Saturday, April 20, 2024

ජනාධිපති සිරිසේන, රාජපක්ෂ සමඟ නිදිවැදීමට පෙර….- සුනන්ද දේශප්‍රිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන 06දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුjන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස යැයි ඔහුගේම පක්ෂයේ ප්‍රකාශකයා වන ඩිලාන් පෙරේරා කියමින් යයි.

මෛත්‍රීපාල සිරසේන පසුගිය ජනවාරි 08 දා තරඟ වැදුනේ මහින්ද රාජපක්ෂ සමඟය. ඔහු රටට කීවේ මහින්ද රාජපක්ෂ පරාජය කල යුත්තේ භිෂණය සහ දූෂනය තුරන් කිරීමට බවය. රාජපක්ෂ එංගලන්තයෙන් ගෙනැවිත් දුන් අශ්වයින්, සීතල නුවරඑළියයේ ඒ අශ්වයින් පිට යෑමට ආන්ඩුවේ හෙළි කොප්ටර් දුන් හැටි අපට කීවේ ද මෛත්‍රීපාල සිරිසේනම ය. මෙයට දින තුනකට පෙර රාජපක්ෂ සමයෙහි මෙරටින් රහසේ පිට කරන ලද ජාතික ධනය සොයා බලා යළි එම සම්පත් රටට අත්පත් කර ගැනීම පිණිස කාර්‍ය බලකායක් පිහිට වූයේ ද ජනාධිපති සිරිසේන ම ය. ජනාධිපති සිරිසේනගේම වචන වලින් කියන්නේ නම් ඔහු පරාජයට පත්වී නම් දැන් සිටින්නේ හතර රියනක් යට ය. රාජපක්ෂ සමඟ තරඟයට එළඹියේ තමා පමණක් නොව තම පවුලම මරණය පත් කිරීමේ අවධානම දැන දැනම බව අපට කීවේ ද මෛත්‍රීපාල සිරිසේනම ය.

එ සටනෙහි මහා ජන බලවේය වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපාක්ෂික බලවේගයන් ය. මෛත්‍රීපාල සිරිසේන හතර රියනක් යට වැලළිම වළක්වන ලද ප්‍රධාන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජන්ද දායකයා ය. ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ඔහු කියා සිටියේ තමා බලයට ගෙන ආ එක්සත් ජාතික පක්ෂය අමතක කර දැමිමට තමන්ට නොහැකි බවය.

අහෝ! දැන් අපට එම මෛත්‍රිපාල සිරිසේනගේම මාධ්‍ය ප්‍රකාශකයකු වන දුරාචාර ඩිලාන් පෙරේරා අපට කියන්නේ කුමක් ද? ඔහු කියන්නේ රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම පිණිස හෙට එනම් 06 දා ජනාධිපති සිරිසේන රාජපක්ෂ සමඟ කොන්දේසි විරහිත සාකච්ජාවට යන බවය. එම සාකච්ජාවේ එකම අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම බවය.

ජනාධිපති අපේක්ෂක වශයෙන් කළ මෛත්‍රීපාල සිරිසේන පැවැත් වූ ප්‍රථම මාධ්‍ය හමුවේදීම එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කරන බවට ශපථ කළ බව රටට අමතක නැත. දැන් එම සිරිසේන විසින්ම පත් කරන ලදඔහුගේම පක්ෂයේ ප්‍රකාශක කියන්නේ රනිල් වික්‍රමසිංහ ‘පිනා’ අගමැතිවරයකු බවයි. එමගින් ඩිලාන් පෙරේරා නොකියා කියන්නේ ‘පිනා’ අගමැතිවරයකු පත් කළ ජනාධිපති සිරිසේන නපුංසකුයකු බව නොවේ ද?

ජනාධිපති සිරිසේන, පොඩ්ඩක් කල්පනා කර බලන්න.

ඩිලාන් පෙරේරාගේ මේ බිහිසුණු ප්‍රකාශය ජනාධිපති සිරිසේන විසින් එම අවස්ථාවේදී ම ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණි. මන්ද යත් එම ප්‍රකාශය විසින් ඩිලාන් පෙරේරා ජනාධිපති සිරිසේන සතුවූ දේශපාලන සදාචාරාත්මක අධිකාරය සුණු විසුනු කර දමන ලද බැවිනි. ඇත්ත වශයෙන්ම නම් පෙරේරාගේ ප්‍රකාශය විසින් කර ඇත්තේ ජනාධිපති සිරිසේන බල්ලාට දමා රාජපක්ෂ හිස් මුදුනට ගැනීමකි.

