Saturday, May 4, 2024

රාජ ඌෂ්ණය සහ ශිරන්ති රාජපක්ෂගේ ‘ අපි නොදන්න පාස්ෆෝට්‘

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම සිද්ධාන්තයක් වන්නේ නීතිය හමුවේ සියලු පුරවැසියන් සමානය යන්නයි.

සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික සම්මුතිය අනුව සියලු දෙනා නීතිය ඉදිරියෙහි සමාන ය. නීතිය අන්ධ විය යුතු යැයි කියැවේ. ඒ පාලක, පාලිත, වර්ගය. කුලය, පංතිය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය යනාදී කිසිම කරුණක් මත අගතිගාමී හෝ පක්ෂග්‍රාහී නොවීමට නීතිය වග බලා ගත යුතු නිසා ය.

එසේ නමුත් නීතිය සෑම දෙනාට ම සමානව සලකන්නේද යන ප්‍රශ්ණයට ඇති පිළිතුර ඊට සහමුලින්ම වෙනස් ය.

පසුගිය මැයි මාසයේ මුල දී වව්නියාව, මන්නාරම යන දුර බැහැර පෙදෙස්හි සේවය කරන දෙමළ ජනමාධ්‍යවේදින් සිව් දෙනෙකු කොළඹ රහස් පොලීසිට කැඳවන ලදී, ඒ ජනාධිපතිවරණය ආසන්නයෙහි ඔවුන්ට ලැබුණූ දුර කථන ඇමැතුමක් ගැන විමසීමට ය.කිසිම වරදක් පිළිබඳ චෝදනාවක් නිසා නොවේ. මේ ගමනට අඩුම ගණනේ ඔවුන්ට දවසක් ගත වන්නට ඇත. ප්‍රවාහණ සහ කෑම වියදම් රුපියල් දහස ඉක්මවන්නට ඇත. පොලීසිය ඒ වියදම් ඔවුන්ට ගෙවූයේ නැත. මෙම ප්‍රශ්ණය විමසීම ලෙහෙසියෙන්ම අදාළ පොලිස් ස්ථාන ලවා හෝ දුර කථන මාර්ගයෙන් හෝ කරන්නට තිබුණි. නමුත් පොලීසිය කළේ සිය හයිය පෙන්වීමට ඔවුන් කොළඹට කැඳවා ප්‍රශ්ණ කිරීමයි.

එසේ කැඳවන ලද මන්නාරම ජනමාධ්‍යවේදී ලැම්බර්ට් රෙසයිරෝ සහ ශිරන්ති රාජපක්ෂ යන දෙදෙනා ම ශ්‍රී ලංකාවේ සමාන පුරවැසියන් ය. එසේ නමුත් ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ බිරිඳ ය‍. මුල්‍ය අපරාධ කොට්ඨාශයට ශිරන්ති රාජපක්ෂගෙන් දැන් කුප්‍රසිද්ධ ඇයගේ 222222222v හොර ජාතික හැදුනුම් පත් අංකය ගැන ප්‍රශ්ණ කිරිමට අවශ්‍ය විය.

රාජ්‍ය පාලකයින් ආදර්ශමත් විය යුතු යැයි කියන නිසාදෝ රාජපක්ෂ ආදර්ශයෙන් ම තමන් සාමාන්‍ය ජනයාට වඩා ඉහළින් සිටින බව පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගත්තේ ය. ශිරන්ති රාජපක්ෂ රහස් පොලීසිට කට උත්තරය දුන්නේ චමල් නම් රාජපක්ෂගේ අයියාගේ ගෙදර ය. සමහර විට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ කුෂන් නොකරන ලද පුටවල වාඩිවිමෙන් ශිරන්ති රාජපක්ෂගේ පශ්චාත් බාගය උණුවන්නට ඉඩ තිබූ නිසා විය හැකි ය.

නිකම්ම නිකම් කට උත්තරයක් ගැනීමට මන්නාරමේ ජනමාධ්‍යවේදී ලැම්බර්ට් රොසයිරෝ කොළඹට කැඳවූ පොලීසිය ලැජ්ජා නැතිව ශිරන්තිගේ කට උත්තරය ගැනීමට ඇගේ මස්සිනාගේ ගෙදරට ගියේ ය.
හන්දියේ බාසාවෙන් නම් අහන්නේ ‘අලි පුකෙන් ආ නිසාදැ’යි කියා ය.

