Saturday, May 4, 2024

මෙන්න රාජපක්ෂ සහ වහල්ලු ඉල්ලන යහ පාලනය! – සුනන්ද දේශප්‍රිය

( ජොලි දවස්: රාජපක්ෂ පවුලේ විවාහයක්)

සිය මෑණියන් වන හිටපු ජනාධිපති ආර්යාව මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට ( එෆ්අයිසීඩී) කැඳවීම සම්බන්ධයෙන් සමාජ ජාලයට පා.ම. නාමල් මැයි 26 දා රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් මුදා හැර තිබේ. ඔහු එහි මෙසේ කියයි:

‘‘ මගේ මවට පරීක්ෂණයක් සඳහා පැමිණෙන්නැයි එෆ්අයිසීඩීයෙන් මේ දැන් දැන්වීමක් ලැබණා. ඇය මෙවැනි වදයකට පැමිණවීම සුදුසු ද? ‘යහ පාලනය‍’ මේ ආන්ඩුවේ වෙස් මුහුණක්. පළි ගැනීම ‘යහපාලනය’ නොවෙයි. මගේ මව ඉලක්ක කර ගැනිමෙන් පෙනෙන්නේ ඒකයි. ජනාධිපති රාජපක්ෂ සහ මා දේශපාලනඥයින් වශයෙන් දේශපාලන පළිගැනීම්වලට මුහුණ දීමට සූදානම්. නමුත් මා පාර්ථනා කරන්නේ මගේ මව සහ සහෝදරයින්ට පාඩුවේ ඉන්න දෙන්න කියළයි.’’

නාමල් රාජපක්ස යැවූ ට්විටය:

නාමල් රාජපක්ෂ නොදන්වාට ශිරන්ති රාජපක්ෂට එල්ල වී ඇති චෝදනාව දැන් ප්‍රසිද්ධ එකකි. එනම් ඇයගේ නමින් පවත්වා ගෙන ගිය ‘සිරිලිය‍’ නම් රාජ්‍ය නොවන සංවිධානය ආරම්භ කිරීමට ඇය විසින් ව්‍යාජ ජාතික හැදුනුම් පතක් යොදා ගැනීමයි. අප කව්රුත් දන්නා ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම (අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැදුනුම්පත් අංකයක් භාවිතා කර තිබේ. එවැනි වරදක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට පොලීසියට අයිතියක් නැත්ද? එසේ නම් ව්‍යාජ ජාතික හැදුනුම් පත් සහ ගමන් බලපත් සම්බන්දයෙන් රටෙහි කිසිවකුට දඩුවම් නොපැමිණ විය යුතු යැයි රාජපක්ෂවරු විශ්වාස කරන්නේ ද? එසේත් නැත්නම් රාජපක්ෂවරුන්ට පමණක් වෙනම නීතියක් තිබිය යුතු යැයි ඔවුන් විශ්වාස කරන්නේ ද?

සිය මව වෙනුවෙන් පෙනී සිටීමට නාමල් රාජපක්ෂ මහතාට ඇති අයිතියට ගරු කළයුතු එකකි. එනමුත් සිය මව රාජපක්ෂ පාලන සමයෙහි දේශපාලනයට සම්බන්ධ නැතැයි කීම වැරදි ය. මහරගම සිට රත්මලානට ඒමට ජනාධිපතිවරණය අතරතුර 2014 දෙසැම්බර් 12 දා ශිරන්ති රාජපක්ෂ ගුවන් හමුදාවේ යානයක් යොදා ගත්තේ එම දේශපාලන බලය නිසා නොවේ ද? කිලෝ මිටර 10ක් තරම් දුරක් වන ගමනකට ගුවන් යානයක් යොදා ගත්තේ යහ පාලනය නිසා දැයි රාජපක්ෂවරුන් රටට පැහැදිළි කළ යුතු ය. ශිරන්ති රාජපක්ෂගේ එම ගමනට පමණක් ගුවන් හමුදාවට පන් ලක්ෂ විසි දහසක් ගෙවුයේ රාජපක්ෂවරුන්ගේ බූදලයෙන් නොව මහජන මුදලින් ජනාධිපති කාර්යාලය විසිනි. ජනාධිපතිවරණ කාලය තුළ ඊට අදාළව ශිරන්ති රාජපක්ෂ ගුවන් ගමන් දහයක යෙදුණු අතර ඒ සඳහා වැය වූ මහජන මුදල ලක්ෂ විසි දෙකකි. ඇය දේශපාලනඥයකු නොවේ නම් ජනාධිපතිවරණ සමය තුළ මෙළෙස මහජන මුදලින් ගුවන් හමුදා යානවලින් දේහපාලන රැස්වීම් වලට ගියේ ඇයි? මෙම ගුවන් ගමන් ජනාධිපති රාජපක්ෂ සමඟ ආ ගිය ගමන් නොවේ. ඇය වෙනුවෙන් පමණක් වෙන් වූ ගුවන් ගමන් ය. ජනාධිපතිවරයා සමඟ යනෙන විට හැර ජනාධිපති බිරිඳකට මහජන මුදලින් සිය ගමන් වියදම් පියවීමට අයිතියක් නැත.