මේ වනාහී දිය රෙද්දෙන් බෙල්ල කැපිමකි.

ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර නැති ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ සිරසේන විසින්ම ඝාතක දේශපාලකයකු සහ අත්‍යන්ත දූෂකයකු යැයි මහත් විවේචනයක් එල්ල කරමින් රටපුරා ගොස් ජන්ද එක්කර ගත් මෛත්‍රීපාල සිරිසේන දැන් එම ඝාතකයා සමඟ නිදි වදින්නට යන බව ය. මේ වනාහී ජනවාරි 08 දා මෙරට මහා ජනයා ලද ජය සහමුලින් ම ආපසු හැරවෙන නොඇසූ විරූ අන්දමේ පාවාදීමක් නොවන්නේ ද? මේ පාවා දීම විසින් මරණය නොබා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජව සම්පන්න තරුණ දේශපාලනඥයින් අනාථ නොකරනු ඇත් ද? මේසා ඇදහිය නොහැකි තරමේ දේහපාලන පාවාදීමක් මැත කාලයක අපි අසා නැත්තෙමු.
කෙටියෙන් එවැනි පාවාදීමක විපාකය වනු ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වශයෙන් කුණු වී යෑමකි.
මේ අනුව ජනාධිපති සිරිසේන මුහුණ දී සිටින්නේ සියතින්ම බෙල්ල කපා ගැනිමේ මොහාතකට ය‍. මන්ද යත් රාජපක්ෂගේ සැලැස්ම ජනවාරි 08දා මහාජන කැමැත්ත ආපසු හරවා භීෂණයේ සහ දූෂණයේ පාලනයක් යළි ඇති කිරීම නිසා ය. මෛත්‍රීපාල සිරිසේනගේ සිරුර ඉතිරි වී ඔහුගේ දේශපාලන නාමය හතර රියනක් යට වැළලෙනු ඇත.
තමන් ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය පිළිනොගන්නේ නම් රාජපක්ෂ සමඟ සාකච්චජාවට යෑමට පෙර ජනාධිපති සිරිසේන ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු ය. තවමත් ඔහුට එම අවස්ථාව තිබේ. ජනාධිපති සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී ජනවරම ලබා ගත්තේ රාජපක්ෂ භීෂණය සහ දූෂණය තුරන් කරනු පිනිස ය. එහිදී මෛත්‍රිපාල සිරිසේනට ජන්දය දී මෙරට ජනයා විසින් පරාජය කරන ලද භීෂකයින් සහ දුෂකයින් සමඟ දේශපාලන සහවාසයේ යෙදීමට ඔහුට අබැටකුදු හෝ සදාචාරාත්මක අයිතියක් නැත.
එම භීෂණය සහ දූෂණය සමග දීග කෑමට – එය කණගාටුවට කරුණක් වන නමුත් – ජනාධිපති සිරසේන අදහස් කරන්නේ නම් ඔහු යළි අලුත් ජනවරමක් ලබා ගත යුතු ය. එවැනි දීගයක් ඇති වන්නේ නම් පසුගිය ජනාධිපතිවරණ සටන තුල භීෂණය සහ දූෂණය පැරදවිමට එක්වූ සියළු දේශපාලන සහ සිවිල් බලවේග එක් අතෙකටත් සිරිසේන – රාජපක්ෂ සන්ධානය එක් අතෙකටත් ඇතිව නව බලතුලනයක් ඇති වනු නොඅනුමානය.
ජනාධිපති සිරිසේන අවසාන මොහෙතෙහි හෝ දිය රෙද්දෙන් බෙල්ල කැපීමට වළිකන රාජපක්ෂවාදී දූෂකයින්ගෙන් ඉවතට ගමන් කර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමඟ තවදුරටත් ඉදිරියට යනු දැකීම අපේ්‍ප්ක්සාව සහ කැමැත්ත ය. එය එසේ නොවන්නේ නම් හඩා වැලපෙනු වෙනුවට අභියෝගය බාර ගැනීමට ජනවාරි 08 බලවේගය නොපැකිළෙනු ඇති බව ද ලියා තැබිය යුතු ය‍

Archive

Latest news

Related news