Thursday, April 25, 2024

ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට මා සූදානම් නැහැ – ජනපති

රටේ සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා ලෙස ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනවා මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට තමා කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, ඊයේ (17) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ති‍්‍රක් සම්මේලනයට එක්වෙමිනි.

   ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පො‍ලොන්නරුව දිස්ති‍්‍රක් සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව:.
     
“අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව නියෝජිත සම්මේලනය. දේශපාලනයේ සදාකාලික මිතුරන්ද නැත. සදාකාලික සතුරන්ද නැත. මම හිතන්නේ මේක බොහොම පැරණි ශ්‍රේෂ්ඨ කියමනක්. දේශපාලනය කියන එක එකතැන පල්වෙන දෙයක් නෙවේ. මඩ වලක් ඇතුළේ වගේ, ළිඳක් ඇතුළේ වගේ, කුණු වලක් ඇතුළේ වගේ එකතැන රැස්වෙලා තියෙන දෙයක් නෙවේ.

දේශපාලනය කරන්නේ සත්තු නෙවේ මිනිස්සු. සත්තු කූඩුවක් ඇතුලේ බැදලා දැම්මහම ඒ කූඩුවට වෙලා ඉන්නවා. මිනිස්සු බැදලා කූඩු ඇතුළේ දාන්න බෑ. කූඩුව ඇතුළට දැම්මොත් කූඩු කඩාගෙන එළියට එනවා කූඩුවට දාපු මිනිස්සුන්ට විරුද්ධව මුළු මානව ඉතිහාසයේ, මුළු ලෝක ඉතිහාසයේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. ඒක නිසා මේ රටෙත් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මූලික අයිතිවාසිකම් ජනතාවගේ පරමාධිපත්‍ය මේ සියල්ල සඳහා මිනිස්සු මුළු ඉතිහාසය පුරා සටන් කරලා තිබෙනවා. ඉදිරියටත් සටන් කරනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මම අඛණ්ඩව අවුරුදු 47ක් එක දිගට දේශපාලනය කළා. මම පසුගිය නොවැම්බර් 21 වෙනිදා ඇයි ඒ තිබුණු ආණ්ඩුවෙන් එළියට ගියේ. ඇමතිකම, පක්ෂයේ ලේකම්කම මම මගේ පයේ ගෑවෙන දූවිලි තරමටවත් ගණන් ගත්තේ නෑ ආණ්ඩුවෙන් එළියට එනකොට. මට ඒ කිසිදෙයක් ලොකුවුණේ නැහැ. ඒ තනතුරු වගේම මගේ ජීවිතය මගේ දරුවන්ගේ සහ මගේ බිරිඳගේ ඒ ජීවිතවල වටිනාකම් සියල්ල අමතක කරලයි මම ආණ්ඩුවෙන් එළියට බැස්සේ. ඒ ආණ්ඩුවෙන් එළියට බැස්සේ මේ රටේ ජනතාවගේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන්න.

අවුරුදු 37ක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අරගෙන ආපු කොඩියක් තිබුණා. සටන් පාඨයක් තිබුණා. ඒ සටන් පාඨය එතනින් අවසන් කරන්න මම ආණ්ඩුවෙන් එළියට ආවේ. මොකක්ද ඒ සටන් පාඨය විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල අවසන් කිරීමේ සටන් පාඨය. මේ සටන් පාඨය අතට ගත්තේ කවුද මේ සටන් පාඨය අතට ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය. මගේ ශ්‍රේෂ්ඨ නායිකාව. 1978 විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න මේ පනත ගෙනාව වෙලාවේ බණ්ඩාරනායක මැතිණිය තමයි කිව්වේ මේකට අපි විරුද්ධ වෙන්න  ඕන කියලා.

