Thursday, May 2, 2024

ඇමෙරිකානු වලිගයේ එල්ලී රාජපක්ෂ ‘ගොඩයෑම’! – සුනන්ද දේශප්‍රිය

ෂෝක්!

රාජපක්ෂවරු දැන් සිය පිහිට පතා ඇමෙරිකානු වලිගයේ එල්ලී සිටිති. දෙව්ලොව යෑමට අලි වලිගයේ එල්ලුනු ගමරාළ මෙන් මෙවර රාජපක්ෂ සනුහරයම වෙනුවෙන් ඇමෙරිකානු වලිගයේ එල්ලී ඇත්තේ යුද්ධ හමුදාවෙන් ඉවත් වී සිය යහපත් ජිවිතයක් ගත කරනු පිනිස ඇමෙරිකාවට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ම ය. එකී හාස්‍ය ජනක ජනප්‍රවාදයට අනුව දෙව්ලොව යනු වෙනුවට ගමරාළට සිදු වූයේ අලි වලිගය අතැරී පුක බිම ඇන ගැනීමට ය. දැන් 2014 වසරේ ත්‍රස්තවාදය පිළිබඳ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ පරිච්ජේදයෙහි එල්ලී ‘ ගොඩ යෑම’ ට දගලන රාජපක්ෂවරුන්ට සහ එහි වහලුන්නට ඊට වෙනස් සන්තෑසියක් හිමි විය යුතු දැයි බලමු.
සිය මුහුණු පොතෙහි ගොඨාභය රාජපක්ෂ මෙසේ කිය යි.

‘‘ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යංශය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය වාර්තාවක් සම්බන්ධව ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි. මෙම වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය සංවිධාන ජාලය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බවත් එම ජාලය වෙත ගලා එන්නාවූ මූල්‍ය ප්‍රේෂණ යහමින් ලැබෙමින් පවතින බවත් හෙලිකොට ඇත.

ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය පරදවා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුවත් ඔවුන්ගේ වෙනම රටක් හෙවත් ඊලම් දේශයක් සඳහාවූ අරගලය අත්හැර දමා නොමැති බවත් එම සදාතනික අරගලය නැවත ඇරඹීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බවටත් මා පලකල අනාවැකි සත්‍ය බව මෙම වාර්තාව තුලින් මනාව පසක් කොට දී ඇත.’’

(මතකද? 2009 වසරේදී යළි එල්ටීටීඊ භීෂණයක් ඇති නොවන බවට අපට කියා සිටියේ ද මේ රාජපක්ෂලා ම බව. දස දහස් ගණනින් කළ ජිවිත විනාශය රාජපක්ෂලා සාධාරණ කළේ යළි එල්ටීටීඊය නොනැගිටින බව කියමිනි.)
ගෝඨාභයගේ කතාවට අලඟු තබමින් ප්‍රධාන පෙළේ රාජපක්ෂ වහලකු වන ජී.එල්.පිරිස් පසුගිය 22 දා අභයාරාමයේ දී මෙසේ කීවේ ය.

‘‘ ආන්ඩුව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව කටයුතු කරන්නේ නැහැ. මේක මහා වින්නැහියක ආරම්භයක්’’ පිරිස්ට අනුව එම වාර්තාවට අනුකූලව පියවර ගැනීම පිනිස ආන්ඩුව වහාම හදිසි අමාත්‍ය මන්ඩල රුස්වීමක් කැදවිය යුතු ය.

එයට ටික දිනකට පෙර මහින්ද රාජපක්ෂ අනුරාධුරයෙහි දී . ‘එල්ටීටීඊ තර්ජනය අතළඟ’ බැවින් යළි තමාට බලයලබා දියයුතු බව කියා සිටියේ ද මේ අනුව ය.
තල් අත්තට වැටුණු බෙලි ගෙඩිය ලෝක විනාශයක් යැයි ඔලුව නරක් කරගෙන පණ කඩාගෙන දිවූ මෝඩ හාවා සහ රාජපක්ෂ සහ වහලුන් අතර එතරම් වෙනසක් නැත. මන්ද යත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ උක්ත 2014 වාර්තාව සහ ඊට පෙර වසරේහි එනම් 2013 වාර්තාව අතර එතරම් වෙනසක් නැති නිසා ය‍.

ගෝඨාභය රාජපක්ෂ සිය මුහුණු පොතෙහි කියන්නේ එල්ටීටීඊ ය මෙළෙස මුදල් එක් කිරීමට සමත් වී ඇත්තේ වත්මන් ආන්ඩුව නිසි පියවර ගැනිමට සමත් වී නැති නිසා බවය‍.

