( එතෙර සමරිසි උළෙලක්)
“අපේ රටේ ජීවත්වන පුරුෂයන් සමග ලිංගික සබඳතා පවත්වන පුරුෂයන් අතර කාන්තාවන් ලෙස හැඩවුණු පිරිමි අය ඉන්නවා. ප්‍රාථමික සමාජයක මිනිසුන් මෙන් ඔවුන් විහිලු තහළුවලට ලක් කරනවා. විරුද්ධ ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්ට බැණ වදිනවා. අපහාස කරනවා. සමලිංගිකත්වය සාමාන්‍ය මානසිකත්වයක්” මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ UNAIDS ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා ජනමාධ්‍යයට කළ ප්‍රකාශයකිනි. මීට සති කිහිපයකට පෙර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසම්මිල් මහතා මාධ්‍ය හමුවකදී දැක් වූ අදහස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විය. මගේ මතකයේ හැටියට සමලිංගික චර්යාවන් දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බවට ජාත්‍යන්තර සැසියක දී විදෙස් නියෝජිතයකු ගෙනා යෝජනාවට ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයකු පක්ෂ වීම මුසම්මිල් මහතාගේ මුඛය ඇවිස්සීමට හේතු වී තිබේ. මුසම්මිල් යනු සිංහල දේශපාලනඥයකු නායකත්වය දරන පක්ෂයක ප්‍රචාරක ලේකම් ධුරය හොබවන ඉස්ලාමිකයෙකි. එම විවිධත්වය ඔහුට වැටහී ගියේ නම් විවිධත්වය ඉවසීමේ ගුණය වගාකර ගැනීම එතැනින් ම ආරම්භ කරගත හැකිව තිබිණ.
පසුගිය ආණ්ඩු පාලන සමයෙහි ඉස්ලාමිකයන්ට එරෙහිව එල්ල වූ දැඩි ප්‍රහාරය සිංහල බෞද්ධයන් පිරිසකගේ ප්‍රබෝධය හේතු වූ අතර ජාතික නිදහස් පෙරමුණ හා මුසම්මිල් මහතා ද කටයුතු කළේ විවිධත්ය නො ඉවසන එම ආණ්ඩුව ආරක්ෂා කිරීමට ය. අලුත්ගම, දර්ගාටවුන් ප්‍රදේශවලට බෞද්ධ ජුන්ටා කල්ලිවලින් හා මිලිටරි හස්තයන්ගෙන් එල්ල වූ ප්‍රහාරය හමුවේද මුසම්මිල්ලාගේ කටවල් අගුලු වැටී තිබුණි. ජාතීන් හා ආගම් වශයෙන් ඇති විවිධත්වයට එල්ල වූ මාරක ප්‍රහාර ඉවසීමේ හදවතක් ඇති පුද්ගලයන් හට ලිංගික විවිධත්වය ඉවසීමේ හැකියාවක් කිසිසේත්ම නොතිබීම පුදුමයට කරුණක් නොවේ. මුසම්මිල්ගේ කට ඇවිස්සූ සිදුවීම සමාජයේ බහුතරයක් අනුමත කරන්නකි. එහි ප්‍රතිඵලය HIV ආසාධිතයන් හට ප්‍රතිකාර කිරීමේදී ඇති වී තිබෙන දුෂ්කරතාවලින් ම පෙනේ.
“ලංකාව තුළ සමලිංගිකයන් වශයෙන් වැඩියෙන් හඳුනාගත හැක්කේ විවාහක අය. එයට හේතුව සමලිංගික පුද්ගලයකු තම සැබෑ ස්වරූපය සමාජය ඉදිරියේ ප්‍රකාශ කළ විට “ඔවුන් කොන් කිරීමයි” වෛද්‍ය දයානාත් රණතුංග මහතාගේ අදහසකි ඒ. සමලිංගිකත්වය සාමාන්‍ය තත්ත්වයක් මිස විශේෂ තත්ත්වයක් නොවන බවට වෛද්‍යවරයකු විසින්ම කරනු ලබන ප්‍රකාශය පූජක සංස්ථාවන්හි කටවල් ඇවිස්සීමට ද හේතුවක් වීමට ඉඩ තිබේ. පූජක සංස්ථාව සතු ආයතනවලද සමලිංගික චර්යා ඇත. එහෙත් එය අධිකාරිමය ව්‍යූහයක් යටතේ සිදු වන්නකි. සමරිසියකු, තවත් සමරිසියකු හා අවබෝධයෙන් බැඳීම ඊට සපුරා වෙනස් වෙයි.
