Tuesday, April 23, 2024

20වන ව්‍යවස්ථා සංසෝධන කෙටුම්පත: හොඳ සහ නරක

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනු ඇත; කැබිනට් අනුමැතිය සතුටක්. මන්ත්‍රී ධූර සීමා කිරීම සුළු පක්ෂ නියෝජනය සීමා කරනු ඇත; මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවිමකින් තොරව කුඩා දේශපාලන නියෝජනය තහවුරු කළ නොහැකිය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම පිළිබද කැෆේ සංවිධානය සතුට ප්‍රකාශ කරමු.  එසේ නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 225 ක් ලෙස තබාගනිමින් සහ කේවල ඡන්ද කොට්ඨාශ 125 කට සීමා කිරීම සුඵ දේශපාලන පක්ෂ සදහා ඇති ඉඩ කඩ අහුරා දැමීමට හේතු වනු ඇත.  මුස්ලිම් හා ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට ද, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්ෂවලට ද මෙය ඉතා අහිතකර ලෙස බලපානු ඇත්තේය.

කේවල හා සමානුපාතික ක්‍රම මිශ්‍ර වූ මැතිවරණ ක්‍රමයක් සදහා කැබිනට් අනුමැතිය ලැබීම මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සදහා වූ පළමු පියවර වේ.  එය දිගු කළක් මෙරට ජනතාව ඉල්ලා සිටි වෙනස ද වේ.  නමුත් මෙරට සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හි නියෝජනයක් පාර්ලිමේන්තුව තුල තහවුරු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 225 ක මට්ටමේ පවත්වා ගැනීම කිසිලෙසකින් හෝ ප්‍රමාණවත් නොවේ.  මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබද පලමු ලියවිල්ල සකස් කිරීමේ දී පවා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 234 හෝ 235 ලෙස සදහන් වූවේ එබැවිනි.    මුස්ලිම් ප්‍රජාව, උතුරු නැගෙනහිරින් පිට දෙමළ ජාතිකයින්, ජවිපෙ, ජාහෙඋ වැනි දිස්ත්‍රික්කය පුරා විසිරුණු සාමාජිකත්වය සහිත කණ්ඩායම් හි නියෝජනය තහවුරු කිරීමට එය අනිවාර්ය වූ කොන්දේසියකි.  මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ නැංවීමකින් තොරව කාන්තා නියෝජනය ඉහළ නැංවීම සිදු කිරීම අපහසුය.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ කොට්ඨාශ 125 ක් හා මන්ත්‍රී ධූර 225 ක් ක්‍රමය විසින් ප්‍රධාන අර්බුද තුනක් ඇති කරයි.
1.      කොට්ඨාශ 125 කට සීමා නිර්ණය කිරීම සදහා ඉතා විශාල කාලයක් අවශ්‍යවීම
2.      සුළු ජාතික නියෝජනය තහවුරු කිරීම සදහා ප්‍රමාණවත් බහු ආසන ස්ථානය කළ නොහැකිවීම
3.      උතුරු නැගෙනහිර පළාත් හි සිංහල නියෝජනය (වව්නියාව, සේරුවිල හා අම්පාර වැනි) සේම උතුරු නැගෙනහිරින් පිට දෙමළ මුස්ලිම් නියෝජනය කොට්ඨාශ මට්ටමින් තහවුරු කළ නොහැකිවීම  එයට ප්‍රධානම හේතු වේ.
මැතිවරණ කලමණාකරණය සදහා අදත් භාවිත වන මැතිවරණ කොට්ඨාශ 160 සහ මන්ත්‍රී ධූර 168 ක ක්‍රමවේදය සකස් කරනු ලැබූවේ 70 දශකයේ ය.  යටත් විජිත සමයේ සිට ඒ දක්වා පැවති සෑම සීමා නිර්ණය කොමිෂන් සභාවක් විසින්ම මෙරට කොට්ඨාශ සංඛ්‍යාව වැඩි කර ඇත.  ඊයේ කැබිනට් මණ්ඩලයේ සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් අද පවත්නා 160  ක් වූ කොට්ඨාශ සංඛ්‍යාව 115 – 118  දක්වා අඩු කිරීමට සිදු වේ.  (අවම වශයෙන් බහු ආසන 9 ක් ඇති කිරීම සදහා ද ඉඩ තැබිය යුතු බැවිනි)  වෙනත් වචනයෙන් කිවහොත් මෙම යෝජනාව ගෙන එන එජාපයට පවා සිය ආසන සංවිධායකවරුන් 40 – 45 ක් ඉවත් කිරීමට සිදුවේ.  දිස්ත්‍රික්ක මට්ටමින් බදුල්ලේ ඇති ආසන 9 ආසන 6 දක්වා අඩු වන්නේය.  ගාල්ලේ ආසන 3 ක්, මාතර ආසන 2 ක්, කුරුණෑගල ආසන 3 හෝ 4 ක් අඩු කිරීමට සිදුවන්නේය. කෑගල්ල, රත්නපුර, අනුරාධපුර, කලුතර දිස්ත්‍රික්ක වලින් ආසන 2-4 දක්වා මකා දැමීමට සිදුවේ.   යාපනයේ ආසන 11 ක සංඛ්‍යාව ආසන 5 හෝ 6 දක්වා අඩු කිරීමට සිදුවනු ඇත. දිවයිනේ ආසන සංඛ්‍යාව 10-15 කින් අඩු කිරීම ප්‍රශ්ණයක් නොවන නමුත් 35 කින් අඩු කිරීම එකග විය හැකි තත්වයක් නොවේ.

කැබිනට් මණ්ඩලය විසින් මැතිවරණ ක්‍රමයේ සංශෝධන සදහා සම්මත කර ගත් යෝජනාව වඩාත් ජනතාවාදී කිරීම සදහා මැදිහත්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ පමණක් නොව සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් වලද වගකීමකි.

එසේ නොවන්නේ නම්, 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේපවීමේ අවදානම දරා ගැනීමටත්, වත්මන් අන්ත දුෂිත මනාප ක්‍රමය අද පවත්නා ආකාරයෙන්ම පවත්වා ගැනීමටත් සිදු විය හැකිය.
අ.පො.ස. සා.පෙ. සමත් නැති මන්ත්‍රීවරුන් 94 ක් සහිත, උසස් පෙළ සමත් නැති මන්ත්‍රීවරුන් 142 ක් සහිත, කාන්තා නියෝජනය 5% ක් වත් නොමැති පාර්ලිමේන්තුවක් නැවත ඇතිවීම වලක්වා ගැනීම සදහා සැමගේ නියෝජනය තහවුරු කෙරෙන මැතිවරණ සංශෝධනයක් කරා කැබිනට් යෝජනාව වර්ධනය විය යුතු බව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.

කීර්ති තෙන්නකෝන්
විධාකය අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය                                                    2015 මැයි 9.

Archive

Latest news

Related news