Thursday, April 18, 2024

19 සම්මත වෙයිද නැත්ද? සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂනය

සති ගණනාවක් පුරාවට අස්ථාවරව පැවති ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය හොදින් හෝ නරකින් හෝ නිමාව දකින කාලය ඇත්තේ ඉදිරියට ය.  හොඳින් නිමාව දකිනු ඇතැයි කිව හැක්කේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සදහා වන පාර්ලිමෙන්තු විවාදය අද (27) දිනයේ ආරම්භ වන නිසා ය. එය සම්මත කර ගැනීමෙන් පසු 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජිත නව මැතිවරණ ක‍්‍රමය ගෙන ඒමට නියමිත ය. කෙසේ නමුත් මේවායේ නරක පැත්තක්ද ඇත. 19 සම්මත නොවීම යනු ජනාධිපතිවරණ සමයේදී ජනපති සිරිසේන තමන් විධායක ජනපති බලතල අත්හරින්නේයැයි දුන් පොරොන්දුව බිද හෙළන්නක් වනු ඇත. මෙලෙසම 20 ව්‍යවස්ථා සංශෝධනය ද පරාජය වුවහොත් නව මැතිවරණ ක‍්‍රමයක සිහිනය ද බොඳව යනු ඇත. මෙසේ සිදුවුවහොත් වත්මන් රජයට අත්වනු ඇති ඉරණම කුමක්වනු ඇත්දැයි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

ව්‍යවස්ථා සම්මත කරගැනීම සදහා තුනෙන් දෙකක බලය ලබා ගැනීමට හැකිවේදැයි යන සිතිවිල්ල මේ දිනවල වත්මන් රජයේ පාර්ශවකරුවන්ගේ සිතෙහි හොල්මන් කරන්නකි. විශේෂයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂපාතී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඡන්දය ලබාදීමට නම් තමන් ගේ කොන්දේසි ඉටුකළ යුතු යැයි පවසා සිටීම තත්ත්වය තවත් බරපතල කර ඇත. ඔවුන්ට ද දැන් 19 වැනි ව්‍යවස්ථාවට යෝජනා එකතු කිරීමට අවශ්‍යව තිබෙන අතර එවැනි එක් යෝජනාවක් වන්නේ යෝජිත ව්‍යවස්ථා කවුන්සිලයට පිටතින් සාමාජිකයන් පත්කරගැනීමක් සිදු නොකර ඒ සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ම තෝරාගැනීම ය. මෙම මන්තී‍්‍රවරුන් බහුතරයක් අයත් වන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය දා ව්‍යවස්ථා සංශෝධනවලට සහාය පළ කරන බවට තීරණයකට එළැඹිය ද පවතින වාතාවරණයට අනුව කුමක් සිදුවනු ඇත්දැයි කිව නොහැකි ය.

‘අපි මේ ගැටලුව විසදන්න උත්සාහ කරමින් සිටින්නේ.එකගතාවයකට ආවට පස්සේ අපි අවසාන තීරණය ගන්නවා.‘සන්ඩේ ටයිම්ස් කළ විමසීමක දී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ එසේය. ඊයේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර එහි අරමුණ 19 ඒ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සදහා සහාය දීමේ වැදගත්කම ඔවුන්ට පෙන්වා දීම විය. එම හමුවේ ප‍්‍රතිඵලය කුමක්දැයි දැකගැනීමට හැකිවනු ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ය.

පසුගිය සෙනසුරාදා දිනය වන තෙක් ම තිරය පසුපස සිට කි‍්‍රයාත්මක වුණු විවිධ පුද්ගලයන් සිටියේ ජනපති සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර එකඟතාවක් ඇතිකිරීමට උත්සාහ කරමිනි. ශ‍්‍රී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මැයි දින පෙළපාලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා එකම මතයකට ගෙන ඒමද එම පුද්ගලයන් ගේ එක් අරමුණක් විය. නමුත් ගෙවුණු සතියේ සිදුවීම් සැලකීමේ දී දෙදෙන එක් කිරීමේ කාර්යය කෙතරම් දුරට සාර්ථකවනු ඇත්දැයි ඇත්තේ සැකයකි. මෙනිසාම ඊයේ දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල්පිටුවේ සදහන්වූ ආකාරයට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශී‍්‍රලංකා නිදහස් පක්ෂය මැයි දින පෙළපාලි දෙකක් පැවැත්වීමේ ඉඩක් ඇත.

