Thursday, April 25, 2024

ගමෙන් පැමිණි ගොවි පුතෙක් වූ ජනපති මෛත්‍රී නොසිතූ පෙරළියක් කර මෙරට ඉතිහාසය වෙනස් කළා – ඇමැති රාජිත සේනාරත්න

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් ජේ. ආර්. සහ එම්. ආර්. ජනාධිපතිවරුන් පරාජයට පත් වූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද රාජිත සේනාරත්න මහතා පවසයි.

කිසිදින වෙනස් කළ නොහැකි යැයි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පැවැසූ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදින වෙනස් කරන්න උත්සහ නොගත් අසීමිත වූ ජනාධිපති විධායක බලතල 19 වන ව්‍යවස්ථා සංශෝධන සම්මතයෙන් වෙනස් කිරීමෙන් ජනාධිපති මෛත්‍රී එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු බිම දැමූ බවද ඇමැතිවරයා කියයි.

පෞරුෂයක් නැති මිනිසකුට රටක් ගෙන යාමට බැරි යැයි මතයක් ගොඩනංවන්නට උත්සහ කළ අයට පෙරේදා (28) රාත්‍රියේදී 19 වන සංශෝධනය සම්මත වීමෙන් ලැබුණු උත්තරය වන්නේ ගමෙන් පැමිණි ගොවි පුතෙකු ජේ. ආර්. ජයවර්ධනයන් පවා කිසිදින නොසිතු පෙරළියක් කරමින් රටේ ඉතිහාසය වෙනස් කළ බවද ඇමැතිවරයා කීය.

ඊයේ (29) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ අදහස් පළ කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයකු ලෙස ඉතිහාසගත වන්නේ ඔහු කී දේ කළ ජනාධිපතිවරයකු වන නිසායි. ඔහුගේ ඡන්ද පොරොන්දුවක් වූයේ විධායක ජනාධිපතිධූරයේ බලතල අවම කිරීම සිදු කරන බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ විධායක ජනාධිපති බලය අහෝසිකරන බවට ජනතාවට පොරොන්දු දෙමින්. එහෙත් සිදු කළේ විධායක බලය තව තව අනිසි ලෙස පෝෂණය කරමින් ඒකාධිපතිවාදියකු වීමයි. ඔහු ඇතුළු හිටපු ජනාධිපතිවරු සියල්ල කළේ විධායක බලතල අහිමි කිරීමේ සංශෝධන ගෙන ඒම වළක්වමින් උපරිමයෙන් කටයුතු කිරීමයි.

මෙවැනි දේ කරමින් දේශපාලන වාසිගන්නට උත්සහ කළ අයගේ සිහින පෙරේදා (28) සිට බොඳවී ගියා.

ඇතැම් අය රට, ජාතිය පාවා දෙමින් මේ 19 වන සංශෝධනය ගෙන ඒමට අකුල් හෙලුවා. එ.ජා.ය සමඟ අප බිඳවන්න උගුල් ඇටවූවා. විධායක ජනාධිපති බලය අහෝසි කළ යුතුය යන්න අප අද ඊයේ නැඟු හඬක් නොවේ.

1978 දී ජේ. ආර්. ජයවර්ධන මෙය ගෙන එන විට කොල්වින් ආර්. ද. සිල්වා , පීටර් කෙනමන් ආදි දේශපාලන දැවැන්තයන් සමඟ මම එදා මහපාරේ උද්ඝෝෂණ පැවැත්වූවා. කොල්වින් වාසුදේව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට පත්වුණු ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නට එදා අහිමි වූ රැකියාව තවමත් ලැබුණේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් කී දේ කළ ජනාධිපතිවරයකු ලෙස ඉතිහාසයේ හොඳ නමක් සනිටුහන් කරනවා. 19 වන සංශෝධනයේ විධායක ජනාධිපතිවරයාට අධික බලතල නැහැ. ඕනෑම වැරැදි වැඩක් කර තිබුණත් ජනාධිපතිවරයාව අධිකරණයට පැමිණවීමට නොහැකිවීම, වැනි කරුණු ඉවත් කර තිබෙනවා.

මෙයට පෙර තිබුණේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවශ්‍ය වෙලාවක විසුරුවන්නට හැකි බලතලය. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ මධ්‍යම රාත්‍රී 12.00ට පාර්ලිමේන්තුව විසුරුවු බව කැබිනට් ඇමැතිවරුන් පවා දැන සිටියේ නෑ. මහජන තීන්දුවෙන් පත් කළ පාර්ලිමේන්තුව විසුරුවන බව ජනතාව දැන සිටියේ නෑ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙවැනි ගැටලු නැහැ. 18 වන සංශෝධනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදු කළේ තිබු ස්වාධීන කොමිෂන් සභාත් අහෝසි කිරීමයි.

පුද්ගලයකුට ජනාධිපතිධුරයට වාර දෙකක් ඉල්ලීමට තිබූ හැකියාව අසිමිත වාරගණනක් බවට පත් කරන්න 18 වන සංශෝධනයට අපත් අත් ඔසවා පාප කර්මයන් එදා සිදු කළා. එයට අප ජනතාවගෙන් දහස්වර සමාව ඉල්ලුවා. පෙරේදා රාත්‍රියෙත් අප එය නිවැරැදි කළා.

පෙරේදා (28) රාත්‍රීයේදි 19 වන සංශෝධනය සම්මත කර ගැනීමේ දී විවිධ කතා පැතිරුණා. මේ කතා කරුවන්ගේ බෙදීමක් ඇතිවෙලා ඔවුන් අවසන් මොහොත වන තෙක් විවිධ න්‍යාය සූත්‍ර කිව්වා. නමුත් කුමන වර්ගයේ කතා කිව්වත් වයරය තිබෙන්නේ කොතනදැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් දැන සිටියා. නමුත් පින් නැත්තෙක් මෙයට විරුද්ධ ඡන්දය දුන්නා. කවි පදයකුත් තිබෙනවානේ අහෝ දෙව්දත් නොදුටු මොක්පුර කියලා. තවත් පින්මද පුතුන් 06 දෙනකු මෙහිදී ඡන්දය දුන්නේ නෑ. නමුත් අපි 19 නැමැති පූජා වට්ටිය දෝතින් ගෙන ගොස් පූජා කර පින් රැස් කර ගත්තා.

මිනිසකු ප්‍රතාපවත් වන්නේ උඩු රැවුලෙන් පුෂ්ටිමත් ශරීරයෙන් නොව කී දේ නිසිලෙස ඉටු කිරීමෙන් ජනතාවගේ හදවතෙහි සටහන් වීමෙන් බව මින් පසු කයිවාරු කරුවන් ඉගෙන ගනිවී. මෙතෙක් කල් ජනනායකයන් යැයි කියා ගන්නා ඇතමුන් මිනිසුන්ව බාගෙන කෑ යුගය අවසන් කර විධායක ජනාධිපති බලය අවම කරගන්නට අප ගෙනගිය සටනට සහය දැක්වූ බොහෝ දෙනාට අප ස්තුතිවන්ත විය යුතුයි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරු පරණවිතාන මහතාද මේ අවස්ථාවට සහභාගි විය.
බුද්ධිකා ඉඹුලාන /- Dinamina

Archive

Latest news

Related news