අප උගන්නා තරුණ කාලයේ අපට අපේ ලෝකයේ වීරයෝ සිටියෝ ය. ඔවුන් අපට වීරයන් වුනේ සමහර ආචීර්ණ කල්පිත සම්මතයන්ට විවෘතවම අභියෝග කළ නිසා ය. ලාංකික ජන විඥානය වෙත විද්‍යාවෙහි ආලෝකය රැගෙන ඒමට කරන ලද කැපවීම් නිසා ය. එකල අවිද්‍යාවට එරෙහිව සටන් වැදුනු ප්‍රධාන කුලකයක් වූයේ ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර්ගේ නායකත්වයෙන් යුත් හේතුවාදීන්ගේ සංගමයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා එහි කැපී පෙණුනු චරිතයක් විය. ඔහු සාස්තර කරුවන්ට අභියෝග කෙළේය. පේන කියන්නන්ට යකැදුරන්ට කපුවන්ට අභියෝග කෙළේය. හරක් මස් කා අරක්කු බී ගිනි කතරගම ගොස් ගිනි පෑගුවේ ය. ඒ ධාරාවේ කාලෝ ෆොන්සේකාත් මහාචාර්ය ඔස්මන් ජයරත්නත් අපට වීරයන් වූයේ නවීන විද්‍යාවේ ආලෝකයෙන් ලෝකය දකින්නට ඔව්හු එකල අප පෙළැඹවූ නිසා පමණක් නොවේ. ජාති කුල ආගම් වර්ණ වර්ග භේද වලින් තොර සම සමාජයක් සඳහා වූ දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයන් වීම ද හේතුවෙනි. එහෙයින් ඔව්හු අපේ ලෝකයේ හර්කියුලිස් ලා බවට පත් වූහ.
මෙකී අවධියෙහි මහාචාර්ය කාලෝ ෆොන්සේකා තවත් කරුණක් කෙරෙහි උනන්දු වූයේ ය. එනම් සමහර පුද්ගලයන් ඔවුන්ගේ වයසේ තරමට ශරීර ප්‍රමාණයෙන් නොවැඩීමේ ප්‍රශ්ණයයි. මහාචාර්ය තුමාගේ මතය වූයේ එකී පුද්ගලයන්ගේ මොළය තුල පිහිටා ඇති පිටියුටරි ග්‍රන්ථියේ කිසියම් හේතුවක් නිසා ඉන් නිකුත් විය යුතු මිනිසුන්ගේ වැඩීම සම්බන්ධ පිටියුටරි හෝමෝන කලට වේලාවට නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් මෙම කුරුමිටි භාවය ඇතිවන බව ය.
අද අපිට වෙනත් කරුණක් පෙනෙන්නට පටන් ගෙන තිබේ. එය අපේ මහාචාර්ය තුමා සම්බන්ධයෙනි. අපගේ තරුණ කාලයේ එනම් මිට තිස් වසරකට පමණ පෙර අපගේ ලෝකයේ දැවැන්ත හර්කියුලිස් කෙනෙකු බවට පත්ව සිටි මහාචාර්ය ෆොන්සේකා තිස් වසරක් ඇවෑමෙන් අද වන විට දේශපාලන වශයෙන් කුරුමිට්ටෙක් බවට පත් වෙමින් සිටින අන්දම අපට පෙනේ. එදා එතුමා විසින්ම පෙන්වා දුන් අන්දමට මෙය ද එතුමන්ගේ සහ මෙම ව්‍යාධියට මුහුණ දී සිටින සෙසු අයගේ මොළයේ පිහිටි කිසියම් ආබාධයක් බලපෑමක් නිසා ඇති වූවක් දැයි කෙනෙකුට සැක කරන්නට පිළිවන. පසුගිය වසර 7-8 ක කාලය පුරා එතුමන් වරින් වර මෙම ව්‍යාධියේ රෝග ලක්ෂණ පෙන්වා දුන්න ද එය බලවත් ලෙස පෙනෙන්නට පටන් ගත්තේ පසුගිය දා ඇල්ලේ ගුණවංශ නම් ජාතිවාදී භික්ෂුව සමග එක්ව දැනට ක්‍රියාත්මකව ඇති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසිරුවා හරින ලෙස ඉල්ලමින් පෙත්සමක් උස්සාගෙන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමත් සමග ය. මෙම ක්‍රියාව මෙතෙක් අප දැන හඳුනාගෙන සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා චරිතයට මුළුමනින්ම පටහැනිය. එක් අතෙකින් එය ඔහු නියෝජනය කළ නූතනවාදී දේශපාලන දර්ශනයට ද පටහැනි ය. රටක පාලකයන් හෝ නිලධාරීන් එම රටෙහි පිලිගත් මූල්‍ය නීතිය හා විනය උල්ලංඝණය කරන්නේ නම් හෝ එසේ කර ඇත් නම් එය සොයා බැලීම සහ ඒ පිලිබඳව නීත්‍යාණුකූලව කටයුතු කිරීම යහපත් නූතන රාජ්‍ය පාලන මූලධර්මයකි. පොලිස් මූල්‍ය විමර්ශන ඒකකය පිහිටුවා ඇත්තේ එකී පරමාර්ථයෙනි. එවැන්නක් විසිරුවා හැරීමට යෝජනා කිරීම සිහි කල්පනාව ඇති කිසිදු පුරවැසියෙකුට ලැජ්ජාවක් ඇතිව කළ නොහැක්කකි. අනෙක මේ සඳහා මහාචාර්ය තුමා සමග එක්වන්නේ ඓතිහාසිකවම උපන් ගෙයි ජාතිවාදියෙකු වන ඇල්ලේ ගුණවංශ ය. 1983 දෙමළ ජන සංහාරය දා බොරැල්ල ප්‍රදේශයේදී ජාතික කොඩියක් ලෙලවමින් මැර පිරිස් මෙහෙයැවූයේ යැයි ලේඛන ගතවම චෝදනා ලබා සිටින ඇල්ලේ ගුණවංශ සමග ජාතිවාදයට විරුද්ධ අයෙක් ලෙස පෙනී සිටි කාලෝ ෆොන්සේකා එක මග බැස යෑම සැබැවින්ම ආසියාවේ ආශ්චර්යයකි. නොහොත් විමතියකි.
ඇල්ලේ ගුණවංශ මුලින් පූට්ටු වී සිටියේ සිරිසේන කුරේ ලා ප්‍රේමදාස ලා සමග ය. එකල නැගී ආ සිංහල ජාතිවාදී සංස්කෘතික ප්‍රවාහයේ එක් ප්‍රචාරකයෙකු වූයේ ඔහු ය. ඔහු යුදවාදය පෝෂනය කරමින් ගීත ලියුවේ ය. 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ පැමිණීමත් සමග ඇල්ලේ ගුණවංශ ආ ගිය අතක් නැතිව ගියේ ය. පරාජය වූ එජාපයට පවා ඇතුළු වන්නට ඇල්ලේ ගුණවංශලා හට රනිල් වික්‍රමසිංහ ඉඩ දුන්නේ නැත. පසුව 2002 දී චන්ද්‍රිකා ආණ්ඩුව පෙරලී ගොස් රනිල් අගමැති වීමෙන් පසුව ඔහුගේ සාම ක්‍රියා දාමයට ගල් පෙරලීමේ සියළු සැලසුම් හැදුනේ ඇල්ලේ ගුණවංශ පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ පිහිටි අවුකන බුදුරුවට මුවා වී ය. එකල එතැනට නිතර ආ ගිය අය අතර විමල් වීරවංශ, චම්පික රණවක, මහින්ද අබේසුන්දර, හඩ්සන් සමරසිංහ, ශ්‍රී පති සූරියආරච්චි පමණක් නොව මංගල සමරවීර ද වූහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගන්නට නොහැකි වූ ඇල්ලේ ගුණවංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගා ගත්තේ එලෙස ය. මහින්ද ජනාධිපති වූ වහාම ඔහුගේ ආණ්ඩුවේ මැති ඇමැති වරුන්ගේ වංචා දූෂණ ගැන ෆයිල් එකතු කරන බවට ඔහු ලොකු ඝෝෂාවක් කෙළේය. ඇල්ලේ ගුණවංශ පදිංචි ස්ථානයේ සිට හූ කාලක පමණ දුරින් අල්ලස් සහ වංචා විමර්ශන අංශය පිහිටා තිබියදීත් ඔහු මෙවැන්නක් කිරීම හාස්‍ය ජනක ය. එහි උත්ප්‍රාසය තවත් ප්‍රබල වනුයේ ඇල්ලේ ගුණවංශගේ ඊනියා වංචා දූෂන ෆයිල් මෙහෙයුම ක්‍රියාත්මකව තිබියදීත් රාජපක්ෂ පාලනය ලක් ඉතිහාසයේ වඩාත්ම දූෂිත පාලනය බවට විරුදාවලී ලබා තිබීම හේතුවෙනි.