රජයේ නිල ආරංචි මාර්ගයක් සඳහන් කළ ආකාරයට හදිසියේවත් 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට නොහැකිවුවහොත් බොහෝවිට මැයි මස 5 වැනිදා පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමත්, ජූනි මාසයේ අවසන් භාගය වන විට පාර්ලිමේන්තු මැතිවරණයන් පැවැත්වීමත් සිදුවේ. එවැනි තත්ත්වයක දී ඡන්ද විමසීම සදහා භාවිතයට ගැනීමට සිදුවනු ඇත්තේ පැරණි සමානුපාතික ඡන්ද ක‍්‍රමයම ය. මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා සවස්වරුවේ පැවති ජාතික විධායක කවුන්සිල හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. එවර එම හමුවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගීව සිටියා ය.

යෝජිත නව මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණ එකහෙළාම විරෝධය පළ කළෝ ය. පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවක දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මැතිවරණ ක‍්‍රමය පිළිබඳ ලියැවිල්ලක් ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ද එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ද සදහන් කළ ප‍්‍රකාශයක් පක්ෂ දෙකෙහි නායකයන් ගේ විවේචනයට ලක් විය.

‘කැබිනට් එක එහෙම තීරණයක් ගත්තේ නැහැනේ.අනෙක ඇයි ජනපතිතුමා තවත් මැතිවරණ සංශෝධනයක් ගැන ලියවිල්ලක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ? සියලූ පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු මැතිවරණ ක‍්‍රමයකට මේ වෙනකොට අපි එකඟ වෙලයි තියෙන්නේ.ඇයි තව එකක්? ‘ ශී‍්‍රලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විමසී ය.

ඔහුට වහාම පිළිතුරු දුන් ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ නව මැතිවරණ ක‍්‍රමයේ අන්තර් ගත විය යුතු යැයි ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබූ යෝජනා කිහිපයක් යැයි කීවේ ය. මේ ඇසූ හකීම් එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂය අතර ඇති සීතල යුද්ධය නිමා කිරීමට දැන් කාලය පැමිණ ඇතැයි පැවසුවේ ය.

ජාතික විධායක කවුන්සිලයෙන් දැන් කැබිනට් මණ්ඩලයේ කටයුතු ද අධීක්ෂණය කෙරෙන නිසා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කිරීමට ප‍්‍රථමයෙන් එය ජාතික විධායක කවුන්සිලයට ඉදිරිපත් කළ යුතුයැයි හකීම් කීවේ ය. ජාතික හෙළ උරුමයට දැඩි ව විවේචනය කළ ඔහු එම පක්ෂයේ නායකයන් ඥානචාරීවරුන් යොදා ගෙන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ වුවමනාවට මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුත්තේ කෙසේදැයි යෝජනා සම්පාදනය කර තිබෙන බවට චෝදනා කළේ ය. ඔහු එය එල්ල කළේ කවරෙකුටදැයි පැහැදිලි ය. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවලට අනුමැතියක් ලැබී නොතිබියදී එම යෝජනා සම්මතවූවා යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හකීම්ගේ දෝශාරෝපණයට මුහුණදීමට රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සිදු විය. මෙය පුදුමයට කාරණයක් නොවේ. කැබිනට් ප‍්‍රකාශක තනතුර ලැබුණු දිනයේ පටන් ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා රජයේ අනු දැනුමකින් තොරව ප‍්‍රකාශයන් නිකුත් කරන බව දැන් සියලු දෙනා හදුනා ගෙන තිබෙන්නකි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා පාර්ලිමේන්තු මැතිවරණයක දී තම පක්ෂයේ විනාශය අරමුණු කර ගෙන සකස් කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේ ය. මේ සම්බන්ධයෙන් වහාම පියවර නොගතහොත් ජාතික විධායක කවුන්සිලයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉවත් වන බවට ද ඔහු තර්ජනය කළේ ය. හකීම් ද ඊට සහය පළකරමින් අදහස් දැක්වී ය. ජාතික හෙළ උරුමය ද, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි කුමන්ත‍්‍රණයක නියැළී සිටිනවායැයි දිසානායක කීවේ ය. ජාතික විධායක කවුන්සිලයේ කටයුතු සම්බන්ධයෙන් ද අදහස් පළ කළ ඔහු බොහෝ අවස්ථාවන්හි දී කවුන්සිලය ගන්නා තීරණ හරි හැටි කි‍්‍රයාත්මක නොවන බව පෙන්වා දුන්නේ ය. සියලුම යෝජනා කවුන්සිලයට ඉදිරිපත් කර ඉදිරිපත් වන අදහස් අනුව සංශෝධනයන් සිදුවිය යුතු බවට එකඟතාවක් තිබුණ ද දැන් කවුන්සිලයේ ඇස් වසා එසේ සිදු කළ සංශෝධන නැවත වෙනස් කිරීමේ වෑයමක් ඇති බව ඔහු පැවසුවේ ය.