  ඒ කාලයේ පාර්ලිමේන්තුවේ හිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන් අට දෙනයි. 77 මැතිවරණයෙන් අපි අට දෙනා දක්වා බැස්සා. ඒ අට දෙනා පාර්ලිමේන්තුවේ මුලින්ම ඒකට විරුද්ධව කතා කළා. ඒ අට දෙනා විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. මෛත්‍රීපාල සේනානයක, අනුර බණ්ඩාරනායක, හලීම් ඉෂාඩ්, ආනන්ද දසනායක, ආර්.පී. විජේසිරි, සද්ධාතිස්ස වඩිගමංගාව ඒ අය තමයි මුලින්ම පාර්ලිමේන්තුවේ විධායක ජනාධිපති ධූරයට එරෙහිව සටන් කළේ. සටන පටන් ගත්තේ එතනින්. අවුරුදු 37ක් මේ සටන අරගෙන ගියා මේ රටේ ජනතාව. 1999 මේ පනත නිර්මාණය කරපු මේ පනත සමඟ රාජාණ්ඩු ක‍්‍රමයක් මේ රටේ හදපු එක්සත් ජාතික පක්ෂය 1999 එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයේදී පළමු වතාවට තීන්දු කෙරුවා මේ විධායක ජනාධිපති ධූරයේ බලතල අහෝසි කළ යුතුයි කියලා.

    එදා ඉදලා මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකත්, අනෙක් සියලු දේශපාලන දහරාවන් මේ සටන් පාඨය අතට ගත්තා. තමුන්නාන්සේලා අපි බොහොම සංතෝෂයෙන් කියනවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට අවුරුදු 21ක් දැන් රටේ රාජ්‍ය නායකත්වය තිබෙනවා කියලා. මේ කතා කරපු පක්ෂ ලේකම්තුමා, ජාතික සංවිධායකතුමන්ලා කිව්වා. ඒ අවුරුදු 21ක් මේ රටේ ජනතාව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට රාජ්‍ය නායකත්වය දෙන්න ඡන්දය පාවිච්චි කෙරුවේ කුමක් සඳහාද, 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ප‍්‍රකාශයේ අංක 01 විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 99 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ මැතිවරණ ප‍්‍රකාශනයේ බොහොම පැහැදිලිව ඒක සඳහන් කරලා තිබුණා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තිබුණා. 2010 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් කරලා තිබුණා. ඒ නිසා තමයි රටේ ජනතාව අවුරුදු 20ක් ජනාධිපතිවරණ 04ක දී මට කලින් හිටපු නායකයෝ දෙන්නා බලයට පත් කළේ මේ තනතුර අහෝසි කරන්න. ඒ දෙන්නම ඒ වැඩේ කළේ නැහැ.

ඒ නිසා රටේ ජනතාව මා කෙරෙහි විශ්වාස තිබ්බා. මට උවමනාවක් තිබුණා මේ රටේ මිනිසුන්ගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන්න. 78 ව්‍යවස්ථවෙන් හැදුණ විධායක ජනාධිපති ක‍්‍රමය, 18 වන සංශෝධනයෙන් රාජාණ්ඩුවක් සඳහා ව්‍යවස්ථාව වෙනස් කරලා. මම පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට යහ පාලනයක් හදන්න, මේ රටේ ජනතාව අවුරුදු 37ක් සටන් කරපු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතට ගත්ත පළමුවැනි සටන් පාඨය මම ඒ සටන් පාඨය අවසන් කෙරුව මේ රටේ ජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරලා.
   
    මට කවුරුත් එක්ක පුද්ගලික ගනුදෙනුවක් නැහැ. මම පරම්පරාවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආපු කෙනෙක් නෙවේ. මගේ දෙමව්පියෝ එක්සත් ජාතික පක්ෂයේ. මම පොතපත කියවලා, මාක්ස්වාදය කියවලා මම දේශපාලනයට ආවේ. ලෝකයේ බලපෙරළි අපි දැකලා තියෙනවා. නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික වූ තැන් තිබෙනවා. 19 වන සංශෝධනය සම්මත කරන්න ගෙවී ගිය මාස 03ත් හරි ඒ දවස් දෙකත් හරි මම වෙහෙස මහන්සි වුණා. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඔක්කොම එකතුවෙලා ඒ හදපු ව්‍යවස්ථා සංශෝධනයේදී එක් පක්ෂයකින්වත් යෝජනාවක් ආවේ නැහැ ජනාධිපතිවරයාගේ කාලය අවුරුදු 06 අවුරුදු 05 කළ යුතුයි කියලා. මම අවුරුදු 06කට පත්වෙලා මමයි කමිටුවට යෝජනා කෙරුවේ මගේ කාලය 05ක් කරන්න. මට 05ක් ඇති කියලා. මම අහනවා මේක වැරදිද කියලා. මම ජනතාවගේ ප‍්‍රශ්න සඳහා කැපවෙනවා මිසක් මට කාගේවත් පුද්ගලික ප‍්‍රශ්න සඳහා කැපවෙන්න උවමනාවක් නැහැ.

