Friday, April 19, 2024

අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා ඒත්?- දෙමළ කතුවරයකුගෙන් ජනපති සහ අගමැතිට විවෘත ලිපියක්

(අපටත් දීපාවලි එනවා, තයිපොන්කල් එනවා – අපේ් දරුවන් නිදහස් කරන්නේ නැත්ද?)

නඩරාජා ගුරුපරන්ල කර්තෘ ග්ලෝබල් ටැමිල් නිව්ස් විසිනි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි,. අතිගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමනි,. යහපාලකයනි!

“වෙනස“ සිඳුවී දින 100කින් පසු මෙලෙස ලිපියක් ඔබ වෙත ලිවීමේ අවශ්‍යතාවයක් ඇතිවී තිබේ.

ජනතාවගෙන් ඔබ වෙත ඉංග්‍රීසි භාෂාවෙන් හෝ සිංහල භාෂාවෙන් ලැබෙන ලිපි ඔබද ඔබගේ සහකරුවන්ද කියවා බලනවාදැයි නොදැනිමි.

යමිකිසි කෙනෙකු දෙමළ භාෂාවෙන් ලියයිද දන්නේ නැත. එලෙස ලියා එවා තිබුණත් එය කියවා බැලනු ඇතයි විස්වාසයක්ද නැත. එමෙන් මෙම ලිපිය ඉංග්‍රීසියෙන් සහ සිංහල භාෂාවෙන් පරිවර්ථනය කර පළකරන්නෙමි.
ශ්‍රී ලංකාවේ රාජපක්‍ෂ පවුල් පාලනය තුරන් කළ යුතු යැයි බොහෝ දෙනෙකු හේතු කාරණා රැසක් මත කැමැතිවූහ. එලෙස කැමැතිවූ පිරිස අතර මමද එක් අයකි. දෙමළ ජනතාව රත්වූ තෙල් තාච්චියෙන් නිදහස්විය යුතු යැයි මම අපේක්‍ෂා කළෙමි. ජනතාවගේ යහපත ප්‍රවර්ධනය කළ හැකි ‘වෙනසක්‘ අවශ්‍ය යැයි මම ගත් තීරණයට අනුව මැතිවරණ කාලයදී මාගේ මාධ්‍ය ආයතනයද ක්‍රියා කළහ.

හමුදාව විසින් අත්පත් කළ අක්කර දහස් ගණනක ඉඩම්වලින් ඉඩම් අක්කර 1000ක් හෝ ජනතාවට යළි ලැබී ඇත. රහසිගත නිරීක්‍ෂණ කටයුතු තිබුණත් ජනතාව වීදි බැස තම අවශ්‍යතාවයන් වෙනුවෙන් අරගල කිරීමට පෙළඹෙති. රාජ්‍ය මාධ්‍යන්ද සිවරාම්ගේ ඝාතනය ගැනත් පුවත් පළකරයි, ජන සංහාරය – ඊළාම් අරගලය වැනි වචනය දකුණේ මාධ්‍යන්ද භාවිතා කරයි, උතුරු පළාත් සභාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හඳුන්වා ක්‍රියා කළ මහින්ද රජය මෙන් නොව, මෙම ආණ්ඩුව උතුරු පළාත් සභාව සමඟත් සහජීවනයකින් කටයුතු කරයි. සුළු ජාතිකයන්ගේ ආගමික ස්ථානවලට පහරදීමේ සිද්ධියන් නැවැතී ඇත නැතිනම් පහරදීමට තැත් කරන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනේ. මාධ්‍ය මර්ධනය සම්පූර්ණයෙන් ඉවත්කර තිබේ. රාජ්‍ය නොවන ආයතනවලට එරෙහිව පනවා තිබූ තහනමද ලිහිල් කර ඇත.