19 ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවලට මේ වන විට එකඟතාව පළ ව ඇති හෙයින් තවත් යෝජනා ඉදිරිපත් කිරීමේ ඵලක් නොමැති බව අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ය. ව්‍යවස්ථා සංශෝධනයට තවත් යෝජනා ගෙනඒම පසුපස සිටින්නේ හිටපු ඇමති වාසුදේව නානායක්කාර ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රබල ආධාරකරුවකු වන හෙතෙම මෙසේ 19 ව්‍යවස්ථා සංශෝධනයට තවත් සංශෝධනයන් සිදුවිය යුතු බව පවසන්නේ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන හා හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් හා එක්ව බව සඳහන් ය.

19 ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් යෝජනාවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව ඇති නිසා ඊට තවත් යෝජනා ඇතුළත් කිරීමේ ඉඩක් නොමැති බව ජනපති සිරිසේන ද පෙන්වා දුන්නේ ය. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය උල්ලංඝණය කළ නොහැකි බව ඔහු අවධාරණය කළේ ය. මෙනිසාම එක්සත් ජාතික පක්ෂය 19 සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට ප‍්‍රථමයෙන් ලහිලහියේ ව්‍යවස්ථා සංශෝධන යෝජනා කිහිපයක් ඊට ඇතුළත් කරවා ගෙන තිබෙන බවට ද රාවයක් ඇත.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පනත් සැකසීම සදහා ජනපතිවරයා ජයම්පති වික‍්‍රමරත්න මහතා ගේ ප‍්‍රධානත්වයෙන් යුතු නීතීඥවරුන් කණ්ඩායමක් පත් කිරීම ද සිදුකළේ ය. සංශෝධන සම්බන්ධයෙන් පනත් දෙකක් සකස් කරන ලෙස හෙතෙම උපදෙස් දුන්නේ ය. මෙම පනත් දෙක සකස් කිරීමේ කටයුතු අද දිනය වන විට අවසාන ව තිබිය යුතු ය. බදාදා දිනයේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී මෙම පනත් අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කර ඉන්පසු වහාම ඒවා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීම ජනපතිවරයාගේ සැලැස්මයි. දැනට අනාවරණය ව ඇති තොරතුරුවලට අනුව මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන ඇතුළත් 20 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත ව ඇත්තේ හදිසි පනතක් ලෙස ය. මෙනිසා ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වාද විවාදවලට ලක්කිරීමට හෝ ඉඩක් නැත. සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර එය ව්‍යවස්ථාවට අනුකූලදැයි සොයාබැලීම පමණක් සිදුවන අතර බොහෝ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් තම අසතුට පළ කර තිබෙන්නේ ජනමතය විමසීම මඟහැරීම නොකළ යුත්තක් බව කියමිනි.

බ‍්‍රහස්පතින්දා රැයේ ජාතිය අමතමින් කළ ප‍්‍රකාශයේදී 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනපතිවරයා පැවසුවේ ය.

‘ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ජනතා නියෝජිතයින් වන ඔබ ගේ සහය මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.මෙය ඓතිහාසික අවස්ථාවක්. ඔබ සියලු දෙනා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ඡන්දය ලබාදෙනු ඇතැයි මා සිතනවා.‘යි ජනපති සිරිසේන කීවේ ය.

ජනපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන යෝජනාවල පාර්ලිමෙන්තු ආසන සංඛ්‍යාව 255 දක්වා ඉහළ නැංවිය යුතු බව නැවත වරක් සදහන් කර තිබුණි. මෙය මෙලෙසම පෙර අවස්ථාවක පත් කර තිබූ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් සිවු දෙනා ගේ කමිටුවද නිර්දේශ කර තිබුණකි. ආසන 170 ක් සඳහා කේවල ක‍්‍රමය යටතේත්, ආසන 60 ක් සඳහා සමානුපාතික ක‍්‍රමය යටතේත්, ඉතිරි ආසන 25 සඳහා ජාතික ලැයිස්තුවෙනුත් නියෝජිතයන් පත්කර ගත යුතු බව ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබූ මැතිවරණ සංශෝධන යෝජනාවන් ගේ සඳහන් විය. ඊයේ දින පැවැත්වීමට නියමිතවූ සාකච්ඡාවේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 19 හා 20 ්් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ව වැඩිදුරටත් දැනුම්වත් කිරීමට සැලසුම් කර තිබුණි.