ඒ නිසා මේ රටේ ජනතාවට යහපත් අනාගතයක් හදන්න මම ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණය කරපු මැතිවරණය ගෙවී ගිය මාස 04 මේ රටේ පැහැදිලි වෙනසක්, පරිවර්තනයක් රටේ ජනතාවට සහ මුළු ලෝකයේ ජනතාවට පෙන්නලා තිබෙනවා. ලෝකයේ අද කිසිම රටක් රාජ්‍යයක් ලංකාව සමඟ අමනාපයක් නැහැ. සමස්ත ලෝකය එක්සත් ජාතින්ගේ සංවිධානය සියල්ල අද අපේ රටට ඉතාමත් යහපත් ගුණවත් කාරුණික ප‍්‍රතිචාරයක් දක්වනවා. මේ අලුත් ආණ්ඩුවට අපි සහයෝගය දෙනවා කියලා. ජනවාරි 08 වෙනිදාට කලින් අපි නිසා ලෝකය බෙදිලා තිබුණා. එක්සත් ජාතින්ගේ සංවිධානය මානව හිමිකම් කොමිෂන් සභාවේදී ලෝකය දෙකට බෙදුණා. ලෝකය දෙකට බෙදපු අපේ රට නැවත ලෝකය එකතු කළේ ජනවාරි 08 වෙනිදා මගේ ජයග‍්‍රහණයෙන් පස්සේ. කිසිම සතුරෙක් අද මේ රටට නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය.

මේවා මිහිරි වුණත් අමිහිරි වුණත් මේවා සත්‍ය සහ යථාර්තය කියන එක මම බොහොම පැහැදිලිව කියන්න ඕන. අපි තව බොහෝ වෙනස්කම් කළ යුතු වෙනවා. මේ පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කරන්න ඕන. මේ පක්ෂයේ සාමාජිකත්වයට බලතල දෙන්න ඕන. මැති ඇමතිවරු නෙවේ තීන්දු ගන්න  ඕන සාමාජිකයන්. මේ පක්ෂයේ මීට කලින් හිටපු නායකයන් පිළිබඳ තමුන්නාන්සේලා දන්නවා. රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළා සේම පක්ෂය තුළ සාමාජිකත්වය වැඩි බලයක් එන ලෙස මේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා පක්ෂය ශක්තිමත් කරනවා ජනතාවගේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා.

මම බලගෙන ඊයේ පෙරේදා මාධ්‍ය තුළ මේ ප‍්‍රාදේශීය සභාවල නිල කාලය අවසන් වුණා කියලා මට චෝදනා කරනවා. මේ ගැන වැරදි අර්ථ කථනයක් දෙන්න හදනවා රටේ ජනතාවට. ප‍්‍රාදේශීය සභාවල නිල කාලය තිබෙද්දි විසුරුවා හැරියානම් වැරදියි. ප‍්‍රාදේශිය සභාවක නිල කාලය අවුරුදු 04යි. අවුරුදු 04ක් ඉවරවුණහම ඡන්දයකට යන්න ඕන. පාර්ලිමේන්තුව අවුරුදු 06යි අපි ඒක 05 කරනවා. 06ක් ඉවර වුණහම පාර්ලිමේන්තුව ඡන්දයකට යන්න ඕන. පළාත් සභාවක නිල කාලය අවුරුදු 05යි. 05 ඉවර වුණහම ඡන්දයකට යන්න ඕන. මේක කාගෙවත් ඔළුවට පිස්තෝලේ තියලා කරන්න පුළුවන් වැඩක් නෙවේ.