බොහෝ දුරට රාජපක්‍ෂවරුන්ගේ දුර්භාග්‍යයෙන් යෙන් මිදී ජනතාවට හුස්ම ගැනීම සඳහා දේශපාලනික විරාමයක් ලැබී ඇත. නමුත් දෙමළ ජනතාව ආණ්ඩු වෙනසකට ජන්දය ලබාදුන්නේ මෙය පමණක් බලාපොරොත්තුවෙන්ද ? නැත, දෙමළ ජනතාව සිය මාතෘ භූමියදී සාධාරණීය විසඳුමකින් යුතු දේශපාලනික සමාජ ආර්ථික ජීවිතයක් ඉල්ලා සිටියි.

ඔබතුමන් 19 ගෙනාවත්, 20 ගෙනාවත්, 18 අහෝසි කළත් සුළුතර ජාතිකයන් වන දෙමළ ජනතාවට ලැබුණේ කුමක් ද? පසුගිය දශක තුනක කාලයක් නිදහස, විමුක්තිය වෙනුවෙන් අරගලය කළ ජාතියක් මුහුණ දුන් ජීවිත, දේපළ (සම්පූර්ණ ජිවිතයම) අහිමීවෙන් පසු වෙනසක් උදෙසා ජන්දය ලබාදුන් ජනතාව, ඔබගෙන් ලබාගත් දැය කුමක් දැයි මදක් සිතා බලන්න?

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අදටත් තම දරුවාව, සැමියාව, බිරිඳව, මව්පියන්ව, සහෝද සහෝදරියන්ව සොයමින් සිටිති. යම්කිසි දිනක යළි පැමිණෙනු ඇතයි බලාපොරොත්තුවෙන් දිනපතා දුක් විඳින ඔවුන්ගේ වේදනාව ගැන ඔබතුමාගේ ජාතික විධායක සභාවේ සිටින අනුරකුමාර දිසානායක මහතා හොඳින් දැන සිටියි… එතුමාගේ මවද, ජනතා විමුක්ති පෙරමුණ කැරල්ලදී අතුරුදහන්වූ සිය බාල පුතාව සොයා බලාපොරොත්තුවෙන් සිටි වේදනාව කෙසේදැයි පවසනු ඇත…

අධි ආරක්‍ෂක කලාපයන් යන මුවාවෙන් හමුදාව විසින් අත්පත් කළ ලක්‍ෂ ගණනක ජනතාවගේ අක්කර දහස් ගණනක ඉඩම් මෙතෙක් නිදහස් කර නැත. සාම්පූර් ජනතාව අදටත් තම ඉඩම් සඳහා අරගල කරමින් සිටියි. බන්‍ධනාගාරවල දේශපාලනිකව සුළු වැරදි කළ පිරිස පවා තවඳුරටත් විභාග කිරීමකින් තොරව රඳවා තබා ඇත. කොටින්ට ආහාර, වතුර, ලාබදුන් අයද, අසල සිට ඡායාරූපයක් ගත් පිරිස යැයි සුළු වැරදි කළ සියළු දෙනාම බන්‍ධනාගාරවල සිටින විට ඔවුන්ගේ ප්‍රධානීන්, නායකයන් යන පිරිස ඔබතුමාගේ රජය යටතේදී පවා සුබෝපභෝගි දිවියක්‌ ගත කරමින් සිටිනවා නේද?

දීපවාලී උත්සව අවස්ථාවක්
දීපවාලී උත්සව අවස්ථාවක්

මුදල් ගෙවීමට නොහැකිවූ සිරකරුවන් අතර යාපනය බන්‍ධනාගාරයේ සිටි 8 දෙනෙකුද, මඩකළපුව බන්‍ධනාගාරයේ සිටි 14 දෙනෙකුද නිදහස් කෙරුණි. මෙලෙස නිදහස් කළ පිරිස සමඟ දේශපාලන සිරකරුවන් කිහිප දෙනෙකුව හෝ නිදහස් කරන්නට තිබුණි? චෝදනාක්, නඩු පැවරීමක්, විභාග කිරීමක් නැතිව වසර 10කට අධික කලක් දේශපාලන සිරකරුවන් බන්‍ධනාගාරයේ සිටින බව ඔබතුමන් නොදන්නේද?