ඉතිං පා.ම. නාමල් රාජපක්ෂ අපට කියන්නේ එවැනි අනීතික ක්‍රියා ගැන පරීක්ෂණ පැවැත්වීම දේශපාලන පළි ගැනීමක් කියා ද?

ජනාධිපති බිරිඳ වූ ශිරන්ති රාජපක්ෂගේ මළයා වීම නිසා පමණක් ම ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ප්‍රධානියා බවට පත් නිශාන්ත වික්‍රමතුංග විසින් කරන ලද දූෂන සහ වංචා දැන් රටම දනී, ඔහු රාජපක්ෂ බලයෙන් මත්ව මහජන මුදලින් පවත්වා ගෙන ගිය කාම සුඛල්ලිකානු ජීවිතය පවා හැදින්වෙනු ඇත්තේ රාජපක්ෂ යහ පාලනය ලෙස ය.

රාජපක්ෂ රිජීමය යටතේ රාජපක්ෂ පවුල ජීවත්වූයේ තමන්ට නීතිය බලපාන්නේ නැතැයි සිතා සිටින අත්තනෝමතික රජ පවුලක් ලෙසිනි. ඔව්හු රිසි සේ මහජන මුදල් සහ පොදු සම්පත් ගසා කමින් බලයෙන් මත් වී සිටියහ. නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය තුල එනම් 2014 දෙසැම්බර් 01 දා සිට ජනවාරි 08 දා දක්වා දේශපාලන කටයුතු සඳහා ගුවන් හමුදාවේ යානා 25 වතාවක් යොදා ගත්තේ ය. ඒ සඳහා වැය වූ මහජන මුදල රුපියල් ලක්ෂ එකසිය පණහකි. ඉන් එක් වතාවක දී ඔහු රත්මලානේ සිට කිලෝමීටර 50ක්වත් නැති අහුන්ගල්ලට යෑමට පවා යොදා ගත්තේ ගුවන් හමුදා යානයකි. රාජපක්ෂ පවුලේ නොවී නම් නාමල් නැමැති ලාබාල දේශපාලනඥයාට එවැනි බලයක් ලැබෙනු ඇත් ද? සමහර අවස්ථාවන්හිදී ඔහු තංගල්ලේ ගෙදර ගොස් ඒමටත් යොදා ගත්තේ ගුවන් හමුදා යානාවන් ය.

ඒ වනාහී රාජපක්ෂවරුන්ට අනුව යහ පාලනය යි. එවැනි දේශපාලන වශයෙන් බලය අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව පරික්ෂණ පැවැත්වීම පළිගැනීමයි. රාජපක්ෂවරුන් යළි රටේ බලය අල්ලා ගන්නට දගලන්නේමෙම ‘පළිගැනීම්’ නවත්වා යළි ඔවුන්ගේ යහ පාලනය පිහිටුවීමට ය.

