Thursday, May 2, 2024

පිදුරු ගස්වල එල්ලී රාජපක්ෂලාට ගොඩ යා හැකි ද? – සුනන්ද දේශප්‍රිය

ගිලෙන්න යන මිනිහාට පිදුරු ගහත් ගහකි. අද රාජපක්ෂ පරම්පරාවට සහ රාජපක්ෂ වහලුන්ට සිදුව තිබෙන්නේ ගලා ගෙන එන දූෂණ භිෂණ විරෝධී ප්‍රවාහයෙන් බේරෙනු පිනිස එල්ලෙන්නට පිදුරු ගස් සොයමින් කැ ගැසීමට ය.
එකක් පසු පස එකක් බැගින් දිග හැරෙන රාජපක්ෂ දූෂණ වැල හමුවෙහි දිනක් පාසා බියපත් වෙමින් සිටින රාජ පරම්පරාව සහ එහි යටහත් වහල්ලු දැන් දිනක් පාසා අන්ද මන්ද වෙමින් සිටිති.

දූෂණ මර්ධනයේ යෙදී සිටින පොලිස් නිලධාරීන් ගල්ගසා මරා දමන බවට වීරයකු සේ තර්ජනය කළ රාජපක්ෂ යටත්වැසි පළාත් සභා මංත්‍රී අන්තිමේ දී මං නම් එහෙම එකක් කිව්වේ නැහැයි බයාදු වූයේ ඒ නිසා ය. අන්තිමේ දී මේ රාජපක්ෂවාදියාට ද ජාතික හැදුනුම්පත් දෙකක් තිබෙන බවත් හොර විදේශ ගමන් බල පත්‍රයක් ලබා ගෙන තිබෙන බවත් දූෂන විරෝධී නිලධාරීහු සොයා ගත්හ. ශිරන්තිට හොඳ නම් ශෂිට හොඳ නම් මට මොකේ බැරි යැයි එකී මදාවි පළාත් සභා මංත්‍රීවරයා සිතුවා නම් කුමන වරදක් ද?

කොළඹ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන නගරයක් බවට පත්ව ඇතැයි යන විදේශීය වාර්තාවක් පිදුරු ගහක් කොට ගත් රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ‘ ඕං මං කොරපු වැඩ දැන් ලෝකෙටත් පේනවා’ කියා ය. ජනයා පළවා හරිමින් සහ දූෂණය රජ කරවමින් රාජපක්ෂ කොළඹ සංවර්ධනය කළ සැටි ගැන කතා කිරීම පසෙකට තබමු. එම අන්තර් ජාතික වාර්තාව ආම්බරයෙන් පිළි ගන්නා බව කියන රාජපක්ෂ එළෙසම වෙනත් අන්තර් ජාතික ආයතන වලින් ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට සූදනම් ද? රාජපක්ෂ සමයෙහි ජනමාධ්‍ය නිදහස ගැන, මානව හිමිකම් ගැන, අල්ලස් සහ දූෂණ ගැන, පවුල් පාලනය ගැන එවැනි වාර්තා බොහෝ තිබේ. එකී සියලු වාර්තා සමඟ එකට තැබූ විට කොළඹ නගරය ගැන වාර්තාව පිදුරු ගහක් විතර ය‍.

ඊළගට රාජපක්ෂ තවත් පිදුරු ගහක් සොයා ගත්තේ ය. රාජපක්ෂගේ නිතිඥයින් දෙනෛකු පොලීසියට ගොස් හිටපු ජනාධිපතිවරයාට මරණ තර්ජන ඇතැයි පැමිනිල්ලක් කර තිබේ. මෙම තර්ජනය එල්ල වන්නේ වත්මන් ආන්ඩුව එල්ටිටීඊ සාමාජිකයින් නිදහස් කරමින් එල්ටීටටීඊ ය පිළිබඳ තොරතුරු සෙවූ නිලධාරීන් මාරු කරමින් සිටින බැවිනැයි එහි සඳහන් වන්නේ යැයි කියනු ලැබේ. එසේ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ සිය ආන්ඩුව අත්අඩංඟුවට ගත් එල්ටීටීඊ සාමාජිකයින් 11,000ක් නිදහස් කළ බවත් දැන් ඉතිරිව සිටින්නේ 200ක් පමණ බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල උජාරුවෙන් කියා සිටියේ එම පැමිනිල්ලට දවසකට පෙර ය. වතමන් ආන්ඩුව අඩු ගනනේ එළෙස සර ගත කොට සිටින 50 දෙනෙකු වත් තවම නිදහස් කර නැත. වඩා භයානක 11,000 ද 50 ද යැයි නිකමට සිතා බැලූ විට රාජපක්ෂට මරණ තර්ජන කතාව තවත් පිදුරු ගහක් ්බවට පත් වෙයි.