වන්නාට ය! බයියාගේ මල්ලී වන මේ රාජපක්ෂ ගොයියාට අමතක වි ඇත්තේ උක්ත ඇමෙරිකානු වාර්තාව අදාළ වෙන්නේ රාජපක්ෂ පාලන සමය වූ 2014 වර්ශයට බවයි. එපමණක් නොව රාජපක්ෂවරුන් රට කමින් සිටි 2013 වර්ශයේ දී ද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ථමේන්තුව මෙවර කියා ඇති දේ එලෙසම එම වදන් වලින්ම කියා තිබුණි. එසේ නම් 2013 සිට 2014 වර්ශය දක්වා එල්ටීටීඊ මුල්‍ය ජාලය සක්‍රීයව පැවැතුන ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ නොවේ දැයි මොළේ කළදක් හෝ වී නම් ආචාර්ය පිරිස්ට තමන්ගෙන්ම අසා ගැනීමට නොහැකි වී ද? තමා එකළ විදේශ ඇමැතිව සිටි බව දැනට ම පිරිස්ට අමතක වී තිබේ. මන්ද යත් මෙම වාර්තා සම්බන්දයෙන් කරුණු විමසා පියවර ගැනීම විදේශ අමාත්‍යාංශයට ද අයත් නිසා ය‍. 2012 වසරේ ඇමෙරිකානු වාර්තාවෙහි ද එවැනිම ජේදයක් තිබේ!

හොඳම විහිළුව වන්නේ උක්ත වාර්තාවෙහි ප්‍රධාන අන්තර්ගතය රාජපක්ෂ සහ වහලුන් විසින් නොපිට පෙරළීමයි. රාජපක්ෂවාදී සහ රාජපක්ෂ මුදලින් යැපුණූ ඉංග්‍රිසි වෙබ් අඩවියක් කියා සිටියේ මෙම වාර්තාව එල්ටීටීඊයට හිතවාදී එකක් බවයි. ඒ වාර්තාවේ පළමු ජේදය නිසා ය. එය මෙසේ ය: ‘‘ 2009 දී එල්ටීටීඊ ය යුදමය වශයෙන් පරාජය කිරීම ශ්‍රී ලංකාවෙහි නව යුගයක උදාවක් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ. ( එම වැකියෙහි යටි පෙළ අදහස නම් එවැනි නව යුගයක් උදා නොවූ බවයි – රචක) පශ්චාත් යුද පෙදෙස්හි ප්‍රබල යුද බලයක් පවත්වා ගෙන ගිය ආන්ඩුව එල්ටීටීඊ හිතවාදී පිරිස් යළි හිස ඔසවනු ඇතැයි දිගටම බිය පළ කළේ ය. ’’

වාර්තාව රාජපක්ෂ සමයෙහි ආරම්භ වූ එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීමේ වැඩ සටහන ද විවේනයට හසු කරයි: ‘‘ශ්‍රී ලංකාව හිටපු එල්ටීටීඊ සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම දිගටම කරගෙන ගිය ද ස්වාධීන ආයතනයන්ට එම වැඩ සටහන විමසා බැලීමට ඉඩ නොදීම නිසා ආන්ඩුවේ ප්‍රයත්නයන් පිළිබඳව විශ්වසනීය අගැයීමක් කරගත නොහැකි ය.’’

වාර්තාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද විචේචනයට හසු කරයි: ‘‘ශ්‍රී ලංකාන්ඩුව 1982 දී යුද කාලීන පියවරක් ලෙස පණවන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම ක්‍රියාවෙහි යොදවන අතර එමගින් පුද්ගලයින් පරීක්ෂා කිරීමට, අත් අඩංඟුවට ගැනීමට සහ රඳවා තැබීමට ආරක්ෂක හමුදවෙන්ට අති විශාල බලතල ලබා දෙයි’’

රාජපක්ෂ ආන්ඩුව විසින් විදේශගත දෙමළ පුද්ගලයින් සහ සංවිධාන එල්ටිටීඊ ය යළි පණ ගැන්වීමට සහාය වන බවට නම් කිරීම වාර්තාව විවේචනයට හසු කරන්නේ මෙසේ ය: ‘‘ 2014 මාර්තුවෙහි දී ආන්ඩුව සංවිදාන 16ක් සහ පුද්ගලයින් 422ක් ත්‍රස්තවාදී ආයතන සහ ඊට උදව් කරන බවට නම් කරන ලදී, එම නම් කිරීම කලේ කුමන නිර්නායක අනුව දැයි හෝ එය සනාථ කරන සාක්ෂි හෝ ආන්ඩුව සැපයූවේ නැත. එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ කමිටුවේ කන්ඩායමක් ලංකාන්ඩුවේ එම නම් කිරීමේ ක්‍රියා පිලිවෙත එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට කියා සිටියේ ය.‍‍‍ ’’

‘‘ ආන්ඩුවේ ව්‍යාපෘති සම්බන්ධයෙන් විනිවිද පෙනෙන සලු ටෙන්ඩර් පරිපාටි නැතිකමින් ද’’ යානාදී කරුණු උඩ ශ්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණයට ත්‍රස්තවාදී මුල්‍ය හුමවාරුකිරිම් වලට හසුවිය හැකි බව ද වාර්තාව තව දුරටත් කියා සිටී.
ගෝඨාභය රාජපක්ෂ උඩ දමාගෙන බෝල ගසන්නටත් ජි.එල්. පිරිස් බෝල උස්සා දෙන්නට යන්නේත් අන්න එවැනි වාර්තාවක් පදනම් කර ගෙන ය. ඇත්ත වශයෙන් ම නම් මෙම වාර්තාව විසින් කියා සිටින්නේ රාජපක්ෂ භීෂන යුගයේ මර්දනකාරී සහ දූෂිත පිළිවෙත් අවසන් කළ යුතු බවය.