රාජපක්ෂවරු බලයෙන් විසිවී ගොස් සිටිය ද රාජ ඌෂ්ණයෙන් ම තැම්බෙමින් සිටින බව අයියාගේ ගෙදරට පොලීසිය කැඳවීමෙන් පමණක් නොව 222222222v හොර හැදුනුම්පත් අංකය ගැන කළ ප්‍රකාශයන්ගෙන් ද තහවුරු වෙයි.
රාජපක්ෂගේ වඩාම විසිළුකාරී හොරණෑකරුවා වන වීරවංශගේ වෙබ් අඩවියේ එම හැදුනුම් පත පිළිබඳ ප්‍රශ්ණය ගැන සඳහන් වෙන්නේ මෙසේ ය:

‘‘ (i). ගිණුමක් විවෘත කිරීමේදී හැඳුනුම්පත් අංකයක් සටහන් කරගන්නේ අදාල තැන්පත් කරුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමටයි. එවකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටේ පළමු කාන්තාව “First Lady” ලෙස හැඳින්වුණ නිසා ඇයගේ අනන්‍යතාවය අමුතුවෙන් තහවුරු කරගැනීමට මහජන බැංකුවට අවශ්‍ය වී නෑ. ඒ අනුව මහජන බැංකුවේ “information system” එකේ අදාල “text box” හිස්ව තැබීමට නොහැකි නිසා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හැඳුනුම්පත් අංකය 222222222V ලෙසටත් සඳහන් කර තිබේ.

(ii). ජාතික හැඳුනුම්පත සටහන් කරගත යුතුමයැයි නීතියක් නොමැතිනම් සහ ගිණුම් භාරකාරීත්වය අමුතුවෙන් සනාථ කරගැනීමට අනවශ්‍ය නිසා එය ඔවුන් නොසලකා හැරියා විය හැකියි.

(iii). ජාතික හැඳුනුම්පත් අංක එලෙස සටහන් කිරීම තමන් අතින් සිදුවූ අතපසු වීමක් ලෙස සඳහන් කරමින් මහජන බැංකුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලිපියක් යවා ඇත.’’ ( එකී වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි)

පුහුල් හොරා කරින් දැනේ යැයි කියන්නේ මේවාට ය. මේ අනුව බැංකුවක ගිනුමක් විවෘත කිරීමට ‘ඇය ශිරන්ති රාජපක්ෂ’ නිසා අනන්‍යතාවය තහවුරු කිරීම අවශ්‍ය නැත. ඇගේ මුහුණ සෑම බැංකු නිලධාරියකුම දැන සිටිය යුතුය යනු එහි උපකල්පනය යි. මේ තරම් අහංකාර කතාවක් රාජ ඌෂ්ණයෙන් තැම්බී නැත්නම් රාජපක්ෂ බිරිඳට කිව හැකි ද?

කසිප්පු මුදලාලිලා වෙනුවෙන් හිරේ යෑම රස්සාවක් කරගෙන සිටින නන්නත්තාර අපරාධකරුවන් ඕනෑ තරම් සිටින රටක දැන් බැංකු නිලධාරීන්ද ඒ රස්සාවට බැස සිටින බව පෙනෙන්නේ මෙම හොර ජාතික හැදුනුම්පත් අංකය තමන් විසින් කරන ලද්දක් බවට මහජන බැංකුව විසින් දැන් පිළිගෙන ඇතැයි විරවංශ වෙබ් අඩවිය කියන නිසා ය.

මේ අනුව මෙරට පුරවැසියකුගේ බැංකු ගිනුමකට බැංකු නිලධාරියාට සිතෙන පරිදි ඕනෑම අංකයක් ඇතුළත් කළ හැකි ය.!

මහජන බැංකවේ ඊනියා වරද පිළිගැනීම සිදුවී ඇත්තේ ශිරන්තිගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය ප්‍රශ්ණ කිරීමට තීරණය කළ නිසා පමණය. එතෙක් මහජන බැංකුව ඒසා වරදක් කළ නිලධාරින් සොයා ඔවුන්ට විරුද්ධව ගත් පියවරක් ඇත් ද? (හැදුනුම් පත් අංක වෙනස් කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි) විමල් විරවංශගේ බිරිඳගේ හොර උපන්දින සහිත විදේශ ගමන් බල පත්‍රය ලබා ගත් ලියැවිළි නැතිවී එම ගමන් බල පත්‍රය අහෝසි කරන්නට යැ යි විරවංශ කළ ඉල්ලීමක් අදාළ ලිපි ගොනුවට ඇතුල්වීම සහ මෙළෙස ශිරන්ති සම්බන්ධයෙන් මහාජන බැංකුව විසින් වරද පිළිගැනීම එකම ජාතියේ ඇස් බැන්දුම් ය. විරවංශ කළ යුතුව තිබුනේ ලිපි ලියනවා වෙනුවට වැරදි උපන් දිනයක් සටහන් වි තිබුණි නම් එම ගමන් බල පත්‍රය වහාම බාර දී නිවැරදි එකක් ලබා ගැනීම නොවේ ද? එනයින් ම ශිරන්ති රාජපක්ෂ විසින් ද කළ යුතුව තිබුණේ වහාම සිය නිවැරදි ජාතික හැදුනම් පත් අංකය ඉදිරිපත් කර සිය රාජ්‍ය නොවන සංවිධාන ගිනුමෙහි දත්ත නිවැරදි කිරීම නොවේ ද?

ශිරන්ති රාජපක්ෂ කියන්නේ මෙම හොර හැදුනුම්පත් අංකය ‘අත් වැරුද්දක්‍’ බවයි. බැංකු නිලධාරියකුට අත් වැරද්දක් වශයෙන් සහමුලින්ම ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් බැංකු ගිනුමකට ඇතුළත් කළ හැකි ද?