වහලුන් අතර හැකරයා වන වීරවංශ පිදුරු ගස් වීරයෙකි. විදේශ ඇමැති මංගල සමරවීර ලංඩනයෙහි දී ගෝලීය දෙමළ සංසදය හමුවී සාකජ්චා කිරීම විරවංශට පෙනුනේ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක් විළසිනි. ගෝලීය දෙමළ සංසදය තහනම් කර ඇති සංවිධානයක් නිසා වහාම මංගල සමරවීර අත් අඩංඟුවට ගත යුතු යැයි වීවරවංශගේ පක්ෂය කියා සිටියේ ය. ගෝලීය දෙමළ සංසදය වෙනම රාජ්‍ය සංකල්පයෙන් ඉවත් වූ සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයට සාකච්ජාමය දේශපාලන විසඳුමක් අපේක්ෂා කරන එකතුවක් බව වීරවංශට මතක් වූයේ නැත. ගෝලීය දෙමළ සංසදය සමඟ පමණක් නොව අනෙක් ඩයස්පෝරා කන්ඩායම් සමඟ ද ඉදිරියේ දී සාකච්ජා කරන බවට විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළ විට ඒ පිදුරු ගහ ප්‍රවාහයට හසුව ගිලී ගියේ ය‍.

විරවංශ තවත් පිදුරු ගහක එල්ලුණි. එනම් එක්සත් ජාතින්ගේ සංවිධනයෙහි දී ශ්‍රී ලංකාව සමරිසි ප්‍රජාවන්හි අයිතින් වෙනුවෙන් රුසියානු යෝජනාවකට විරුද්ධව ජන්දය පාවිච්චි කිරීමට විරුද්ධවය. එම යෝජනාවට විරුද්ධවීම නිසා මංගල සමරවීරට හිරේ යැවිය යුතුයැයි ද වීරවංශ කියා තිබුණි. රුසියාව ඉදිරිපත් කළ යෝජනාවෙන් කියැවුණේ සමරිසි ප්‍රජාවන්හි අයිතීන් නීතිමය වශයෙන් පිළිගෙන ඇති රටවලදී සරණ බන්දනයන්ට එළඹ ඇති එජා සංවිධිධානයෙහි සේවය කරන පිරිස්වලට විවාහ දීමනා යනාදිය ලබා දිය යුතු බවට එජා මහ ලේකම් බැං කී-මූන් විසින් කරන ලද නියෝගය අහෝසි කළ යුතු ය බව යි. විය යුතු පරිදිම ශ්‍රී ලංකාව එම යෝජනාවට විරුද්ධ විය. සමරිසි ප්‍රජාවන්හි අයිතීන් සම්බන්දයෙන් සාධනීය ලෙස කල්පනා කරන බව ශ්‍රී ලංකාන්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවෙහි 2014 මාර්තුවේ දී කියා සිටියේ රාජපක්ෂ ජනාධිපති සමයේ දී බව වීරවංශ දැන සිට නැතිවා විය යුතු ය‍.

මෙම වහලුන් අතර සිටින වඩාම බියසුල්ලා විය හැක්කේ ජී.එල්.පීරිස් ය. අනතුරක ඉව හමුවෙහි ඔහුගේ සර්වාංගයම වෙවුලා යයි. රාජපක්ෂ පාර්ශවයේ නීති කතාකරු බවට පත්ව සිටින්නේ ද ඔහු ය. තෙසතියකට පමණ පෙර පීරිස් ඉල්ලා සිටියේ වහාම මැතිවරණයකි. දැන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව විසිරුවා නොහැර බහුතර විපක්ෂයේ ආන්ඩුවක් පිහිටුවන ලෙස ය. සමහර විට පිරිස්ගේ නීති මොළයට ආන්ඩු බලය නැතිව මැතිවරණයක් ජය ගත නොහැකි යයි පෙනී ගොස් තිබෙන්නට ඉඩ තිබේ. මැතිවරණයක් වෙනුවට ආන්ඩු බලය ඉල්ලා සිටින්නට රාජපක්ෂ පාර්ශවය තීරණය කර ඇත්තේ ඒ නිසා ය.

