Thursday, May 2, 2024

විදුලි සංදේශ කොමිසමේ මිලියන 620 වංචාව: ලලිත්-අනූෂ-වටිනාපහ හිමිගෙන් යළිත් ප්‍රශ්න කැරේ

පසුගිය පාලන සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සිදුවූ බව කියන රුපියල් මිලියන හයසිය විස්සක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පියවර ගෙන ඇත.

‍ෙම් යටතේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට යන මහත්වරුන් සහ හිටපු ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද හිමියන්ගෙන් එම ඒකකය මේ සතිය තුළදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් රුපියල් මිලියන හයසිය විස්සක මුදලක් ලබාගෙන ඡන්ද දායකයන් අතර සිල් රෙදි බෙදා දුන්නේ යැයි ලැබුණ චෝදනාවක් සම්බන්ධයෙන් එම ඒකකය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි. එසේ සිල් රෙදි බෙදා දී ඇත්තේ ජනාධිපතිවරණයට දින හතරකට පෙර එළැඹුණ දුරුතු පුන් පොහෝ දිනයේය.

මේ පිළිබඳ කරුණු දැක්වූ පොලිස් ප්‍රකාශකයකු සඳහන් කළේ මෙයට සම්බන්ධ වූවන් හට රාජ්‍ය දේපළ සහ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම යටතේ නඩු පැවරිය හැකි බවයි.

ඉහත චෝදනාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සෝමානන්ද හිමියන්ගෙන් දැනටමත් එක් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙයට පෙර විදුලි සංදේශ අමාත්‍යාංශය යටතේ පැවතුණත් පසුගිය වසර කිහිපය තුළ එය හිටපු ජනාධිපතිවරයා විසින් සෘජුව පාලනය කරනු ලැබීය.

– දිනමණ

Archive

Latest news

Related news