ජනපති සිරිසේන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට ප‍්‍රසිද්ධියේ ම තම පක්ෂයේ මන්තී‍්‍රවරුන් ගෙන් සහාය ඉල්ලා සිටීම තමන් පක්ෂයේ ප‍්‍රධානියා බව පෙන්වීමට ඔහු ගත් උත්සාහයක් ලෙස සැලකිය හැකි ය. ඔහු නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරු ඔහුට විරුද්ධව කටයුතු කරමින් සිටින බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසක් බවට පත්ව හමාර ය. එය හොඳින්ම පෙන්වා දුන් අවස්ථාවක් වූයේ පසුගිය දා ප‍්‍රකාශයක් ලබාගැනීම සදහා පැමිණෙන්නැයි අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම හිටපු ජනපතිවරයාට නියෝගයක් නිකුත් කිරීමත් සමඟ උද්ගත වූ තත්ත්වයයි. හිටපු ජනපතිවරයා කොමිසමට කැඳවීමට එරෙහිව නැඟුණු විරෝධය හමුවේ බලධාරීන්ට සිදු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනපතිවරයා ගේ නිවස වෙත යවා එහිදී ඔහු ගෙන් ප‍්‍රකාශයක් සටහන් කරවා තීරණය කිරීමට ය. මෙය ජනපති සිරිසේන අපේක්ෂා නොකළ දෙයකි. අනෙක් අතට හිටපු ජනපතිවරයාට නැගී තිබෙන චෝදනාව වන එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ජනාධිපතිවරණ සමයේ දී ඇමති ධූරයක් ලබා දුන්නායැයි වන චෝදනාව ශී‍්‍රලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ විකාශය දෙස බැලීමේදී වැඩකට නැති දෙයකි. බලයට පත්වූ පසු තමන්ට සහය දුන් පුද්ගලයන්ට අත දිග හැර සංග‍්‍රහ නොකළ රජයක් නොමැති තරම් ය. එය වංචාවක් ලෙස සැලකෙන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ බොහෝ මන්තී‍්‍රවරුන් මේ වන විට සිටිය යුත්තේ සිරගෙදර ය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හා දුෂණ කොමිසමට කැඳවීමේදීත් රජයට මීට සමාන තත්ත්වයකට මුහුණදීමට සිදු විය. හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසම හමුවට කැඳවුණේ පෞද්ගලික ආරක්ෂක සමාගමක් රජයේ ආරක්ෂක අංශෙවලද සොය ලබා ගෙන පවත්වා ගෙන ගිය පාවෙන අවි ගබඩාවක් පිළිබඳ තොරතුරු විමසීමට ය. මෙම අවස්ථා දෙකෙහිදී ම රජය මෙම දෙදෙනා අල්ලස් දුෂණ කොමිසමට කැඳවූයේ ඇයිදැයි හේතුව ජනතාව ගෙන් වසන් කළේ ය. අනපේක්ෂිත ලෙස නැඟුණු විරෝධයන්ට රජයට මුහුණ දීමට සිදුවූයේ ඒ නිසා ය. අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු විය යුතු බව සත්‍යයක් මුත් හිටපු ජනපතිවරයකුත්,ආරක්ෂක ලේකම්වරයාව සිටි ඔහු ගේ සහෝදරයාත් කොමිසම ඉදිරියට කැඳවෙන්නේ කවර හේතුවක් නිසාදැයි ජනතාවට පැවසීම රජයේ වගකීම විය යුතුව තිබුණි. නමුත් එවැන්නක් නොකිරීම නිසා ජනතාව ගේ අනුකම්පාව හිමිව ඇත්තේ ඔවුන් දෙදෙනාට ය.

ගෝඨාභය අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමට කැඳවා ගෙන ගිය පළමු දිනයේ බෞද්ධාලෝක මාවත ඔහු ගේ ආධාරකරුවන් ගෙන් වැසී තිබුණි. පසුගිය සිකුරාදා ඔහු නැවත වරක් කොමිසමට පැමිණි අවස්ථාවේ ද තත්ත්වය එසේම විය. මෙය රජයට රතු එළියක් දල්වන්නකි. මේ දක්වාම රජය දුවා ඇත්තේ හිටපු ජනපතිවරයා සකස් කළ රාජ්‍ය තන්ත‍්‍රය මත පිහිටා ය. වත්මන් රජයට සහය පළ කරන එකදු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ යාන්ත‍්‍රණයක් සකස් කර ගැනීමට වත්මන් රජයට තවමත් නොහැකි වී ඇතුවාවත්ද? වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට ප‍්‍රශ්න කිරීම සදහා අවශ්‍ය පුද්ගලයන් මෙරට හැරයමින් සිටින්නේ, පරීක්ෂණ මඟහරිමින් කට්ටි පනිමින් සිටින්නේ තවමත් රටේ රාජ්‍ය තන්ත‍්‍රය හිටපු ජනපතිවරයාට පක්ෂපාතීව කි‍්‍රයාත්මක වන නිසාවත්ද?

