Friday, March 29, 2024

සාම්පූර් ඉඩම් අක්කර 818ක් යළි මුල් පදිංචිකරුවන්ට

ආයෝජන කාලපයක් සඳහා ආක්‍රමණය කල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් ප්‍රදේශයේ මහජනතාවගේ ඉඩම් අක්කර 818ක් යළි එහි මුල් පදිංචිකරුවන්ට පැැරීමට ආන්ඩුව පියවර ගෙන තිබේ . මේ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 2015.05.07 වන දින අත්සන් කර ඇති බව  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කළ බව ටිමිල් ටී නිවිස් වාර්තා කරයි.

එමෙන්ම සාම්පූර් නාවික හමුදා කඳවුර ද දැනට ඇති ස්ථානයෙන් වෙනත් ස්ථානයකට මාරු කිරීමට ද ආන්ඩුව පියවර ගන්නා බව නැගෙනහිර පළාත් ආන්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබුණි.

සාම්පූර්හි අවතැන් වූ ජනයා කාලයක් පුරා සිය ඉඩ කඩම් ලබා දෙන සේ උද්ඝෝෂණයන්හි නිරතව සිටියහ. රාජපක්ෂ ආන්ඩුව එම ඉල්ලිම් කුණු කූඩයට දමා තිබූණි.

මේ සම්බන්ධයෙන් නැගෙනහරි ආන්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා දකවන ලද අදහස් පහත පළවේ.

“සාම්පුර් කඳවුර ඉවත් කිරීමට දේශපාලන අරමුණක් නැහැ ” නැගෙනහිර පළාත් ආණ්ඩුකාර

සාම්පුර් කඳවුර වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම කිසිදු බලපෑමක් මත හෝ දේශපාලනික වශයෙන් වාසි ගැනීමක් නොවන බව නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය. හිටපු ආරක්‍ෂක ලේකම් වරයෙක් ද වන ඒ මහතා මෙසේ පැවසුයේ ඊයේ දින (මැයි මස 07 දින) “සාම්පූර්හි අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණින් සාම්පුර් නාවික හමුදා පුහුණු කඳවුර දැනට ස්ථාපිත ස්ථානයෙන් ඉවත් කොට උපාය මාර්ගික වශයෙන් වඩාත් වැදගත් ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරිම” සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි.

එසේම සාම්පූර් නාවික හමුදා පුහුණු කඳවුර ත්‍රිකුණාමල වරායට සමීප අක්කර 180ක බිමක නැවත ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය රජය විසින් ගෙන තිබූ අධිකරණ තීන්දුවක් හා 2011 දින හැන්සාඩ් වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට දුන් පොරොන්දුවක් ක්‍රියාවට නැංවීමක් බවත් මේ නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘතිය සහ කඳවුර නැවත ස්ථාපිත කිරීම දේශපාලන වාසි සඳහා සිදුනොකරන්නක් බවත් එහිදී ප්‍රකාශ කළේය.

එවකට පැවති ආරක්‍ෂක අවශ්‍යතාවන් මත සාම්පූර් නාවික කඳවුර ගොඩ නැගෙන්නේ 2007 වසරේ නොවැම්බර් මස 5 වැනි දින වන අතර පුහුණු කඳවුරක් ලෙස බලගැන්වීම සිදු කලේ 2013 වසරේ අගෝස්තු මස 15 වැනි දිනයි. දැනට “විදුර නාවික කඳවුර ” ලෙස පවතින මෙම ස්ථානය සඳහා අක්කර 237ක බිම් ප්‍රමාණයක් අයත් වන අතර එය පිහිටුවීමට පෙර සිවිල් වැසියන් පවුල් 579 ක් පදිංචිව සිටි භුමි භාගයකි. පවත්නා තත්වය යටතේ මෙම කඳවුර මේ වනවිට අත්හැර දමන ලද පාසල් ගොඩනැගිලි කීපයක් සහ පුහුණුව ලබන නැවියන් උපදේශකයින් කාර්යමණ්ඩලය සඳහා වන තාවකාලික ඉදිකිරීම් සහ ආවරණ කිහිපයකින් සමන්විත වේ.

මෙහිදී නාවික කඳවුර නැවත ස්ථාපිත වන්නේ දැනට කඳවුර පිහිටි භූමියට යාබද අක්කර 180 ක භුමි භාගයක වන අතර එය නාවික හමුදාමය වශයෙන් ගත්කල වඩාත් උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක් බවත් සාම්පුර් කඳවුරේ සිට ත්‍රිකුණාමල නාවික කඳවුරට සැලසිය යුතු ආරක්‍ෂාව උපරිම අයුරින් සිදුකල හැකි බවත් නාවික හමුදාපති වෙනුවෙන් මාධ්‍ය හමුවට සහභාග වූ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (මෙහෙයුම්) රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මෙහිදී පැවසිය. දැනට පවතින එක් පසකින් පමණක් මුහුදට අනාවරණය වන වෙරළේ ප්‍රමාණය කිලෝමීටර් 1.8 ක් බවත් යෝජිත භුමියේ කඳවුර පිහිටුවීමේදී දෙපසකින් භුමිය මුහුදට විවෘත වන අතර එය කිලෝමීටර් 4 ක් දක්වා වෙරළේ ප්‍රමාණය වැඩිවන බවත් පැවසු රොසයිරෝ මහතා එය ආරක්‍ෂක සහ පුහුණුවීම් වෙනුවෙන් වඩාත් යෝග්‍ය වන බවත් අවතැන් වූ පිරිස් වෙනුවෙන් ඔවුන් ජිවත් වූ ප්‍රදේශ නැවත ලබා දීමත් වඩා වැදගත් බවත් තව දුරටත් අදහස් දක්වමින් පැවසිය.

අවතැන්වූවන් සහ නැවත පදිංචි කරවීම් පිළිබඳ සාරාංශය

Click to magnify/shrink
Click to magnify/shrink
Click to magnify/shrink

මේ වනවිට සාම්පුර් ප්‍රදේශයේ අවතැන්ව සිටින පිරිස් සහ නැවත පදිංචි කල පිරිස් පිළිබඳව දැක්වීමේදී ග්‍රාම නිලධාරි වසම් අංක 220 සාම්පුර් නැගෙනහිර පවුල් 348 කට අයත් 1102 ක් ,ග්‍රාම නිලධාරි වසම් අංක 221 සාම්පුර් බටහිර පවුල් 452 කට අයත් 1466 ක්, ග්‍රාම නිලධාරි වසම් අංක 222 කෝනතිවු හි පවුල්174 කට අයත් 516ක් සහ ග්‍රාම නිලධාරි වසම් අංක 223 කඩකරච්චනෙයි හි පවුල් 169 කට අයත් 585 දෙනෙක් වශයෙන් වේ. ඒ අතරින් පවුල් 447 කට අයත් 1502 ක පිරිසක් නැවත පදිංචි කොට ඇත.

Click to magnify/shrink
Click to magnify/shrink
Click to magnify/shrink

ඉදිරි මාස 6 ඇතුළත මෙය ක්‍රියාත්මක කිරීමටත් මෙම ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන්කර ගැනීමටත් කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා මෙහිදී පැහැදිලි කළේය.

මාධ්‍ය හමුව සඳහා ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදාපති, නාවික හමුදාපති වෙනුවෙන් නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාග විය.

ඩිපෙන්ස්ඩොට්එල්කේ

 

 

Archive

Latest news

Related news