Friday, April 19, 2024

මූල්‍ය අපරාධ විමර්ශන අංශය පි‍ළිබඳව අගමැති කාර්යාලය තතු පහදයි

( හිටපු ඇමැති ජෙන්ස්ටන්  මූල්‍ය අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ අනුව අත් අඩංඟුවට ගත් එක් රාජපක්ෂවාදී දූෂකයෙකි)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය සහතික කරන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවට ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කරන ලද්දේ බරපතල මූල්‍ය අපරාධ බහුල ලෙස වර්ධනය වූ පසුබිමක් රටේ තිබියදී බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තියට අනුකූලව, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව, පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්‍ෂණය සහ උපදෙස් මත ක්‍රියාත්මක වන පරිදි මෙම අංශය ස්ථාපිත කෙරිණි.

පොලිස් දෙපාර්තමේන්තුවට අනුබද්ධව මේ වන විට මෙවැනි අංශ 64 ක් ක්‍රියාත්මක වන අතර, ඒ අතර ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරාධ වාර්තා අංශය, අපරාධ පරීක්‍ෂණ අංශය, කොළඹ අපරාධ කොට්ඨාශය, මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, වංචා විමර්ශන ඒකකය සහ පරිසර සංරක්‍ෂණ අංශය ද වේ. මෙම අංශ අතරින් බොහොමයක් පොලිස් දෙපාර්තමේන්තුවේ ආරම්භක කාල සීමාවේ පැවතුණු ඒවා නොවන අතර පසු කාලීනව ඒ ඒ කාල සීමාවන්හි පැන නැගුණු අවශ්‍යතා අනුව ස්ථාපිත කරන ලද ඒවාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය ද ස්ථාපිත කරන ලද්දේ ඊට සමාන අන්දමටය. පොලිස් දෙපාර්තමේන්තුවට ඇති බලතල හැරුණු විට වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත බලයක් හෝ විශේෂ විධානයක් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලබා දී නැත. මෙවැනි අංශයක් අලුතින් ස්ථාපිත කිරීමේ අරමුණ වූයේ මූල්‍ය අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් පළපුරුදුකම් සහිත නිලධාරීන්ගේ සේවය ඒ සඳහා ලබා ගැනීමට හැකි යාන්ත්‍රණයක් සකසා පරීක්‍ෂණ කඩිනම් කිරීමයි.

දූෂණ මර්දන කමිටුව නම් වන කැබිනට් අනු කමිටුව පත් කරන ලද්දේ මේ වසරේ ජනවාරි 21 වැනිදා පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුකූලවය. අනාගතයේදී බරපතල මූල්‍ය අපරාධ සහ වංචා සිදුවීම වැලැක්වීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අරමුණ ඇතිව මෙම කමිටුව පත් කරනු ලැබිණි. මෙම කමිටුවේ නිර්දේශ මත සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මේ සඳහා වෙනම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන ලදී. මෙම ලේකම් කාර්යාලය පිහිටුවීමේ අරමුණ වූයේ බලපතල මූල්‍ය අපරාධ සහ වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සම්බන්ධීකරණය කිරීමය.

මෙහිදි අවධාරණය කළ යුතු කරුණක් වන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ එම ලේකම් කාර්යාලය කැබිනට් අනු කමිටුව මඟින් කිසිසේත් පාලනය නොවන බවයි. එසේ වූවත් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම තහවුරු කරලීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පමණක් නොව නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් ද සිදු කරනු ලබන පරීක්‍ෂණවල ප්‍රගතිය සතිපතා සමාලෝචනය කිරීම සිදුවේ.

– නිව්ස්ඩොට්එල්කේ

Archive

Latest news

Related news