එනමුත් අවාසනාවකට මෙන් එල්ළෙන හැම පිදුරු ගහක්ම වාගේ දිය රළට හසුව ගසාගෙන යයි. අල්ලස් කොමිසමේ විධායක අධ්‍යක්ෂිකා දිල්රුක්ෂි ඩයස් ඉවත් කරන සේ රාජපක්ෂ වහල්ලු මහා පෙත්සමක් අත්සන් කරන ලද මුත් ඊට සිදු වූ දෙයක් වත් දැන ගන්නට නැත. මහ බැංකු අධිපති මහේන්ද්‍රන්ට එරෙහිව අත්සන් කරන ලද විශ්වාශ භංගයත් එළෙසම භංග වී ගොසිනි. දිල්රුක්ෂි ඩයස් සහ මහේන්ද්‍රන්ට එරෙහිව අධිකරණයෙහි එකී වහලුන් විසින්ම ඉදිරිපත් කරන ලද නඩු දෙකෙන් ද වහල්ලු සහ රාජ පරම්පරාව පරාජයට පත් විය.

රාජපක්ෂ පරම්පරාවේ සහ වහලුන්ගේ ප්‍රධානතම එල්ලය වුයේ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු ක්‍රමයක් සඳහා වූ 19 වන සංසෝධනය බකල් කිරීමයි. අන්තිමේ දී එය බකල් කරනු බැරි තැන එය දුබල කිරීමට වහල්ලු සමත් වූහ. එහි සිවිල් සමාජ සහභාගිත්වය අවම කිරීමට වහල්ලු සිය පාර්ලිමේන්තු බහුතරය යොදා ගත්හ.

දැන් වහලුන්ගේ ඉලක්කය වන්නේ ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය පත් කිරීම අවුලට යවා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම වැළැක්වීම යි. ව්‍යවස්ථා මන්ඩලය පිහිටුවීමට පෙර මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි විශ්වාශ භංග යෝජනාව සාකච්ජාවට ගත යුතු යැයි රාජපක්ෂගේ පෙරමුණූ සොල්දාදුවකු වන දිනේශ් ගුණවර්ධන කියා සිටියේ ද ඒ අරමුනිනි. අනතුරුව මේ වහල්ලු ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වූ සිවිල් පුරවැසින්ට විරුද්ධ වූහ.

ස්වාධීන කොමිෂන් සභා සංකල්පය රාජපක්ෂ පරම්පරාවට සහ වහලුන්නට නයාට අදුකොළ වැන්න. මන්ද යත් සිය හෙංචයියන් රාජ්‍ය මර්මස්ථානයන්ට පත් කර ගැනීමට ඇති ඉඩ කඩ ඉන් ඇහිරෙන බැවිනි. කෙටියෙන් ගෙදර යන ගමන් රාජපක්ෂ හමු වී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් ලබා ගත් සහ රාජපක්ෂ සිය ඔලුව අත ගෑ ආදර කතා ජනමාධ්‍යට කීමට ආසා කරන ඊවා වනසුන්දර වැනි අයවලුන් පත් කර ගැනීමට ඉන් ඉඩ නොලැබෙන බැවිනි.

රාජපක්ෂගෙන් සිය පවුලට වරදාන ලබා ගත් අල්ලස් කොමිසමේ සභාපති බාලපටබැඳි, මානව හිමිකම් වෙනුවට රාජපක්ෂගේ අත්තනෝමතිකත්වය වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් කොමිසමේ සමාජික ප්‍රතිභා මහානාම, 1983 කලු ජූලියේ දී දෙමළ විරෝධය අවුලුවමින් පිස්තෝලයක් ඉනේ ගසාගෙන පොලිස් ස්ථාන ගානේ ගිය පොලිස් කොමිසමේ සාමාජික ඇල්ලේ ගුණවංශ යනාදීහු දිගටම එම තනතුරුවල රඳවා ගැනීම දැන් රාජපක්ෂ වහලුන්ගේ උපාය වී තිබේ.

මේ සියළු කූටෝපා යෙදෙන්නේ එකම එක අවශ්‍යතාවයක් වෙනුවෙනි. එනම් රාජපක්ෂ පරම්පරාව සහ එහි අන්තේවාසිකයින් පසු පස හඹා එන දූෂණ සහ භීෂණ චෝදනාවන්ගෙන් තාවකාලිකව හෝ ගැළවෙනු පිණිස ය. එකී කුටෝපායේ දේශපාලන මුහුණුවර වන්නේ රට බේරා ගත් වීරයා යැයි කියා රාජපක්ෂ සහ පරම්පරාව ආරක්ෂා කළ යුතු යැයි කියා සිටීමයි. රාජපක්ෂට මුවා වී තමන් ද ගැලවීමට කල්පනා කිරීමයි.
එසේ නමුත් වීරයින් යැ යි විරුදාවලී ලත් රාජ්‍ය නායකයින් දූෂණය සහ භිෂණය වෙනුවෙන් සිර ගත කරන ලද අවස්ථා නූතන ලෝකයෙහි විරළ නැත. ඒ ගැන පසුව බලමු.

Archive

Latest news

Related news