තම කාර්ය පිළිබඳව වරින් වර විමසූ මාධ්‍ය වලට ඇල්ලේ ගුණවංශ කියමින් සිටියේ ආණ්ඩුවේ මැති ඇමැතීන්ගේ වංචා දූෂන සම්භාරයක් පිලිබඳ තොරතුරු කන්දක් තමන් සතුව ඇති බවය. ඒත් ඒ කන්ද අද වන විට අතුරුදහන් ය. ඔහු විසින් මේ තාක් එක් රැස් කරන ලද රාජපක්ෂ පාලනයේ වංචා දූෂණ ෆයිල් මිටිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කර තබාගෙන යන්නට අත් උදව්වට හෝ ඇබිත්ත කමට මහාචාර්ය කාලෝ ගියේ නම් අපට ඒ ගැන ප්‍රශ්නයක් නැත. එහෙත් මේ බාන එහි ගියේ වංචා දූෂණ විමර්ශනය කරන පොලිස් ඒකකය වසා දමන ලෙස ඉල්ලීමක් කරන්නට ය.
එය වසා දැමීමෙන් ඍජු වාසි සැලසෙන්නේ කව්රුන් හට ද? මහාචාර්ය කාලෝ එකළ අභියෝග කළ මිත්‍යාවට අධිපති දෙවියන් යැයි කට පුරා කිව හැකි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. ඔහු කේන්දර බලයි. නැකැත් හදවයි. පේන අසයි. අංජනම් යවයි. නූල් බඳියි. තෙල් – වතුර මතුරයි. සුර පළඳී. මන්තර ජප කරන ලද වශී බෝල දෙකක් අත් දෙකින්ම මිරික මිරිකා සිටී. මන්තර ජප කරන ලද මුදු පළඳී. තම දේශපාලන විරුද්ධවාදීන්ට හදි හූනියම් කරවයි. ඔවුන්ගේ රූප හදා කටු ගසා තෙලේ දමා බදියි නැතහොත් ලිප්බොක්කේ දමා පුළුස්සයි. බිලි පූජා පවත්වයි. ආන්ඩුවේ විභාගයක්වත් සමත් වී නැති රාජකීය දෛවඥයන්ට ආණ්ඩුවේ තනතුරු පිරිනමයි. ජනතාවගේ මුදලින් ඔවුනට දහසින් බැඳි පියල්ලෙන් පඩි නඩි ගෙවයි. ඔවුන්ගේ උපදෙස් පරිදි ගෙයි මැද වළවල් හාරා එහි බැස යාග හෝම පවත්වයි. පොහෝ දිනවල මැදියම් රැයේ අමුඩ ගසාගෙන රුවන් වැලි සෑ මළුවේ බිම බඩගායි.
නූතන වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය වරයෙකු පමණක් නොව වෛද්‍යවරයන්ගේ ගුරු මහාචාර්ය වරයෙක් වන කාලෝ ෆොන්සේකා මේ රකින්නට යන්නේ එවන් මිත්‍යා දුෂ්ඨික පාලකයෙකුගේ දූෂිත පාලනයෙන් සිදුවී ඇති වංචා දූෂනයන්ය. ලැජ්ජා නැති කම මහාචාර්ය කමටත් වඩා ලොකු ය.
මේවා දකින අහන විට අපට ඩබල් කේන්ති යයි. “මේ යෝධයා අප රැවටූ තරමක්“ කියා පළමු වටය මහාචාර්ය තුමා සමගය. “මේ යෝධයාට අප රැවටුනු තරමක්“ කියා දෙවැනි වටය අපට අප ගැනම ය.