මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ පදනමක් නැතුවයි
ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් “සිළුමිණ” පැවැත්වූ සංවාදයකි මේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්, තීන්දුව ගැන ප්‍රබල සංවාදයක් රටේ ඇතිව තියෙනවා. නීතිඥයකු හැටියට ඔබ මේ කාරණය කියවන්නේ මොන විදිහටද?
මෙහෙමයි. දූෂණයට එරෙහිව ක්‍රියාකර දූෂිතයන් අත්අඩංගුවට ගත යුතුයි කියන කාරණය ජනාධිපතිවරණයට පෙර සිටම, මේ රටේ තිබුණු ප්‍රධානතම සටන් පාඨයක්. ඒ මතවාදය නිසාම තමයි, දූෂිත යැයි සැලකෙන පසුගිය ආණ්ඩුවට, ජනාධිපතිවරණයේදී ගෙදර යන්න සිද්ධ වුණේ. එම මහජන අභිමතාර්ථය ඉෂ්ට කිරීම සඳහා රජයක් ලෙස මැදිහත්වීමේ සාදාචාරමය හා තාර්කික යුතුකමක් නව රජයට තිබුණා.
එතැනදි යම් ක්‍රියාශීලි මැදිහත්වීමක් සිදුකරමින් අල්ලස් කොමිසම පොලිසිය වැනි ආයතනවල සාධනීය වෙනස්කම් කිහිපයක් ම රජය සිදු කළා. මේ කටයුතු විධිමත් කිරීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළා. මුල්‍ය අපරාධ විමර්ශනය කියන්නේ ඉතා දීර්ඝ කාලීන සංකීර්ණ විමර්ශනයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ යම් යම් කටයුතු සම්බන්ධයෙනුත් එවැනි විමර්ශනයක් සිද්ධ වෙනවා. පුවත්පත්වල තිබුණු හා උසාවියට කියලා තිබුණු තොරතුරුවලට අනුව සීඅයිඩී ය හා එෆ්සිඅයිඩි ය කියන ආයතන දෙකෙන්ම එතුමා පිළිබඳව විමර්ශනයන් සිදුකරනවා.
ඔබ මතු කළ කාරණයට ආවොත් මේ නඩුවේ පදනම ෙවන්නේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට අභයෝග කර, ඒ ඔස්සේ ඒ විමර්ශනය බාල කිරීම සහ අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීම. මගේ ජීවිතයේදි මට නම් මේ වගේ නඩු බොහොමයක් දකින්නට ලැබිලා නැහැ.
රාජපක්ෂ මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමහරු ප්‍රශ්න කරන්නේ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත විනිශ්චයාධිකරණයට එවැනි තීන්දුවක් ලබාදිය නොහැකි ය කියලයි. ඔබ ඒ ගැන මොකද කියන්නේ?
මූලික අයිතිවාසිකම් නඩුවක් යන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ගෝඨාභය මහත්තයාටත් ඒ අයිතිය තියෙනවා. ඉස්සර එතුමා ආරක්ෂක ලේකම් ධුරයේ කටයුතු කරපු කාලේ දෙමළ මනුස්සයෙක් මූලික අයිතිවාසිකම් නඩුවක් දාත්දි ඒ නඩුවට පෙනීඉන්න නීතිඥ මහත්තුරුන්ව ත්‍රස්තවාදීන්, ද්‍රෝහීන් කියලා පවා හංවඩු ගැහුවා. නමුත් එහෙමයි කියලා, එතුමාට තමන්ගේ මූලික අයිතීන් රැකගැනීමට තියෙන අයිතිය අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
එහෙම අධිකරණයට නඩුවක් ගොනු වූ පසු ඊට අදාළ මූලික අවසරය ලබාදීම, විනිසුරුවන් දෙදෙනකුට කරන්න පුළුවන්. නමුත්, මෙතැනදි නඩුව ඉවර වෙනතෙක්, අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටින ලෙසට තහනම් නියෝගයක් ලබා දී තියෙනවා. මං හිතන විදිහට, ඒක සැලකිය යුතු නීතිමය කාරණයක්. මේ නඩුව පැත්තක තියලා අපි කථා කළොත් සියලුම පාර්ශ්වයන්ට දන්වන්නේ නැතුව සාමාන්‍යයෙන් තහනම් නියෝගයක් ලබාදෙන්නේ නැහැ. අනිත් අතට තහනම් නියෝගයක් දෙත්දි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ විනිශ්චකාරවරුන් තුන්දෙනෙක් කියලා අපි දැකලා තියෙනවා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) වගන්තිය අනුව විනිශ්චයාසනයක් කියන්නේ තුන්දෙනෙක්.
