Friday, May 3, 2024

රවිරාජ් ඝාතනයට යොදා ගත්තේ ‘හමුදාවේ අවියක්’

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සඳහා යොදා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය, එම ගිනි අවිය යුද හමුදාවෙන් පිටතට පැමිණියේ කෙසේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කළේය.

ඝාතනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථය අත් අඩංගුවට ගෙන මේ වන විට පොලිසිය භාරයේ පවතින බවද රහස් පොලිසිය දැනුම් දුන්නේය.

‘ගෝඨාභය රාජපක්ෂ සමඟ’

ඒ පිළිබඳව කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යව ඇති බැවින් ත්‍රිරෝද රථය තමන් භාරයේ තබාගැනීමට අවසර දෙන මෙන් රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

රවිරාජ් ඝාතනය අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ යාපනයේ සංචාරයක යෙදී සිටි බව සැකකාර නාවික හමුදා සෙබලෝ පවසති.

රවිරාජ් ඝාතනය සිදු වූ අවස්ථාවේ තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ යාපනයට ගොස් සිටි බවයි, දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර නාවික හමුදා සෙබළුන් ප්‍රකාශ කරන්නේ.

එය තහවුරු කෙරෙන වාර්තා රත්මලාන ගුවන් ගමන් පාලක මැදිරියේ පවතින බවද ඔවුහු පවසති.

එහෙත් එම ප්‍රකාශය තහවුරු කළ හැකි ගුවන් ගමන් පිළිබඳ වාර්තා තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව සැකකාර නාවික හමුදා සෙබළුන් පස් දෙනා ලබන 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පොලිසියට නියෝග කළේය.

(බීබීසී සංදේශය)

Archive

Latest news

Related news