රාජපක්ෂ රජයේ අනුහසින් රාජ්‍ය ආයතනවලට පත්වූවන් ඉවත් කර ඒ වෙනුවට නව පුද්ගලයන් පත්කිරීමට න රජය ගත් පියවර කෙතරම් දුරට සාධනීයදැයි යන්න ගැටලූවකි. රාජ්‍ය තන්ත‍්‍රයේ කොඳු නාරටිය ශක්තිමත් කර යහපාලනය ස්ථාපිත කිරීම රජයේ අරමුණ වුවත් එසේ පත් කළ පුද්ගලයන් ඇතැමෙක්ම පසුගිය රාජපක්ෂ රජයේ හිතවාදීන්වීම ඊට හේතුවයි.

පසුගිය සමයේ පෞද්ගලික බැංකුවලට පත්කර සිටි රාජපක්ෂ හිතවාදීන් ඉවත් කර ඒ වෙනුවට නව රජයේ නිලධාරීන් පත්කිරීමට පියවර ගැනීමත් සමඟ රජය මේ තත්ත්වය ගැන සැළකිලිමත්වී ඇති බවක් දැක ගත හැකි විය. මෙතැනදී රජයට පසුගිය රාජපක්ෂ රජයට නැඟුණු චෝදනාවම වූ රජයට හිතවාදී පුද්ගලයන් පත්කරනවා යැයි යන චෝදනාවට මුහුණ දීමට සිදුවූ අතර රජයෙන් ඊට ලැබුණු පිළිතුර වූයේ එම බැංකුවල ක‍්‍රමවේදයන්ට අනුව පුද්ගලයන් පත්කරන තාක් කල් මෙසේ පුද්ගලයන් පත් කළ බව ය. කළත් වැරදියි, නොකළත් වැරදියි තත්ත්වයකට රජයට මුහුණදීමට සිදුවීමට ඇත්තේ මෙලෙස ය.

පසුගියදා නැවත මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ද රජය කටයුතු කළේ උදාසීන ස්වභාවයකිනි.ජනපතිවරණය අවසානයේ ඔහු අමෙරිකාව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සදහා යන බව කියමිනි. ඔහුට අමෙරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ ඔහුගේ ම යැයි කියා නිවසක් ද ඇත. නැවත ඔහු මෙරටට පැමිණියේ හිටපු ජනාධිපති වූ ඔහුගේ සොහොයුරා ගේ උපදෙස්වලට පටහැනිව බව සැළය. තම සොහොයුරාට පාර්ලිමෙන්තුවේ මෙන් ම පිටත තවමත් ඇති ජනතා කැමැත්ත බැසිල් රාජපක්ෂට නැවත වරක් මෙරටට පැමිණීමට සිත දෙන්නට ඇතැයි සිතිය හැකි ය . පැමිණි වහාම ඔහු ගියේ මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් හමු වීමට ය. එහිදී ප‍්‍රකාශයක් සටහන් කර ගත්තායින් පසු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගැනුණු අතර එතැනින් බන්ධනාගාර රෝහලටත්, අනතුරුව ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකටත් ඔහු මාරු වූයේ අසනීප තත්ත්වයක් ඇතැයි කියමිනි. නැවත පැමිණෙන්නට දින දෙකක කාලයක් තමන්ට ලබාදෙන්නැයි මූල්‍ය අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ය. එසේ කිරීමට හැකියාවක් නැති පැවසූ එම නිලධාරීන් අවසානයේ රෝහලේ සිටියදීම බැසිල් රාජපක්ෂගෙන් පිටු 16 ක ප‍්‍රකාශයක් සටහන් කර ගත්තේ ය.