අපටත් දීපාවලි එනවා.., තයිපොන්කල් එනවා.., අළුත් අවුරුද්ද එනවා නමුත් එලෙස උත්සව දින පැමිණියත් බන්‍ධනාගාරවල සිටින අපගේ දරුවන්ට පමණක් නිදහස ලැබෙන්නේ නැහැ…

ඔබතුමාගේ ආණ්ඩුවේ සිටින අමාත්‍ය ජෝන් අමරතුංග මහතා “ අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්ණය මානුෂික ප්‍රශ්ණයකි. සිය ඥාතීන්ව අහිමිකර ඔවුන් යළි එනු ඇතයි දිනපතා බලාපොරොත්තුවෙන් සිටීමේ වේදනාව දරුණුය“ යැයි පවසා තිබුණි. සතුටුයි. ඒ සඳහා බූස්ස සහ වැලිකඩ බන්‍ධනාගාරවල ජනතාවට සිය ඥාතීන්ව සොයා ගැනීමට අනුමැතිය ලබා දෙන බවද අමාත්‍යවරයා පවසා තිබුණි… මහ ජාතිය නියෝජනය කරන ආණ්ඩු පක්‍ෂයක් පසුගිය දශක තුනකදී ප්‍රථම වරට ප්‍රතිපත්තිමය වශයෙන් හෝ බන්‍ධනාගාරවල සිටින සිය ඥාතීන්ව සොයා ගැනීමට අවසර ලබා දෙන බවට පවසා තිබීම සතුටුදායක කරුණකි.

නමුත් රහසිගත කඳවුරු යැයි සෑම මාධ්‍යකින්ම ප්‍රසිද්ධ කළ හමුදා සහ නාවික හමුදා කඳවුරුවල රඳවා තබා ඇති පිරිස ගැන කිසිම ප්‍රකාශයක් නැත්තේ ඇයි?

වෙනසක් සඳහාවූ නව රජයේ කාලය ගෙවී ගියේ පරාජයට පත්වූ රාජපක්‍ෂවරුන් යළි පාලනය අත්පත් කිරීමට ගන්නා උත්සහය මැඩපැවැත්වීමට සහ එයට වැට බැඳීමටය. නමුත් රාජපක්‍ෂවරුන් විසින් ගොඩනැගූ චීන මහා ප්‍රාකාරය කඩා දැමීමට කැපුම් කටුවක්වූ සුළුතර ජාතික දෙමළ ජනතාවගේ බලාපොරොත්තු, ශෝඛය, වේදනාව තවඳුරටත් එලෙසම පවතියි…

රාජපක්‍ෂවරුන්ගේ දැලට අසුවී පීඩාවට පත්වූ ඔබ සියළු දෙනාටම නිදහසක් ලැබීමට දෙමළ ජනතාවගේ ජන්දය දායකවුයේ නැතිද? තත්වය මෙසේ තිබියදී, ඔබතුමන්ගේ පාලනයදීද දෙමළ මාධ්‍යවේදීන්ව, දෙමළ ක්‍රියාකාරුවන්ව බුද්ධි අංශය ලුහුබැඳීමේ සාධාරණත්වය කුමක්ද? අත්තඩංගුවට ගැනීම, තර්ජනය කිරීම, වැනි ක්‍රියාකාරකම් දිගටම සිඳුවන්නේ ඇයි? විදෙස් ගතවූ මාධ්‍යවේදීන් යළි මව් බිමට පැමිණීමට තවඳුරටත් බියෙන් සිටිති. රාජපක්‍ෂවරුන් බලයේ නැත

නමුත් පසුගිය කාලයදී තිබූ අයුරින් බුද්ධි අංශ, හමුදා, ක්‍රියා කටයුතු සහ මැරයන්ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් තවඳුරටත් පවත්වාගෙන යමින් සිටියි,

‘වෙනස‘ එහි අර්ථය කුමක් ද? වෙනස යනු රාජපක්‍ෂ වෙනුවෙන් මෛත්‍රීද, ඩි.එම්. ජයරත්න වෙනුවෙන් රනිල්ද පැමිණීම ද ?
– ග්ලෝබල් ටැමිල් නිව්ස්

Archive

Latest news

Related news