරාගත යුතු යැයි ඉල්ලා සිටින බව ද, ජනතාව තමන්ට ජන්දය ලබා දෙනු ඇතැයි විස්වාස කරන බව ද සේනාධිරාජා මහතා පවසයි.

ප්‍රජාතාන්ත්‍රික වශයෙන්ලැබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දෙමළ ජතාව දෙමළ ජාතික සන්ධානයට ම ජන්දය ලබාදිය යුතු යැයි ඉල්ලා සිටින බව ද මාවයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.
-කලම්බු පෝස්ට්

Archive

Latest news

Related news