බැසිල් රාජපක්ෂ ඉක්මනින් රෝහලෙන් ඉවත් කර නොගත හොත් රෝහල ඉදිරිපස ජනතා විරෝධතාවක් පැවැත්වීමේ ඉඩක් ඇතැයි නිලධාරීන් බියපත්ව සිටී. තමන් අත්අඩංගුවට නොගතහොත් මූල්‍ය අපරාධ අංශයටම පැමිණ ප‍්‍රකාශයක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ පවසා ඇත. නමුත් ඔහුගේ ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කිරීමට මූල්‍ය අපරාධ අංශයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

යහපාලනය යටතේ මාධ්‍යවලට හිමිව ඇති නිදහස ගැන ද මෙහිදී සඳහන් කළ යුතු ය. පසුගිය රජය සමයේ මෙන් නොව පක්ෂ විපක්ෂ සියලුදෙනාට එක සමාන ගුවන් කාලයන් ලබාදීමට මාධ්‍ය පියවර ගෙන ඇති නිසා රජයේ මෙන් ම විපක්ෂයේ කි‍්‍රයාකාරකම් ගැනත් දැනුම්වත්වීමට දැන් ජනතාවට හැකි ය. බැසිල් රාජපක්ෂ පිළිබඳ තොරතුරු ජනතාව දැන ගත්තේ ඒ අයුරිනි.මෙය ඉතා යහපත් තත්ත්වයක් වුවත් රජය එහි ප‍්‍රයෝජනය ගන්නා බවක් පෙනෙන්නට නැත. පසුගිය රජය පාලන සමයේ දී නිරතුරුව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ගේ, ඇමතිවරුන් ගේ, රාජ්‍ය පාක්ෂිකයන් ගේ ප‍්‍රකාශ හා කටයුතු විකාශය විය. මෙය එම රජයට වාසි සහගත පරිසරයක් නිර්මාණය කළේ ය. වත්මන් රජය මෙවැනි උපක‍්‍රමයක් අනුගමනය කළ යුතුයැයි මෙයින් අදහස් නොකෙරේ. ගැටලුව වී ඇත්තේ මාධ්‍ය සම්බන්ධ ප‍්‍රවීණයන් බොහෝ දෙනකු සිටියත් එක්සත් ජාතික පක්ෂය තවමත් මාධ්‍යයේ භාවිතය ගැන සැලකිල්ලක් යොමු කර නොතිබීමයි. එසේ සැලකිලිමත් වූයේ නම් රජයට මේ සා පරිහානියක් සිදුවන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයට මේ ගැන වුවමනාවක් නැත. නැතිනම් පක්ෂයේ අවධානය තිබෙන්නේ වෙනතක ය.

රට පාලනය කරන ති‍්‍රත්වය එනම් සිරිසේන, වික‍්‍රමසිංහ හා බණ්ඩාරනායක පසුගිය දිනවල වංචා හා දුෂණ කටයුතු මැඬලිය යුත්තේ කෙසේදැයි සාකච්ඡා කළහ. අවසන ඔවුන් ගේ තීරණය වුයේ පසුගිය රජය සමයේ සිදුව ඇති වංචා හා දුෂණ පිළිබඳ තොරතුරු සොයාබැලිය යුතු බව ය. මෙය ළඟ එන මැතිවරණය ඉලක්ක කර කි‍්‍රයාත්මක කරන්නක් දැයි පැහැදිලි නැත. මේ ආශි‍්‍රත පරීක්ෂණ කටයුතුවල නිරතව සිටින නිලධාරීන්ට ඇතැම් පරීක්ෂණ කටයුතු අතරමඟ නතර කර ගෙන සිටීමට සිදුව තිබෙන අතර එම පරීක්ෂණ සිදුවන්නේ පසුගිය රජයේ බලවත් ම පුද්ගලයන්ට එරෙහිව වීම ඊට හේතුවයි. මෙම තත්ත්වය මැඬලීමට පියවර ගත යුතුව ඇත.

හිටපු පරිපාලන නිලධාරියකු හා පූජ්‍ය පක්ෂයේ සාමාජිකයකු වන ප‍්‍රකට පුද්ගලයකු පසුගිය රජය සමයේ රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කර රුපියල් ලක්ෂ 6000 කට අධික මුදල් ප‍්‍රමාණයක් වංචා කර ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත. නුදුරු දිනකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත ය.

