Thursday, April 25, 2024

එල්ටීටීඊ ය ද උතුරේ අතුරුදන්වීම්වලට වගකිව යුතුයි – ජනාධිපති කොමිෂන් සභාව

එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ යුද්ධමය වාතාවරණයක් පැවැති සමයේ සිදු වූ අතුරුදහන්වීම්වලට වගකිව යුතු යයි වැඩි දෙනෙකු ප‍්‍රකාශකර ඇති බව අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවට සාක්ෂි ලබා දුන් ජනතාවගෙන් 60%ක් පමණ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ සිද්ධීන්වලට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බව එම කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල කරමින් පෙන්වා දී තිබේ.

එම ජනතාව අතුරෙන් 10% ක් ප‍්‍රකාශ කර ඇත්තේ අතුරුදහන්වීම්වලට ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් වගකිව යුතු බවය.

එමෙන් ම තවත් 10% ක පිරිසක් එල්.ටී.ටී.ඊ නොවන සටන්කාමී සංවිධාන වෙත මේ පිළිබඳව චෝදනා එල්ල කර ඇති බව ද මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කර ඇත.

නාදුනන කණ්ඩායම් විසින් මෙම අතුරුදහන්වීම් සිදු කර ඇති බවට සාක්ෂි ලබාදුන් පිරිසෙන් 5%ක් පමණ චෝදනා කර ඇත. දිස්ති‍්‍රක් වශයෙන් සැලකීමේ දී කිලිනොච්චි දිස්ති‍්‍රක්කයෙන් සාක්ෂි ලබාදුන් පිරිස අතුරෙන් 85%ක් එල්.ටී.ටී.ඊ සංවිධානය ඊට වගකිව යුතු බවට ප‍්‍රකාශ කර ඇති බවට හෙතෙම සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ ආශී‍්‍රත ව අතුරුදහන්වීම් පිළිබඳ ව ජනාධිපති කොමිෂම සිදුකළ විමර්ශනවලදී සිවිල් පුද්ගලයන්ගේ පැමිණිලි 16,000ක් සහ ආරක්ෂක අංශවලින් පැමිණිලි 5600ක් ලැබී තිබේ.

2013 වසරේ අගෝස්තු 15 වැනිදා ආරම්භ කළ අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු මේ වසරේ පෙබරවාරි මස 15 දා අවසන් කිරීමට නියමිතව තිබුණ ද එහි අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානය යොමු කොට මාස හයකින් කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කළේය.

උතුරු හා නැගෙනහිර පළාත් හි යාපනය, කිලිනොච්චිය, මඩකලපුව, මුලතිව්, මන්නාරම දිස්ති‍්‍රක්ක ආවරණ වන පරිදි මේ වන විට මහජන හමු පවත්වා තිබෙන අතර ඒ සඳහා මේ වන විට පුද්ගලයන් 1,600 ට වැඩි පිරිසකගෙන් සාක්ෂි ලබා ගෙන තිබේ.

DB

Archive

Latest news

Related news