එහෙම බලත්දි විසඳාගත යුතු යම්කිසි නීතිමය, ගැටලුවක් මෙතැන තියෙනවා. ඒ කොහොම වුණත්, දැනට මේ සම්බන්ධව සිදුවන විමර්ශනයන්, කරගෙන යෑමට මේ තීන්දුවෙන් බාධාවක් නැහැ. ඒවා කරගෙන යන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් අපරාධ චුදිතයන් පිළබඳ විමර්ශනයක් කරන අවස්ථාවලදි ඒ බොහෝ චුදිතයන් මේ තීන්දුව ඉදිරියේදි තමන්ගේ වාසියට යොදා ගැනීමේ අවදානමක් තියෙනවා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණය, මේක පූර්වාදර්ශයක් කරගනියි කියලා මම හිතන්නේ නැහැ.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකාරීත්වය විපක්ෂයේ දැඩි විවේචනයට ලක්ව තියෙනවා. ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් මර්දනය කිරීමට හදපු ගෙස්ටාපෝවක් විදිහට, සමහරු ඒ ගැන මතයක් සමාජගත කරමින් ඉන්නවා….
ඒ මතය හදන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දේශපාලනිකව පහරදෙන අය එහි ක්‍රියාකාරිත්වය නොදන්නවා නෙමෙයි. ඔවුන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඇත්තටම මේක දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කරන මඩ ප්‍රහාරයක් විතරයි. එෆ්සීඅයිඩි එක වගේ තවත් කොට්ඨාස 43 ක් විතර මම දන්න විදිහට පොලිසියේ තියෙනවා. සුවිශේෂි අපරාධයක් විමර්ශනය කිරීම සඳහා එහෙම වෙනම කොට්ඨාස පිහිටුවීම අවශ්‍ය වුණා.
උදාහරණයක් විදිහට ත්‍රස්තවාදී ප්‍රශ්න තිබුණු කාලේ ත්‍රස්ත විමර්ශන අංශය වෙනම කොට්ඨාසයක් විදිහට ආරම්භ කළා. මේ වගේම තමයි, ඒ සඳහා අවශ්‍ය දක්ෂ නිලධාරීන්ව තෝරාගත්තේ පොලිස්පතිතුමා. ඒ එක්කම මේ හැම කොට්ඨාසයක්ම පිහිටුවා තියෙන්නේ පොලිස් ආඥාපනත ඇතුළු රටේ මූලික නීතියට ගරු කරමින්. ඊළඟට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබිය යුතුයි. එහෙම නොවුණොත් මුල්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ.
ඒ විදිහට ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියටයි මේක පිහිටුවා තියෙන්නේ. ගෙස්ටාපෝ එක කියන්නේ එහෙම දෙයක් නෙමෙයිනේ. ඒකේ විමර්ශන නැහැ. ගෙනාවා එල්ලුවා එච්චරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ හදිසි නීතිය වගේ නීති යටතේ නෙමෙයි සාමාන්‍ය නීතිය යටතෙයි මෙතැන විමර්ශන කරන්නේ. රඳවා ගැනීම්, ශාරීරික හිංසනයන්, පහරදීම් ඒ කිසිදෙයක් මෙහි සිදුව නැහැ. ඇත්ත. ඉස්සර මෙවැනි ආයතනවලට දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණා. නමුත් අද එහෙම ඇඟිලි ගැසීම් තියෙනවාය කියලා මට නම් පෙනෙන්නේ නැහැ.
දේශපාලන ඇඟිලිගැසීම් වෙන්නේ නැහැ කියලා කිව්වට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි යොමු කරන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා නෙමෙයිද?