‘දුෂණය හා වංචාව මර්දනය කරන්න මම සියලු පියවර ගන්නවා. රටේ ජනතාව ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සුරකින්න මම එමගින් කටයුතු කරනවා.‘යැයි ජනපති සිරිසේන පසුගියදා ජනතාව අමතමින් පැවසූයේ එනිසා ය.දුෂණය හා වංචාව පිටුදැකීමට රජය දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව පෙන්වාදීම ඔහුගේ අරමුණ විය. ඔහුගේ කතාවේ එක් අවස්ථාවක ඔහු පසුගිය රාජපක්ෂ රජය සමයේ ජනතාව සිටියේ වහලූන් හැටියට බවත් නව රජය බලයට පත්වීමත් සමඟ ජනතාවට වහල් බවින් මිදී නිදහස් වීමට අවස්ථාව ලැබී තිබෙන බවත් සදහන් කළේ ය. ගැටලුව තිබෙන්නේ මෙතැන ය. වහල් බවින් මිදීමට අවස්ථාව ලැබී තිබෙන්නේ කෙසේදැයි මිීට වඩා ජනතාව දැනුම්වත්වීමක් සිදුවිය යුතු ය. ඒ සඳහා මාධ්‍ය භාවිතා කිරීම අනිවාර්යය අංගයකි. මෙය ජනපතිවරයා මෙන්ම නව රජයේ නායකයන්ද සැලකිල්ලට ගත යුතු කරුණකි.
ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ගෙන් කළ ඉල්ලීමට අමතරව තමන්ට නැඟෙන චෝදනා සම්බන්ධයෙන්ද ජනපතිවරයා තම කතාවේ දී අදහස් පළ කළේ ය. දුර්වල නායකයකු බව කියමින් තමන්ට පහර ගසන විචාරකයන්ට පිළිතුරු දුන් ඔහු ‘ඔබ මා දුර්වල යැයි කියන්නේ විධායක බලතල භාවිතා නොකළ නිසාද? මා මෙතැනට පත්වූයේ විධායක බලතල අහෝසි කරන බවට දුන් පොරොන්දුවකින්.මේ දින සියය පුරාවටම මා මගේ බලතල අයථා ලෙස භාවිතා කළේ නැහැ‘යැයි පැවසී ය.

ජනපතිවරයා තම බලතල භාවිත කිරීමේ හෝ නොකිරීමේ ගැටලුවක් නැත. ගැටලූව ඇත්තේ ඔහු තමන් සතු බලතල ජනපතිවරණ සමයේ පොරොන්දුවූ පරිදි දුෂණය හා වංචාව මර්දනය කිරීමට, රාජ්‍ය තන්ත‍්‍රය පණ ගැන්වීමට භාවිත කළේදැයි යන තැන ය. රජයේ නායකයන්ට දිනෙන් දින ප‍්‍රමාද වන පරීක්ෂණ කටයුතු ගැන නිදහසට කරුණු කීමට සිදුව ඇත්තේත්, රජය දුෂිතයන්ට දඬුවම් නොකර කර අරිමින් සිටිනවායැයි ජනතාව අතර මතයක් ගොඩ නැඟී ඇත්තේත් මේ නිසා ය.

ශ්‍රී ලංකාවේ නව විදේශ ප‍්‍රතිපත්තිය ගැන ද ජනපතිවරයා අදහස් දැක්වූවේ ය. පෙර බෙදී සිටියත් දැන් අන්තර්ජාතික ප‍්‍රජාව ශී‍්‍රලංකාව වෙනුවෙන් එක්ව සිටින බව ඔහු පැවසුවේ ය. වෙනසක් සිදුකිරීමට තමන්ට හැකි යැයි ශී‍්‍රලංකාවේ ජනතාව විශ්වාස කළාක් මෙන් අන්තර්ජාතික ප‍්‍රජාව ද නව ජනපති හැටියට තමාට මානව හිමිකම් සුරක්ෂිත, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත පරිසරයක් ශී‍්‍රලංකාවේ ඇති කිරීමට හැකි යැයි විශ්වාස කරන බව ඔහු කීවේ ය. දින සියයයේ වැඩපිළිවෙළ ගැන ද ඔහු අදහස් දැක්වී ය. පොරොන්දු වූ පරිදි කටයුතු සිදුව නැතැයි චෝදනා නැඟුණත් වැඩපිළිවෙළට අනුව සිදු කර ඇති ඇතැම් කටයුතු කෙළින් ම ඇසට නොපෙනෙන බව ජනපතිවරයා කීවේ ය.