රාජපක්ෂ සමයෙහි රටෙහි තෙවැනි බලවතා වූයේ බැසිල් රාජපක්ෂ ය. බැසිල් රාජපක්ෂ තවමත් රුඳවුම් බාරයේ සිටින්නේ මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙනි. දැන් හෙළිදරව් වි ඇති කරුණු අනුව බැසිල් රාජපක්ෂගේ බිරිද පුෂ්පා රාජපක්ෂ ද රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන ගොස් තිබේ. එහි නම පුෂ්පා රාජපක්ෂ පදනම යැයි කියනු ලැබේ. මෙම පදනමට කොළඹ වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබාගත් සමාගමකින් රුපියල් මිලියන 600 (කෝටි 60) ඍජුවම ලබා දී තිබේ. එහි නම ‘කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ය’ ය‍. එසේ ලද මුදල් යොදවන ලද කිසිදු පොදු කටයුත්තක් ගැන දැන ගන්නට නැත. එම සමාගම එතරම් මුදලක් රාජපක්ෂ පවුලට ලබාදුන්නේ මන්ද? සමහර විට පා.ම. නාමල් රාජපක්ෂ කතා කරන රාජපක්ෂවාදී යහපාලනය වෙනුවෙන් විය හැකි ය.

රාජපක්ෂ සමයෙහි ජාතික ආරක්ෂාවට හෝ ජනවාර්ගික සමගියට හෝ අදාළ ව්‍යාජ ආරංචි පැතිරවීම දඩුවම් ලැබිය හැකි වරදක් සේ ප්‍රසිද්ධියට පමුණුවා තිබුණි. 2014 අගොස්තු 02 දා එවකට යුද හමුදා ප්‍රකාශක වූ බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර කියා සිටියේ එවැනි බොරු ආරංචි පතුරුවන්නන්නට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි. එපමණක් නොව මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයක් එල්ල වන්නට යන්නේ යැයි ජංගම දුර කථන කෙටි පණිවිඩයක් යැවූ මුස්ලිම් තරුණයකු අත් අඩංඟුවට ගන්නා ලද්දේත් එම කාලයේ දීම ය.

නමුත් රාජපක්ෂවරු තවමත් සිතා ගෙන ඉන්නේ එදා තමන් විසින්ම පැනවූ නීති රීති රජ පවුල නිසා තමන්ට බල පාන්නේ නැතැයි කියා ය. ඒ නිසා සිංහල ජනයා කුපිත කළ හැකි ඕනෑම බේගලයක් ඇද බෑම තමන්ගේ යහ පාලනය ලෙස රාජපක්ෂවරු සිතා සිටිති.

එසේ නම් 2015 ජනවාරි 08 දා ජනාධිපතිවරණයෙන් තමා පරාජය වූ වහාම උතුරේ යුද හමුදා කඳවුරවලට ගල් ප්‍රහාර එල්ල වූයේ යැයි ද ඉන් පස් මසකට පසු 2015 මැයි 18 දා උතුරේ එල්ටීටීඊ කොඩි ඔසවා ඇතැයි ද යනුවෙන් අමූලික බොරු ප්‍රසිද්ධියේ කියූ රාජපක්ෂ වරදකරුවකු නොවන්නේ ද? එම බොරු ප්‍රකාශ මගින් ජනවාර්ගික අසමගිය ඇති කිරීමට රාජපක්ෂ උත්සාහ දැරූ බවට චෝදනා ගොනු කළ හොත් එය දේශපාලන පළිගැනීමක් ද?
මහින්ද රාජපක්ෂගේ සමීපතම ඥාතියකු ( මවගේ සහෝදරියගේ ලොකු පුතා) වීම නිසා රුසියාවෙහි ශ්‍රි ලංකා තානාපති පදවියෙන් පුද ලද උදයංග විරතුංග අද අන්තර් ජාතික සොරකු ලෙස ලෝකයේ කොතැනක හෝ සැඟවී සිටින්නේ හොර යුද අවි ජාවාරම් සම්බන්දයෙන් ලබා ඇති චෝදනා නිසා ය. ඔහු වසර අටක්ම එක දිගට රුසියාවෙහි ශ්‍රී ලංකා තානාපති විය. ඊට පෙර උදයංග වීරතුංග යුක්රේනයේ පදංචි වී හෝටලයක් පවත්වා ගෙන ගිය ජවාරම්කරුවකු පමණක් විය.ඔහු යුක්රේනයේ ආන්ඩු විරෝධි කැරලිකරුවනට නීති විරෝධී ලෙස අවි සැපයූ බවට යුක්රේන ආන්ඩුව චෝදනා කරයි. දැන් මේ අන්තර් ජාතික යුද අවි ජාවාරම්කරුවා නීතිය ඉදිරියට ගෙන ඒමට දරන තැත ද රාජපක්ෂවරුන් විසින් හදුන්වන ඇත්තේ පළිගැනීමක් ලෙස ය.