    නිල කාලය වැඩිකරන්න කියන්නේ ජනාධිපති ධූරයේ බලතල පාවිච්චි කරලා. ජනාධිපති ධූරයේ බතල පාවිච්චි කරලා නිල කාලය වැඩිකරපුවහම මොකද වෙන්නේ, ගැසට් කරන්න පුළුවන් මට තව අවුරුද්දක්. හැබැයි ජනතාවගේ ඡන්ද බලයට මොකද වෙන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ රටේ ජනතාවට සහතික කරලා තියනවා ප‍්‍රාදේශීය සභාවක නිල කාලය අවුරුදු 04යි. ඊට පස්සේ ඡන්දදායකයෝ තමාට කැමති මන්ත්‍රී මණ්ඩලයක් තෝරගන්න ඕන. එහෙමනම් නිල කාලය දික් කරපුවහම රටේ ඡන්දදායකයාගේ ඒ අයිතිය පැහැර ගන්නවා. මම අහනවා තමුන්නාන්සේලාගෙන් මේක හරිද කියලා. නිල කාලය දික් කරන්නද  ඕන නියමිත නිල කාලය අහෝසි වුණහම ජනතාවට ඡන්දයෙන් තමන්ගේ මන්තී‍්‍ර මණ්ඩලයක් තෝරගන්න දෙන්නද  ඕන කියලා මම තමුන්නාන්සේලාගෙන් අහනවා. මේකට හෘද සාක්ෂියට එකඟව උත්තරයක් දෙන්න. මේකයි ඇත්ත කතාව.

මේ එක එක පරිවර්තනයන්, වෙනස්කම්වල වුණු භාවිතයන් තියෙනවා වැරදි විදිහට. ඒ භාවිතයන් මම නිවරැදි කරනවා. ඒ වැරදි භාවිතයන්ට මම ඉඩ දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාද, පළාත් සභා මන්ති‍්‍රවරයාද, ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයාද, මැති ඇමතිවරුද ඒ අය ඉන්නේ ඒ ආයතනික ප‍්‍රතිපත්ති සහ සැලසුම්වලට. ඒ අයට ආයතනික ප‍්‍රතිපත්ති සහ සැලසුම් විතරයි අයිති විය යුත්තේ. ඒ අයට ඉන් එහා දේවල් අයිති නැහැ. ජනතාව විසින් තෝරාගන්නා මන්තී‍්‍රවරු තමන්ගේ ආයතනික ප‍්‍රතිපත්ති සහ සැලසුම් තිබෙන ව්‍යවස්ථාව තුළ කි‍්‍රයාත්ම කළයුතුයි.

දැන් පාළාත් සභා මන්තී‍්‍රවරුන්ට අද තිබෙන ක‍්‍රමය යටතේ තමන්ට දෙන සල්ලිවලින්  ඕන දෙයක් අරගෙන බඩු භාණ්ඩ බෙදන්න පුළුවන්. වංගෙඩි ද, මෝල්ගස් ද, පුටු ද, බංකු, තහඩු ඔක්කොම බෙදනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට එහෙම බෑ. අයිතියක් නැහැ. ඇමතිවරයෙකුට, පාර්ලිමේන්තුද, ප‍්‍රාදේශීය සභා ද, පළාත් සභා ද වෙන් කරන ප‍්‍රතිපාදන පොදු සංවර්ධන කටයුතු සඳහා විතරයි. පුද්ගලික බඩු බෙදීම මම සම්පූර්ණයෙන් අවලංගු කරනවා.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න  ඕන එහෙමයි. දේශපාලන ගුණාත්මක භාවයක් ගොඩනැගෙන්න ඕන. මිනිස්සු පුද්ගලිකව හදලා වැඩක් නැහැ. රටක් ගොඩනැගෙන්න ඕන. සාමුහිකත්වය ගොඩනගන්න ඕන. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික වෙන්න ඕන. වෙන් කරන මුදල් පොදු කටයුතු සඳහා මිසක් ඡන්ද ලබාගන්න අවුරුදු 03, 04ක් ගබඩාවල ගොඩගහලා ඡන්ද වෙලාවට යතුරු කඩලා එළියට අරගෙන ඒ බඩු බෙදන ක‍්‍රමය මෙම වෙනස් කරනවා අලුත් චක‍්‍රලේඛනයකින්. මේවට අකමැතිව කෑගහයි. කාලයක් තිස්සේ පුරුදු වුණු දේවලා තිබෙනවා. ඒවා පිටුපස්සේ තව දේවල් වෙනවා. එහෙම වෙන්න දෙන්න බෑ. අලුත් ආණ්ඩුවක් කියන්නේ ඒකයි. ඒ නිසා මම අලුත් ප‍්‍රතිපත්තියක් රටේ ජනතාවගේ යහපත සඳහා අලුත් ආණ්ඩුවක් විදිහට සහතික කරනවා.

