Thursday, May 2, 2024

නාවික හමුදාපති ත්‍රිකුණාමලයේදී, ජනාධිපති සිරිසේන ගොනාට අන්දවා යහපාලනය ඔලුවෙන් සිටුවයි- නිලන්ත ඉලංගමුව

තම “අති සාර්ථක” චීන සංචාරයෙන් පසු වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද දින ( ජුනි 28) විශාල මුදලක් වියදම් කරමින් උත්සවයක් ත්‍රිකුණාමලයේදී පවත්වනු ලැබීය. ඒ ත්‍රිකුණාමලයේ පිහිටි නාවික සහ සාගරීක විද්‍යාපීඨයේදීය. කොමදෝරු එම්. ජී. එස්. පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් 1967 ජූලී මාසයේ ආරම්භ කරනු ලැබූ අදාළ විද්‍යාපීඨය නාවික හමුදාවේ සේවය කළ කීර්තිමත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් දියුණු කරනු ලැබීය. නමුත් ආයතනයේ වත්මන් තත්වය ගැන බොහෝ දෙනෙකු චෝදනා කරනු ලබන්නේ එය දේශපාලන වුවමනාවන් සඳහා භාවිතා කිරීම කණගාටුදායකය.

මෙවර, නාවික සහ සාගරීක විද්‍යාපීඨයේදී අදාළ උළෙල පැවැත්වීමට මුලින් සැලසුම් කළ දින දෙවතාවකදීම, ජනාධිපති මෛත්‍රීගේ කාර්යබහුලතාවය නිසා වෙනස් කිරීමට සිදු වූ නමුත් කෙසේ හෝ එය අද එනම ජුනි 28 වැනි දින පැවැත්වීමට නාවික හමුදාපතිවරයා සමත් විය.

defence_Column_NIඒ අනුව ජනාධිපති සිරිසේන මහතා සහ ඔහුගේ බිරිඳ මෙන්ම අදාළ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි සියලුම දෙනා පාහේ, ඊයේ සවස් යාමයේ ත්‍රිකුණාමලයේ ප්‍රකට කෝනේෂ්වරන් කෝවිල වෙත ගොස් ආශිර්වාද ලබා ගත්හ.ඉන් පසු නිලාවේලී මුහුදු තීරයේ පැය කිහිපයක් ගත කළ පිරිස අද දින පැවති උළෙලට සහභාගී වූහ.

අදාළ උළෙල පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය මෙහෙයවන සමාජ ජාලයන් එම සිදුවීම ගැන සරල ලෙස කතා කරමින් එවැන්නක් සිදු වූ බව සඳහන් කොට තිබුණි. සේයාරූ කිහිපයකද එහි විය. එසේම දේශීය මාධ්‍යයන් එය විචිත්‍රවත් ලෙස වාර්තා කළ ආකාරය දැක ගත හැකි විය.

මේ අතර නාවික හමුදාව විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මඟින් සිදුවීමේ ඇති අප්‍රසන්න දේශපාලන භාවිතය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිවෙකුගේ හෝ වුවමනාවකට අනුව යමින් අදාළ උත්සවයේදී විනාශ කරනු ලැබූ ජාතික ධනය සඳහා නිරායාසයෙන්ම වග උත්තරකරුවෙකු බවට පත් වී ඇත. මෙවැනි දෑ මඟින් පෙනී යන මුලික කාරණයක් තිබේ.

එනම් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මෙරට යහපාලනය ඔලුවෙන් සිටුවා නිරුවත් කොට බාල්කයක එල්ලා ඇති ආකාරයයි.

නාවික හමුදාවේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයට අනුව, අදාළ ගොඩනැගිලි සංකීර්ණයේ පළමු පියවර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරනු ලැබුවේය. එම අවස්ථාවට නාවික හමුදාපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වූහ.

මෙය අමුලික බොරුවකි, අදාළ නව ගොඩනැගිලි සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ල එනම් ශ්‍රවණාගාරය විවෘත කරනු ලැබුවේ 2009 මාර්තු මාසයේදීය. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසිනි. ඉන් පසු අදාළ නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා, අලුත් ගොඩනැගිලි එකතු විය. උදාහරණයක් ලෙස නාවික හමුදා නිළධාරීන් අතර ප්‍රකට වූ “ කොළඹගේ බ්ලොග්” නමින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ මැදිහත් වීමෙන් නව ගොඩනැගිලි එකතු විය.

ඒ සියලුම ඉතිහාසය මකා දමමින් වත්මන් නාවික හමුදාපතිවරයා, මෙම සංකීර්ණය ජනාධිපති සිරිසේන මහතා විසින් විවෘත කළ බව සඳහා කොට ජනාධිපතිවරයා ගොනාට ඇන්දවීම මඟින් පෙන්නුම් කරන්නේ වර්තමානයේදී යහපාලනය ගමන් ගන්නා දිශානතියයි.