ශ්‍යාම් සෙල්වදොරෙයි ලියූ funny Boy නවකතාව සුගතපාල ද සිල්වා ‘අමුතු ඉලන්දාරියා’ මැයෙන් පරිවර්තනය කළේ ය. බොහෝ විචාරකයෝ එම කෘතිය ගැන නොලියා සුගත් ගැන ලිවූ හ. ඊට හේතුව එම පොත ගැන විස්තරයක් ලියන්නට ගොස් සමලිංගිකත්වය පිළිබඳ තම මතය හෙළිකර අමාරුවේ වැටෙන්නට විචාරකයන් කැමති නොවූ නිසා වනැයි මම සිතමි.
ශ්‍යාම් සෙල්වදොරෙයි සමරිසියකු ලෙස ජීවත් වුව ද ඔහුගේ කෘතියෙහි තේමාත්මක මුවහත තියුණු වන්නේ ජනවාර්ගික විවිධත්වය නො ඉවසීම නිසා අගතියට පත් වූ දෙමළ වැසියන්ගේ ඛේදනීය ජීවිතයෙනි. සමලිංගිකත්වය එහි දෙවැනි තලයේ තේමාවකි.
ජනවාර්ගික විවිධත්වය ඉවසීමේ හා පිළිගැනීමේ සූදානමක් නොමැති සමාජයක ලිංගික විවිධත්වය ඉවසීම වැනි මූලික ගුණයන් නොතිබීම පුදුමයට කරුණක් නොවේ.
සමලිංගිකත්වය මානසික රෝගයක් හෝ සදාචාර පරිහානියක් ලෙස සිතීම භයානක රෝග ලක්ෂණයකි. ලෝකය සුවඳවත් කළ කලාකරුවන්, දාර්ශනිකයන් හා විද්‍යාඥයන්ගේ ලිංගික චර්යා අධ්‍යයනය කළහොත් සමලිංගික චර්යා ඇති අය ද සිටින බව සත්‍යයකි. ප්ලේටෝ යනු සමලිංගිකත්වය පිළිබඳ විවෘත ව අදහස් පළ කළ දාර්ශනිකයෙකි. එහෙත් ශ්‍රී ලාංකීය සමාජයෙහි සමරිසි අයකු හඳුනා ගන්නට ලැබුණහොත් ඔහු හඳුන්වා දීම පිණිස විශේෂිත නමක් ද පවතී. මේ නම භාවිත කරමින් සමරිසි පුද්ගලයන්ට ගරහන, පහර දෙන හෝ නින්දා කරන පුද්ගලයන්ගේ ජීවිතවල අභ්‍යන්තරය විමසා බැලුවහොත් හමන්නේ දුගඳක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ මෝසම් සුළඟ නවකතාව මගේ පොත් රාක්කයෙහි තිබෙනු දැක කලබලයට පත් නොවූ මගේ බිරිය කුපිත වූයේ මගේ වැඩුමහල් දියණිය එය කියවනු දැකීමෙනි. ශ්‍යාම් සෙල්වදොරෙයිගේ අමුතු ඉලන්දාරියා පොත ගැන මා ලියූ විචාරයට ද ඇගේ ප්‍රසාදයක් නොමැත. “ඕව මොකට ද මෙයාට කියවන්න දෙන්නේ” ඇගේ මතය විය. ඇය ගැමි සිරිත් අනුව හැඩ ගැසුණු කතකි. එහෙත් පත්තරකාරයකු සමග ජීවත්වන්නට වීම නිසා, ලේඛකයන් හා පත පොත ගැන එහෙන් මෙහෙන් දනී.
“අයියෝ මේකෙ ඔය කියන තරම් ප්‍රශ්නයක් නෑනෙ”
22 හැවිරිදි මගේ දියණිය පොත කියවා මට ආපසු දුන්නා ය.
– තිඹිරියාගම බණ්ඩාර
( ස්තුතිය දිනමිණට)