ඒක සම්පූර්ණ සාවද්‍යයි. ඒක දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් හෝ නොදැනුවත්කම ඇතුළේ කරන ප්‍රකාශයක්. දූෂණ විරෝධි කටයුතු සම්බන්ධයෙන්, ජනතාවගෙන් ලොකු ඉල්ලුමක් තිබුණ නිසා එය ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන්පාඨයක් බවට පත්වූ නිසා එම කටයුතුවලට පහසුකම් ලබාදීමේ අරමුණින් පෙබරවාරි මාසයේදී කැබිනට් අනුකමිටුවක් ස්ථාපිත කළා. ඒ කැබිනට් අනුකමිටුවේ නායකත්වය ලැබුණේ අගමැතිතුමාට. පසුව ඒ අනුකමිටුව තමන්ගේ කටයුතු තවත් කාර්යක්ෂම කිරීමට දූෂණ විරෝධී කාර්යාංශය පිහිටෙව්වා.
ඒක ස්වාධීන ආයතනයක්. ඒකට දේශපාලනඥයෝ කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. නීතිපති, විගණකාධිපති ඇතුළු රජයේ සේවකයන් හා මේ විෂය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් සහිත පුද්ගලයන් ඊට සම්බන්ධ වෙනවා. එතැනට ලැබෙන පැමිණිලි හා පොලිස්පතිවරයාට මේ සම්බන්ධව ලැබෙන පැමිණිලි එෆ්සිඅයිඩි එකට යොමුකරනවා. එහෙම යොමුනොකළත් සාමාන්‍ය නීතිය යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 වගන්තිය යටතේ තොරතුරක් අනුව කටයුතු කිරීමේ හැකියාව ඕනෑම පොලිස් නිලධාරියෙකුට තියෙනවා. එෆ්සිඅයිඩි එකෙත් ඉන්නේ පොලිස් නිලධාරින්. පොලිස් බලතල සියල්ලන්ටම එකයි.
ඔය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරන්නේ විපක්ෂයේ උදවිය ගැන විතරද වැලිඅමුණ මහත්තයා. භාණ්ඩාගාර බිල්පත් නිකුතුවකදී සිදුවූ බරපතළ මුල්‍ය වංචාවක් පිළිබඳව පසුගියදා රජයට චෝදනා එල්ල වුණා. ඒ ගැන සොයාබැලීමට පත්කළ කමිටුව පවා එතැන යම් වරදක් සිදුව ඇති බව ප්‍රකාශකර තිබුණා. ඒ සම්බන්ධව පරීක්ෂණයක් ඔය අලුත් පොලිස් කොට්ඨාසයෙන් වෙනවාද?
මේ ආයතනයට විමර්ශනයන්ට ඉදිරිපත්වන පැමිණිලි වලින් අතිබහුතරයක් එන්නේ ගිය රජයේ නිලධාරින්ට හා මැතිඇමතිවරුන්ට විරුද්ධවයි. නමුත් මේ කොට්ඨාසයට විමර්ශන කළ හැක්කේ ඒ කාලය පිළිබඳව විතරයි කියලා ඉන් අදහස් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වන පැමිණිලි ගැනත් ඔවුන් විමර්ශනය කරන බවට මට විශ්වාසයි. පොලිස්පතිවරයාට හෝ දූෂණ විරෝධි කාර්යාංශයට පැමිණිලි ලැබුණු පසු දින වකවානු අනුපිළිවෙළට ඒවා විමර්ශනයන්ට ගොනු කරන බව මම දන්නවා.
උදාහරණයක් විදිහට පසුගිය දවසක කෝට්ටේ උපනගරාධිපතිත් ඇවිත් අපිට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ නිසා මේකේ විමර්ශනයක් කරන්නේ පහුගිය පසුගිය ආණ්ඩුවට පමණක් අදාළව කියලා කියන කථාවම වැරදියි. එහෙම කරන්න බැහැ. ඔය කියපු බැඳුම්කර සිද්ධිය ගැන පවා පරීක්ෂණ පැවැත්වීමට අල්ලස් කොමිසමට හා පොලිසියට යොමු කර තියෙනවා. ඒ ගැන විමර්ශනයක් පවා සිද්ධ වෙමින් තියෙනවාය කියලා මම දන්නවා.
ඔබ සෑහෙන කාලයක් තිස්සේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරනවා. පසුගිය ජනාධිපතිවරණය තුළදිත් බල වෙනසක් වෙනුවෙන් ඔබ පෙනී සිටීම් කළා. යහපාලන ආණ්ඩුවේ මේ දක්වා ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත් වෙනවා ද?