මෙයට අමතරව මුල්‍ය අපරාධ කොට්ඨාශයට සිය කට උත්තරය දීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් ( ඩේලි මිරර් ජූනි 01 දා) ශිරන්ති රාජපක්ෂ කියා සිටින්නේ සිය සිරිලිය බැංකු ගිනුම විවෘත කිරීමේ දී තමා බැංකුවට දුන්නේ විදේශ ගමන් බලපත්‍රය නිසා සිය ඇත්ත ජාතික හැදුනුම් පත් අංකය බැංකු ගිනුමේ සදහන් වි නැති බවයි.! අපි නොදන්න පාස්පොට් යැයි කියැවෙන්නේ මෙවැනි බයිලා වලට ය. ශ්‍රී ලංකාවේ ඕනෑම විදේශ ගමන් බල පත්‍රයක් අරගෙන බලන්න. එහි දෙවැනි පිටුවෙහි හිමිකරු/හිමිකාරියගේ නම පමණක් නොව ජාතික හැදුනම් පත් අංකය ද තිබේ. ඒ බව ශිරන්ති දන්නේ නැත් ද? ඇය ගමන් බල පත්‍රය බැංකුවට දුන්නේ නම් එහි ඇති ජාතික හැදුනුම් පත් අංකය වෙනුවට ව්‍යාජ අංකයක් සටහන් කරන ලද්දේ මන් ද?

“එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා!” කියන්නේ මෙවැනි පන් ගෝට් වලට ය.

මේ ව්‍යාජ හැදුනුම්පත් නාටක විසින් පෙන්වන්නේ රාජපක්ෂවරුන් සහ විරවංශ වැනි හෙංචයියන් නීතිය බල්ලාට දමා සිය සිඟැති අනුව අවනීතියෙන් රට පාලනය කළ හැටි ය. රාජපක්ෂලා කොයිතරම් රාජ ඌෂ්නයෙන් තැම්බී සිටින්නට ඇත් ද යත් දන්නා කාලයක සිය බලය අහිමිවනු ඇතැයි සිතුවේ නැත. දැන් හෙළි වී ඇති පරිදි රාජපක්ෂ විසින් මාර්ග සංවර්ධනයට යැයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගෙන තිබූ රුපියල් බිලියන 55ක ණය මුදලින් බිලියන 28ක් මහා මාර්ග අමාත්‍යාංශයේ වෙනත් වැඩ කටයුතුවලට යොදවා තිබෙන්නේ ද ගණනක් මිනුමක් නැතිව රාජ්‍ය සම්පත් අනිසි පරිහරණය රාජපක්ෂ පාලනයේ ලකුණ වූ නිසා ය.ටිකක් නොවෙයි, බිලියන 28ක්! සිරිලිය ගිනුම වනාහී අවනීතිය රජ කළ රාජපක්ෂ දූෂණයේ එක් සංකේතාත්මක හොරකමක් පමණි.

බලයේ සිටිය දී පමණක් නොව බලයට ඒමට සිහින මවන විට ද රාජපක්ෂවරු මෙන්ම හෙංචයියන් ද රාජ ඌෂ්ණයෙන් ඉදිමෙති. ඒ කෙතෙක් ද යත් ‍‘රාජ කුමරු’ නාමල් ඉදිරියෙහි ඇතිව ‘ අප බලයට ආ විට මුල්‍ය අපරාධ අංශයේ ඉහළම පොලිස් නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා ගල් ගසා මරා දමන බව’ ට දැන් ප්‍රසිද්ධියේ ම තර්ජන ගර්ජන පවා කැරෙති. ‘රාජ කුමරු’ එය අනුමත කරමින් අසා හිදී. ‘පකයා’ විශේෂනය පනින තරමට කටේම ඇති වාසුදේව ‘මෛත්‍රීපාල උඹ පලයන්’ යැයි වහසි බස් දොඩයි. බන්දුල ගුණවර්ධන මහා මැතිවරණයට පෙර තමන්ගේ ආන්ඩුවක් පිහිටුවා ගන්නා බවට පිස්සු කෙළියි.

මේ සියල්ලෙන් පෙනෙන්නේ රාජපක්ෂවරුන් පමණක් නොව හෙංචයියන් ද බියෙන් තැතිගෙන ඇති තරමය. ඒ බලය නැති වීම නිසාම නොවේ. ශ්‍රී ලංකාවෙහි හොල්මන් කැරෙන එක් අවතාරයක් නිසා ය. රාජපක්ෂ සහ සමාගම බියෙන් වෙව්ලවන ඒ අවතාරය නම් දූෂණ විරෝධය යි!

ඉන් මේ දේශපාලන පිසාචයිනට ගැලවීමක් නැති බවට වග බලා ගැනීම ශ්‍රී ලංකාවේ එක් තීරණාත්මක කාර්‍ය භාරයක් වේ.

Archive

Latest news

Related news