හොඳ මූල්‍ය විනයක් ඇති කරනවා මේ රටේ. රේඛිය අමාත්‍යාංවල තිබෙන මුදල් රෙගුලාසි පළාත් සභාවලටත් අනුගත කරනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙනෙක්ට විමධ්‍යගත මුදල් කොහොමද වියදම් කරන්න පුළුවන්. ඒ විදිහට විතරයි පළාත් සභාවටත් වියදම් කරන්න පුළුවන්. ප‍්‍රාදේශීය සභාවලටත් ඒ විදිහටයි කරන්න පුළුවන්. ඒ.ආර්.එෆ්.ආර් සමහර ආයතනවල කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා රටක් ගොඩනගන්න අපි ඒ කාර්යයන් ඉටුකළ යුතු වෙනවා.

මම ජනවාරි 08 වෙනිදා තරග කෙරුවේ පෙරමුණකින්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි පක්ෂ සංවිධාන 49ක් තිබුණා. 2005, 2010 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග‍්‍රහණයට වැඩ කරපු පක්ෂ සංවිධාන රාශියක් ජනවාරි 08 මගේ ජයග‍්‍රහණයේ පෙරමුණේ හිටියා. ඒ ඔක්කොම එකතුවුණා. ඒ නිසා තමුන්නාන්සේලා අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරන්න සියලු ගම් මට්ටමින් ඒකරාශි වෙලා සමඟියෙන්, සහෝදරයත්වයෙන් එකට වැඩකරමු කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා. බෙදුනොත් විනාශයි, කැඩුණොත් විනාශයි. මම කඩන පැත්තෙත් නෙවෙයි, මම බෙදන පැත්තෙත් නෙවෙයි, පක්ෂයේ සභාපතිකම මට භාරදුන්න දවසේ ඉදලා මේක එකට ගෙනියන්නයි මගේ උත්සහය. සන්ධානයේ, පෙරමුණේ මේ අද ඉන්න පක්ෂ වගේම සන්ධානය ශක්තිමත් කරන්න මම තවත් අලුත් බලවේග, සංවිධාන පක්ෂ ගණනාවක් මම එකතු කරගන්නවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්ක. ඒකට සියලුදෙනාගේම සහයෝගය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

මේ රට කෘෂිකාර්මික රටක්. ගොවින්ගේ රටක්. ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නවා. මේ රටේ දුගීභාවය සියයට 30කට කිට්ටුයි. තුන්වේල කෑම පිළිබඳ ප‍්‍රශ්නය. මේ රටේ ආදායම් පරතරය බරපතලයි. මේවා වෙනස්විය යුතුයි. මිනිස්සුන්ට කන්න තිබුණට, ඉන්න ගෙයක් තිබුණට, හොඳට අදින්න පළදින්න තිබුණට ඒ කාරණා තුන හතරෙන් මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිතේ සතුට ඇති වෙන්නේ කෑමෙන්, නිවසෙන්, ඇඳුම් පැළදුම්වලින් නෙවෙයි. සතුටින් ඉන්න පුළුවන් සමාජයක නිදහස් වාතාවරණයත් එක්ක. ඒ සතුටින් ඉන්න පුළුවන් නිදහස් වාතාවරණයක් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරලා මගේ ධූර කාලය තුල මම ඇති කරනවා කියලා මම පැහැදිලිව ප‍්‍රකාශ කරනවා”

(ස්තුතිය නිව්ස්ඩොට්එල්කේ)

Archive

Latest news

Related news