දූෂණ සහ භිෂණ විරෝධී රළ වේගයට හසුව දියේ ගිලී යෑමෙන් වැළැකීමට රාජපක්ෂවරුන් සහ වහලුන් පිදුරු ගස් පවා දන්ඩක් සේ දකින බවට මෙම ඇමෙරිකානු වාර්තාව කර තියා ගැනීමෙන් පෙනී යයි. මන්ද යත් එහි අලුතින් කියූ දෙයක් නැති නිසාත් වාර්තාව අදාළ වන්නෙ රාජපක්ෂ භීෂණ සමයට නිසාත් ය.

ඇත්තටම රාජපක්ෂවරුන් සහ වහලුන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ එකී වාර්තාවට මෙතරම් වටිනාකමක් දීම අපූරුවක් නමුත් හරි වැදගත් ය. මන් ද යත් ගොඨාභයගේ සහ පිරිස්ගේ ප්‍රකාශ අනුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ථමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙයට පෙර නිකුත් කරන ලද වාර්තාවන්ට ද පිළිගැනීමක් ලැබෙන නිසා ය.

ඉන් මදක් මෙසේ ය:

ආගමික නිදහස පිළිබඳ එක්සත් ජනපදයේ 2013 අන්තර් ජාතික වාර්තාව ශ්‍රී ලංකාව ගැන මෙසේ කීවේ ය: ‘‘ රටෙහි බලධාරිහු ආගමික සුලුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාරයන්, අතුලු වාර්ගික ප්‍රචන්ඩත්වයන් වැලැක්වීමට අසමත් විය. වරදකරුවන් නීතිය හමුවට පැමිණවූයේ නැත. ’’

2013 එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ රටවල මානව හිමිකම් භාවිතයන් පිළබඳ වාර්තාව ශ්‍රී ලංකාව ගැන කියූ දේ රාජපක්ෂවරුන්ගේ මුහුණට ගොම තැම්බක් දමා ගැසීම වැන්න: ‘‘ ජනපතිගේ පවුල ආන්ඩුවෙහි ආධිපත්‍ය දරයි. ජනපතිගේ සහෝදරයින් දෙදෙනෙක් ආරක්ෂක ලේකම් සහ ආර්ථික සංවර්ධන ඇමැති ලෙස ප්‍රබල විධායක තනතුරු දෙකක් දරයි. තෙවැනි සහෝදරයකු පාර්ලිමේන්තුවේ කතානායක ය. පුත්‍රයා ඇතුලු ජනපතිගේ තවත් ඥාතීන් විශාල සංඛ්‍යාවක් වැදගත් දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු දරයි’’

‘‘ රටෙහි ප්‍රකාශණයේ, රුස්වීමේ සහ සංචරණයේ නිදහසට සීමා පනවා ඇත. මැතිවරණ නීතිය කෙලෙසන අතර ආන්ඩුවේ දේශපාලන හවුල රාජ්‍ය සම්පත් සිය වාසියට යොදා ගනී. ආන්ඩුවේ පාලනය යටතේ ඇති ආරක්ෂක හමුදා මානව හිමිකම් කෙළෙසයි. වරදකරුවන්ට දඩුවම් පැමැණවීමක් නැත. නීති විරෝධීව ආරක්ෂක හමුදා පුද්ගලයින් ඝාතනය කරති. පොලිස් අත්අඩංගුවෙහි සිටින රුදවුම්කරුවන්ට වධහිංසා පැමිණවේ. බලධාරිහු හිතුවක්කාරි ලෙස පිරිස් අත් අඩංඟුවට ගෙන සිර ගත කරති. අභ්‍යන්තර සරණාගත පිරිස්හි අයිතීන් කෙළෙසති. ’’ ( ඍජු පරිවර්ථනයක් නොවේ).

දැන් රාජපක්ෂවරුන් සහ වහල්ලුන්ට මෙකී වාර්තාද පිළිගැනීමට සිදු වෙයි. මන්ද යත් එක් වාර්තාවක පේළි දෙකක් උපුටාගෙන මහා ඝෝෂාවක් කරන අතර අනෙක් වාර්තා පිළිනොගෙන සිටීමට නොහැකි නිසා ය.
පුක බිම ඇනුන ගමරාළ සහ කැළේ කඩාගෙන දිවූ මෝඩ හාවා!

දැන් මෙසේ ලියමු: පුක බිම ඇනුනු රාජපක්ෂ සහ කැලේ කඩාගෙන දුවන මෝඩ පීරිස්!!

Archive

Latest news

Related news