Friday, April 19, 2024

මංගල සමඟ ගමනක; සුන්දර සිහිනයේ ඇති අවධානම – නිලන්ත ඉලංගමුව

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව සහ ඊට එක් වූ ජනතාව දෙස බැලීමේදී දක්නට ලැබිණි. ඊට එක් වූ ඇතැම් පාක්ෂිකයින් සතුව මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තිර අරමුණක් සහ අධිෂ්ඨානයක් මෙන්ම සිහින රාශියක් ඇති බව දැක ගත හැකි විය. සමස්ථයක් ලෙස රටේ මතු වී ඇති දේශපාලන නැඹුරුව එහිදී දැකගත හැකි විය. මංගල සමඟ නව ගමනක් යෑමට බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටින සැටියකි. මෙය මීළඟ මහ මැතිවරණය සම්බන්ධයෙන් ඇරඹුණු ප්‍රධාන ප්‍රචාරණ ව්‍යාපෘතිවල ඇරඹුම් ලක්ෂයක් යැයි කීම අතිශෝක්තියක් නොවේ.

මැතිවරණයක් උදෙසා වූ මුලික අවධානය යොමු වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට, සහ ජනතා විමුක්ති පෙරමුණටය. එම පක්ෂ දෙක මැතිවරණය පැවැත්වෙන දිනය එනතෙක් බලාගෙන සිටිති. දෙමළ ජාතික සන්ධානය ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට කැමතිය. මන්ද ඔවුන්ගේ පදනම ස්ථීර එකක් බැවිනි.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණ්ඩු අතර සිර වෙමින් මැතිවරණයේ තම ආස්ථානය සොයා සිහිනෙන් ඇවිදිමින් සිටින සැටියෙකි. ඉතිහාසයේ මුහුණ දුන් බලවත්ම ආභියෝගවලින් එකකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණ දෙමින් සිටින්නේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම රූකඩ භාවිතා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අස්ථාවර කරන ආකාරය මෙන්ම එම රූකඩ වලින් තම පුත්‍රයා වන නාමල් රාජපක්ෂ සියුම්ව ඈත්කර තබා ගැනීමට රාජපක්ෂ ප්‍රවේශම් සහගතව කටයුතු කරමින් සිටින ආකාරය පෙනේ. එමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නාමල් රාජපක්ෂගේ පැවැත්ම සියුම්ව විස්තාරණය වේ. මෙම සියුම් දේශපාලනයට කෙටි කාලීන අරමුණු නොමැත. ඇත්තේ දීර්ඝකාලීන අරමුණු සහ අපේක්ෂාවන්ය.

කෙසේ වෙතත්, වත්මන් දේශපාලන වටපිටාව එක්සත් ජාතික පක්ෂයට ඉතාම වාසි සහගත ලෙස නිර්මාණය වී තිබේ. එය කලින් කලට රටේ සිදුවන ස්වභාවික සිදුවීමකි. මෙවර අවස්ථාව එ.ජා.ප.ය කේන්ද්‍ර කරගනිමින් දෝලනය වේ. එහි මුලික හැඩතලය පසුකාලීනව නිර්මාණය කරනු ලැබුවේ මංගල සමරවීර විසිනි.

සැබවින්ම මංගල එම අවස්ථාව සිහි බුද්ධියෙන් තමන් වෙත අත්පත් කරගනු ලැබුවේය. පෙර දින සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ සහ අනෙකුත් රනිල් විරෝධීන් සතුව තිබූ අවස්ථාව මංගල විසින් ක්‍රමිකව තමන් අතට ගනු ලැබීය. එය මංගලගේ දක්ෂකමයි. මංගල එවැනි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා හැකියාව ඇති සූක්‍ෂම දේශපාලනඥයෙකි. ඔබේ සතුරාගේ සතුරා ඔබේ මිතුරාය යන, ආත්තෝපදේශය මංගලගේ දේශපාලන කෞශල්‍ය හමුවේ මනාව නිරීක්ෂණය කළ හැකි කාරණයකි. අවස්ථාව තට්ටු නොකරන විට තමන්ගේ ස්ව-වීරියෙන් දොරක් හදා, අවස්ථාව දොරට තට්ටු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ අයෙකු ලෙස මංගල හැඳින්වීමේ වරදක් නැත.