යම් කිසි දුරකට සෑහීමකට පත් වෙනවා. ආණ්ඩුව මේ සියලු දේ කරමින් ඉන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුවයි. ජනවාරි 08 වැනිදා ලැබුණු ජන වරම අහෝසි කරන්න දූෂිතයන්, මරා ගෙන මැරෙන සටනක නිරත වෙමින් සිටින මොහොතකයි මේ රජයට වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේ ම මේ රජය බලයට පත් වූ පසු දූෂිත නිලධාරීන්, රාජ්‍ය තන්ත්‍රයෙන් එළෙව්වේ නැහැ. ඒ ගැන යම් විමර්ශනයක් සිදු වන බව ඇත්ත.
නමුත් ඒ නිලධාරීන්ව තියාගෙනයි ඒ විමර්ශන කරන්නේ. ඒ තත්ත්වය තුළ මීට වඩා යමක් අපට රජයෙන් අපේක්ෂා කරන්න බැහැ. පාර්ලිමේන්තුව දුර්වල නිසා 19 වන සංශෝධනය මීට වඩා ප්‍රබලව ගේන්න රජයට හැකියාව ලැබුණෙ නැහැ. ඒ ගැන යම් කනගාටුවක් මට තියෙනවා. ඒ හැර අපේක්ෂිත අභිමතාර්ථයන් බොහෝ දුරට ඉටු කර යහපාලනයට ආරම්භයක් රජය ලබා දී තියෙනවා.
යහපාලනය රට තුළ තහවුරු කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් විදියට පසුගිය රජය සමයේ සිදු වූ මහා පරිමාණ නාස්ති දූෂණ, වංචා පිළිබඳව සොයා බැලීමක් මේ වන විට සිදු වෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ දූෂණ ගැන සෙවීමට පත් කළ කමිටුවේ ප්‍රධානියා වුණේ ඔබ. ඒ කාර්යයට එකතු වුණේ සද්භාවයෙන් ද?
අනිවාර්යයෙන්ම. ඒත් ඒක මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. විෂය භාර ඇමැතිවරයා ඒ කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට තීරණය කළ පසු එහි සභාපතිධුරය භාර ගැනීමට මට ආරාධනා කළා. ඒක වෘත්තිමය වශයෙන් කරන ලද පත්වීමක්. අපිට කාලය දීලා තිබුණේ මාස එකහමාරයි. නමුත්, ඒ කමිටුවට අපි ව තෝරා ගත් පසු, අදාළ පත්වීම ලබා ගැනීමටත් පෙර අප ක්‍රියාත්මක වුණා. ඉතාම කැපවීමකින්, අවංකව, දුෂ්කර රාජකාරියක් ලබා දීපු දින වකවානු තුළ ඉටු කළාය කියලා හිතනවා.
ඒ වාර්තාව හදන්න ඔබ “ලොකු ගාණක්” අය කළා ය කියලා වෙබ් අඩවියක සඳහන් ව තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනකුගේ වාර්ෂික වැටුපට වඩා වැඩි වැටුපක් ඔබලාගේ කමිටුවට ගෙවලා තිබුණා කියලා එහි සඳහන් ව තිබුණා. යහපාලනය ගැන නිතර කථා කරන ඔබ වැනි කෙනකුට ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
ඒ චෝදනාව සම්පූර්ණයෙන් ම මම ප්‍රතික්ෂේප කරනවා.
ඒ කියන්නේ මේ කටයුත්තට ඔබ මුදල් අය කළේ නැත්ද?
සල්ලි ගත්තා. ඒ මුදල් ගත්තේ වෘත්තිමය වශයෙන්. ඒ පිළිබඳ සියලු විස්තර ඇමැතිවරයාගෙන් හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අවශ්‍ය කෙනකුට දැන ගන්න පුළුවන්. සාපේක්ෂ වශයෙන් ගත්තම මෙවැනි කටයුත්තකට ගන්න මුදල් එක්ක බලද්දි ඒ මුදල ඉතාම සුළු මුදලක්. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට ලැබෙන වැටුප් හා අනෙකුත් දේවල් ගැන කිසිදු අවබෝධයක් නොමැතිව හුදු මඩ ගැසීමේ පරමාර්ථයෙන් අපි ලොකු මුදලක් ගත්තා ය කියලා සමහරු අපිට මඩ ගහනවා.
ඇයි ඔබට මේ තරම් ගහන්නේ?