පසුගිය ජනාධිපතිවරණ සමයෙහි නුවරඑලියෙහි ජනාධිපති බංගලාවෙහි සිට රාජපක්ෂගේ ජන්ද මැෂිම ක්‍රියාත්මක කළේ මේ උදයංග වීරතුංගම ය‍

මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදර මේ උදයංග වීරතුංග ගෝඨාභය රාජපක්ෂ ගැවී ඇති බවට චෝදනා ලබන අති විශාල මුල්‍ය වංචාවක් වන 2006 මිග් ගනුදෙනුවේ අතරමැදියා ය. 198 ගණන් මුලදී සාදන ලද එවකටත් යල්පැන ගොස් තිබූ මිග් යානා මිලදී ගන්නා ලද්දේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඩොලර් මිලියන තුනහමාරක් වෙළද පොල වටිනාකමට වඩා වැඩි පුර ගෙවමිනි. එනම් රුපියල් මිලියන තුන්සිය පණහක හොර ජාවාරමකි.එම මුදල ගෙවන ලද්දේ ‘බෙලිමිස්සා හෝල්ඩින්ස්’ නම් එක්සත් රාජධානියේ සමාගමකට යැයි වාර්තා වි ඇති නමුත් එවැනි සමාගමක් එරට නැති බව ඉන්ටර් පෝල් නම් අන්තර් ජාතික සමාගම ලංකාන්ඩුවට දැනුම් දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබූ ආරක්ෂක අමාත්‍යංශය එපමණ මුදලත් ගෙවීමට අත්සන් කර තිබුණේ නොපැවති සමාගමකට ය.

එපමණක්ම නොවේ. රාජපක්ෂ පවුලේ බාලයකු වූ යෝශිත රාජපක්ෂට මහා බ්‍රිතාන්‍යයෙහි වසරක ශිෂ්‍යත්වයක් ලබාදුන්නේ එකී මිග් ගනුදෙනුවේ උක්රේන ජවාරම්කාර සමාගම වූ Ukrinmarsh උක්ර්නමාශ් විසිනි. කොහොම ද රාජපක්ෂ යහ පාලනයේ රඟ?

දැන් මෙම මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ පරික්ෂණ පැවැත්වීම ද රාජපක්ෂවරුන්ට අනුව පළි ගැනීමක් වනු ඇත. මන්ද යත් රාජපක්ෂ යහපාලනය අනුව සිය රජ පවුලට සිත් සේ ගසා කැමට ඉඩ කඩ තිබිය යුතු නිසා ය.
මේ තරම් වංචා දූෂණ මගින් ජාවාරම් කළ වෙනත් දේශපාලන පවුලක් මෙරට නැත. වෙනත් රාජ්‍ය නායකයකු මෙරට සිට නැත.

දැන් මේ සියලු හොරමැරකම් ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව සිටින්නේ රාජපක්ෂ පවුල සහ එහි ස්ත්‍රොත ගායකයින් පමණක් නම් එය තේරුම් ගැනීම දුෂ්කර නැත. නමුත් අද රාජපක්ෂ වංචා දූෂණ ආරක්ෂා කරමින් රාජපක්ෂවරුන් සමඟ දේශපාලන සන්ධාන ගොඩ නගමින් සිටින්නේ ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන ජනාධිපති සිරිසේනගේ පක්ෂයේ නායකත්ව තුන් කට්ටුවම සැදී පැහැදී සිටින්නේ රාජපක්ෂවරුන් යළි බලයට ගෙන ඒම පිණිස ය.

ජනාධිපති සිරිසේනගේ ම වචනයෙන් වහල් භාවයම අපේක්ෂා කරන මොව්හු බලයට එන බවට දින පතාම තර්ජනය කරන නමුත් තමන් බලයට එන්නේ කුමණ පිළිවෙතක් බලයට ගෙන ඒමට දැයි රටට කියන්නේ නැත්තේ පරණ වංචාවේ දූෂණයේ සහ භීෂණයේ පිළිවෙත හැර අන් මඟක් ඔවුන් සතුව නැති නිසා ය.

ඉදින් ජනාධිපති සිරිසේන සිටිනු ඇත්තේ කොහිද?

Archive

Latest news

Related news