අදාළ විවෘත කිරීමේ උළෙලලට සාපේක්ෂව නාවික හමුදා සංදර්ශනයක්ද ( සෙල් පාස්ට්) පවත්වනු ලැබීය. නාවික හමුදා සංදර්ශනයක් පවත්වනු ලබන්නේ, ජාතික වශයෙන් අතිශය වැදගත් අවස්ථාවකදී පමණි. එක ගොඩනැගිල්ලක් විවෘත කිරීම එවැනි සංදර්ශනයක් පැවැත්වීම සඳහා හේතුවක් නොවේ. මන්ද ඊට වැය වන මුදල අති විශාල බැවිනි.
නමුත් වත්මන් නාවික හමුදාපතිවරයා සඳහන් කරණ ආකාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ සංචාරය කරණ පළමු අවස්ථාව මෙයයි. ඒ නිසා නාවික සංදර්ශනයක් පවත් වූ බව පැවසේ.

එය එසේනම් මතුවන මුලික කාරනා දෙකක් තිබේ.

පළමුවැන්න වූ කලී, මීට පෙර සෑම ජනාධිපතිවරයෙක්ම ත්‍රිකුණාමලයේ පළමුවරට සංචාරය කරණ විට නාවික සංදර්ශන පවත්වා ඇත්තේද?

දෙවැන්න ජනාධිපති ලෙස දිවුරුම් දීමේ උළෙල පවා ඉතාමත් සරල ආකාරයට පවත්වා රටේ සහ ජනතාවගේ ජාතික ධනය ඉතුරුකොට යහපාලනය තම ජයග්‍රහණයේදීම ආරම්භ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ත්‍රිකුණාමලයේදී නැටූ නාටකය කුමක්ද? එනම්, ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා සහ නාවික හමුදාපතිවරයා ඇතුළු පිරිස විසින් මෙතරම් විශාල මුදලක් නාස්ති කිරීම යහපාලනය වන්නේද?

අදාළ උළෙලේ දැක ගත හැකි වූ සුවිශේෂී කාරණය වූ කලී වෙනත් කිසිඳු ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකු මීට සහභාගී නොවීමයි. එය හදිසියේ සූදානම් කොට කිසිවෙකුගේ හෝ පෞද්ගලික ආශාවක් මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානය කළ එකක් වැනිය.

අනුමාන කළ හැකි එකම කාරණය වූ කලී, සේවා දිගුවක් අපේක්ෂාවෙන් සිටින නාවික හමුදාපතිවරයාය. ඔහු තමන්ගේ කිට්ටු මිත්‍රයෙකු ලෙස සලකන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සමග තමන්ට අවශ්‍ය සේවා දිගුව ලබා ගැනීම සඳහා මෙහෙයුම් රාශියක් සිදු කළ බව සඳහන් වේ. එම සියල්ලගේනම් ලැබුණු ඍන ප්‍රතිඵල හමුවේ තමන්ගේ අවසන් තුරුම්පුවද ක්‍රියාත්මක කළ සැටියෙකි.

මේ අනුව මේ මස අවසානයේදී විශ්‍රාම යෑමට නියමිත වත්මන් නාවික හමුදාපතිවරයා හට සේවා දිගුවක් ලබා දෙන්නේද? එසේ නොමැතිනම් , විශ්‍රාම ගැනීමට සලස්වා වෙනත් වගකිවයුතු තනතුරකට ඔහු පත් කිරීමට සැලසුමක් තිබේද? ඒ සඳහා පරම බලය ඇත්තා වෙන කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. වැදගත් වන්නේ නාවික හමුදාව වසර ගණනක් තිස්සේ මුහුණ දුන් කටුක සහ අප්‍රසන්න දේශපාලන ඇඟිලි ගැසීම්වලින් සහ අභ්‍යන්තර කුළල් කාගැනීම් වළක්වා එහි ගරුත්වය ආරක්ෂා කළ හැකි දක්ෂ නිලධාරීන් අදාළ තනතුරුවලට පත් කිරීමය.

විශේෂයෙන්, දේශපාලන පළිගැනීම් වලට ලක්වූ නිලධාරීන් අතර සිටින, කොමදෝරු ට්‍රැවිෂ් සින්නයියා යළිත් ධූරයේ පිහිටුවීමට යැයි, ඒ සඳහා සොයා බැලීමට පත්කරනු ලැබූ අදාළ කමිටුව විසින් නිර්දේශ කොට ඇත. නමුත් එම කමිටු වාර්තාව තවමත් එක් තැනක සිර වී තිබේ.

උදා වී ඇති මැතිවරණ සමය හමුවේ ඒ සියලු දෑ කෛරාටක රාජ්‍ය සේවකයින්ට යට ගැසීමේ අවස්ථාව උදා වේ. මෙහිදී වැදගත් වන්නේ පාලකයා මෙවැනි කූඨ උපායන් වලින් මිදී ජනතා අපේක්ෂා ඉටු කිරීමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දෙස සියල්ලම බලා සිටින්නේ එබැවිනි.

ඉතිහාසයේ ඉතා උදාර ජයග්‍රහණ මෙන්ම අතිශය අප්‍රසන්න සහ ශෝකජනක පරාජයන් බොහෝමයකටම මූල බීජ වී ඇත්තේ ඉතා සුළු නොවැදගත් හේතුන් බව කිසිවෙකුටත් වඩා හොඳින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවබෝධකරගෙන ඇතැයි සිතමු.

 

Archive

Latest news

Related news