මෙහෙමයි, එක කාලෙක මගේ ගෙදරට බෝම්බ ගැහුවා. ඒ අවස්ථාවේ මටත් මගේ පවුලේ අයටත් ලෝකේ ඕනෑම තැනකට යන්න පහසුවෙන් ම ඉඩ කඩ තිබුණා. ඒ සඳහා අපිට ආරාධනා ලැබුණා. නමුත්, නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිත් බොහොම අමාරුවෙන් ජීවිතය ගොඩ නඟා ගත් අය හැටියට මේ රට වෙනුවෙන් ඉටු කළ යුතු තවත් යුතුකම් රැසක් තියෙනවා ය කියලා මමත් මගේ බිරියත් ඒ වෙලාවේ කල්පනා කළා.
අපි දුෂ්කරතාවට පත් වූ මොහොතේ අපිට හුඟ දෙනෙක් උදව් කළා. ඒ අය දාලා යෑමේ කිසිදු සදාචාරමය හැකියාවක් අපිට තිබුණේ නැහැ. කාගේවත් බෝම්බවලට බය වී රට දාලා යන්න අපිට අවශ්‍ය වුණෙත් නැහැ. ඒ එක්කම පසුගිය කාලේ අපිට එරෙහිව දැවැන්ත අවලාද නැගීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ආණ්ඩුවේ ඉංග්‍රිසි පත්තරයක් හා නොනිල මට්ටමින්, ආණ්ඩුවේ වරප්‍රසාද මත යැපුණු තවත් ඉංග්‍රිසි පත්තරයක් හා වෙබ් අඩවියක් අපිට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා.
ඒවා මඩ ප්‍රහාර බව දන්න නිසා අපි ඒවට උත්තර දෙන්න ගියෙත් නැහැ. එහෙම අවශ්‍යතාවකුත් තිබුණේ නැහැ. මාධ්‍යකරණයේ වගකීම් හා යුතුකම් පිළිබඳව අවබෝධයක් නොමැති මාධ්‍යකරුවන් පිළිබඳව ගැටීමේ උවමනාවක් මට තිබුණේ නැහැ. මම එකඟවුණත් නැතත්, යම් කාරණාවක් සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කරන්න කෙනකුට තියෙන අයිතිය මම පිළිගන්නවා. ඒ පිළිගන්නවා විතරක් නෙමෙයි, පසුගිය කාලේ වැඩිපුරම මාධ්‍යවේදීන් හා සම්බන්ධ නඩුවලට වැඩිපුරම පෙනී ඉඳලා තියෙන්නේත් මම. එහෙම නඩු තිස් ගාණක් මම කරලා තියෙනවා.
ඔය මට මඩ ගහන අයගේ නඩුවලට පවා මම පෙනී ඉඳලා තියෙනවා. මාධ්‍ය මගින් මාගේ කමිටුව සම්බන්ධයෙන් මට චෝදනා එල්ල කළත්, ඒ චෝදනාවලට උත්තර දෙන්න බැරි දෙයක් තියෙනවා. රහස්‍යභාවයක් වගේම, වෘත්තිමය බැඳීමකුත් ඒ සම්බන්ධව මට තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව සම්බන්ධ වාර්තාව එළියට ආවට පස්සේ මට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් සැලසුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා මම දැක්කා. ඒ නිසා මෙහෙම ගහන විත්තිය කල්තියා දැන හිටියා. මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. මම ඒවායින් වැටෙන්නේ නැහැ. බල්ලන් මොනතරම් බිරුවත් තවලම ඉදිරියට යනවා කියලා කියමනක් තියෙනවානේ.
මුදල් ලබා ගැනීමකින් තොරව සමාජමය වැදගත්කමක් ඇති කාරණයක් විදිහට මේ කටයුත්තට හවුල් වෙන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් කමක් තිබුණා නේ?
වෘත්තිකයකුට සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට ඉන්න පුළුවන්. ඒත් මම මානව හිමිකම් පිළිබඳ වැඩ කරනවා ය කියලා හැම තිස්සේ ම මට මානව හිමිකම් නඩු නොමිලේ කරන්න බැහැ. ඔබ අහන විදියට ලංකාවේ සමාජ ක්‍රියාකාරකම් කළ හැක්කේ පොහොසත් පන්තියට විතරයි.