Saturday, April 20, 2024

එක්සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට .

( අතුරුදහන් වූ කාටූන් ශිලිපි ප්‍රගීත් එක්නැළිගොඩ)

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය මේ වසරේ අගෝස්තු මාසයේ දී සිදු කරන බව තහවුරු කර ඇත.

ඒ අනුව විශේෂඥයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අගෝස්තු මස 03 වනදා සිට 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය.

මෙම කණ්ඩායම අතුරුදන්වූවන්ගේ පවුල් සහ ඥාතීන් හමුවී තොරතුරු ලබා ගැනීමට බලාපොරොත්තුවේ. ඔවුන් අදාළ පරීක්‍ෂණ වාර්තා සකස් කරනුයේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්වලට අනුකූලවය.

මෙම කණ්ඩායම රාජයේ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, මානව හිමිකම් සංවිධාන සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ දිනවල ජිනීවාහිදී පැවැත්වේ. එම සාකච්ඡාව පසුගිය මැයි මස 06වනදා ආරම්භ වූ අතර එය ලබන 15 වනදා දක්වා පැවැත්වේ. එහිදී රටවල් 30 ක අතුරුදන් වීම් සම්බන්ධ පැමිණිලි 400 ක් පමණ අවධානයට යොමු කරනු ලැබේ.

කිහිප විටක්ම මොවුන් මෙම සංචාරය සඳහා මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති රජයෙන් ඉල්ලීම් කළ ද ඊට අවසර නොලැබුණි. වත්මන් රජය අගෝස්තු මාසයේ දී මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරයකට අවසර ලබා දී ඇත.

– (කොළඹ, ලංකාපුවත්)

Archive

Latest news

Related news