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කැමැත්ත තමන් වෙත ආදේශ කරගැනීම නමැති මුලික අභියෝගය ජයග්‍රහණය කිරීමෙන් පසු මංගලගේ මීළඟ අභියෝගය වන්නේ, රටේ වර්ගවාදී කල්ලි, එනම් සමාජ සහ දේශපාලන වෙනස්කම් දැක ඒවා පැහැරගෙන තමන් බලවතුන් වීමේ කෛරාටකම ඇති කණ්ඩායම් වලින් තමන්ගේ දේශපාලන විඥානය වෙන්කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙය වීමය. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය මූලික කාරණයක් බවට මතු වෙමින් තිබේ.

බලය පත්වන නායකත්වය අභිමුව කුළුපඟ මිත්‍රයෙකු සේ වෙස්වලාගෙන කටයුතු කොට නායකත්වය තමන්ගේ වුවමනා එපාකම් වලට අනුව නැටවීම සඳහා ප්‍රභල හැකියාවක් ඇති එහෙත් කිසිඳු ජනප්‍රසාදයක් නොමැති කණඩායම් සහ පුද්ගලයින් වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළද බහුලව දැක ගත හැකිය. මෙම කණ්ඩායම්, ජනතාවගේ කැමැත්තෙන් පත්වන නායකයින් මෙහෙවීම සහ එම නායකත්වය තමන්ට රිසි ආකාරයෙන් නැටවීම සිදු කරනු ලබයි. එම කණඩායම් මතුපිටින් වර්ගවාදීන්, ජාතිවාදීන් හෝ “දේශප්‍රේමීන්” ලෙස හැඩගැන්නුවද ඒවායෙහි අභ්‍යන්තර අරමුණු හුදු පෞද්ගලික අභිලාෂයන් පමණක් වේ. එසේම මෙම කණඩායම් වල දැක ගත හැකි විශේෂ ලක්ෂණය වූ කලී, ඒවා ක්ෂුද්‍ර වශයෙන් කැඩී බිඳී ගියද, ඒවායෙහි මුල් අරමුණු එනම් පෞද්ගලික අභිලාෂයන් කරා යෑමේ ආත්මාර්ථ ආශාවන් නැසී නොයන්නේය. මංගලට මීළඟට මුහුණ දීමට සිදුවන මුලික අභියෝගය වන්නේ එයයි. එය සංකීරණ සහ බැරෑරුම් කාරණයකි.

එකල, සුදු නෙලුම්, සිහිනයේ අභියෝග වැනි ප්‍රතිපත්තිමය මෙහෙයුම් ඔස්සේ මංගල ලියු ගැඹුරු දේශපාලනයක් තිබේ. එය වත්මන් වටපිටාව හමුවේ මතු වී ඇති කාරණා සමඟ සම්බන්ධ කොට උචිත ලෙස සංස්කරණය කරමින් රටේ අනගාතය වෙනුවෙන් මෙහෙය වීමේ අමිල අවස්ථාව මේ වන විට උදා වී තිබේ.

නමුත් මෙහිදී, සෑම විටම අමතක නොකළ යුතු පැරණි සේම සදාතනික මුලික පාඩම මෙහිදී යළිත් මතක් කිරීම වැදගත් වේ. ඒවූ කලී ජයග්‍රහණය බලෙන් ලබාගත හැකි දෙයක් නොවේ, යන්නය. එහි කදිම නිදසුන වසර දෙකක් බලයේ සිටීමට නෛතික බලය තිබූ රාජපක්ෂට මුහුණ දීමට සිදු වූ දෛවෝපගත අලකලංචියයි.

‘මංගල සමඟ ගමනක්’ නමැති සුන්දර සිහිනයේ ඇති අවධානම ලිය වී ඇත්තේද මෙම මුලික රාමුව තුළ යැයි කීම අතිශෝක්තියක් නොවේ.

Archive

Latest news

Related news