මාධ්‍ය සම්බන්ධයෙන් ද ඔහු අදහස් දැක්වී ය. ලැබී තිබෙන නිදහස අයුතු ලෙස භාවිත නොකළ යුතු යැයි ඔහු අවධාරණය කළ අතර එසේ සි දුකරන මාධ්‍ය ආයතන කිහිපයක් ගැන රජය දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසී ය. ජනපතිවරයාගේ මෙම ප‍්‍රකාශය පදනම් විරහිත නොවේ. ඔහු ඇත්ත වශයෙන් ම සිටින්නේ ඇතැම් මාධ්‍ය ආයතනවල කි‍්‍රයාකාරීත්වය ගැන නොසතුටෙනි. නමුත් ඔහු ද ඔහු ගේ පූර්වගාමීන් මෙන් මුල දී මාධ්‍ය නිදහස දෙන්නෙමි යි කියා පසුව මාධ්‍ය වාරණය කරන්නට කටයුතු කරනු ඇත්දැයි දැන් ම පැවසිය නොහැක. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දී මාධ්‍යවේදියකු ඝාතනය වූ අතර සංස්කාරකවරුන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල කෙරිණි. සියලූ ස්වරූපයන් ගේ මාධ්‍යයන් ඉතාම දැඩි ලෙස වාරණය කෙරුණු අතර එක් අවස්ථාවක ශී‍්‍රලංකා සිතියම පවා භාවිතා කිරීමට පවා වාරණයක් පැනවිණ. මහින්ද රාජපක්ෂ පාලන සමයද මීට දෙවැනි නොවී ය. පහරදීම්, ඝාතනය කිරීම්, අතුරුදන්වීම් ආදී සිදුවීම්වලින් රාජපක්ෂ පාලන සමය ගහණ ය. එනිසාම වත්මන් ජනපතිවරයා ඇතැම් මාධ්‍ය ආයතනයන්ගේ කි‍්‍රයාකාරීත්වය ගැන අසතුට පළ කිරීම හොඳ ලකුණක් නොවේ.

මාධ්‍ය ආයතනයන් සැබෑවට ම මාධ්‍ය සදාචාරයන්ට පටහැනිව කටයුතු කරන්නේනම් ජනපතිවරයා කළ යුතුව ඇත්තේ ප‍්‍රසිද්ධියේ ඒ පිළිබඳ අසතුට පළකිරීම නොව තම උපදේශකයන් ගේ උපදෙස් ලබා ගෙන අදාළ නීතිමය පියවර ගැනීම ය. මෙසේ ප‍්‍රසිද්ධියේ ම අසතුට පළ කිරීමෙන් ජනපතිවරයා වරදවා තේරුම් ගැනීමට ජනතාවට ඇති ඉඩකඩ වැඩි ය. අනෙක් අතට මාධ්‍ය ද එය තේරුම් ගන්නේ මේ ජනපතිවරයා ද අවශ්‍ය තැනෙහිදී විවේචනය කළ නොහැකි පුද්ගලයකු ලෙස ය. මෙනිසාවෙන් ම ඔවුන් ද ජනපති සිරිසේන හා හිටපු ජනපතිවරුන් අතර වෙනසක් නොදකින තත්ත්වයකට ක‍්‍රමයෙන් පත්වනු නොවැළැක්විය හැකිවනු ඇත.

මාධ්‍ය නොව මේ දිනවල ජනපතිවරයා අරක් ගෙන සිටින්නේ තමන් නායකත්වය දරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ ගැටලු ය. පක්ෂයේ සාමාජිකයන් 19 ව්‍යවස්ථා සංශෝධනයට හෝ 20 ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළ නොකළහොත් ඔහුට පාර්ලිමෙන්තුව විසිරුවා හැර මැතිවරණයක් කැඳවීම මිස කළ හැකි වෙනත් දෙයක් නොමැත .පක්ෂයේ සාමාජිකයන් පක්ෂ නායකයා වන ජනපති සිරිසේනගේ කීමට පිටින් ගියහොත් ඔහුට කවර ඉරණමක් අත්වේ ද? ඔහු රූකඩ නායකයෙක් බවට පත්වේවි ද? ඔහුගේ කීම නාහන මන්තී‍්‍රවරුන්ට එළැඹෙන පාර්ලිමෙන්තු මැතිවරණයේ දී පක්ෂයෙන් නාම යෝජනා ලැබෙනු ඇතැයි සිතිය නොහැක. එවැනි අවස්ථාවකදී ඔවුන් හිටපු ජනපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා වෙත ගොස් නව පක්ෂයක් තනාගෙන මැතිවරණයට ඉදිරිපත් වේවි ද? මෙම සිතුවිල්ලද ජනපතිවරයාට වද දෙමින් සිටිනවාට සැක නැත. එය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයට නම් වාසියකි. නමුත් හිටපු ජනපතිවරයාට තවමත් හිමි ජනතා ප‍්‍රසාදය නිසාත්, වත්මන් රජයේ කටයුතු දිනපතාම ජනතාව අතර අප‍්‍රසාදයට ලක්වෙමින් තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ නව පක්ෂයක් තනා ගෙන මැතිවරණ පිටියට පැමිණියහොත් ජයග‍්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට හෝ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට හෝ පහසු දෙයක් නොවනු ඇත.

– සන්ඩේ ටයිම්ස් විශේෂ දේශපාලන විශ්ලේෂක

සිංහල පරිවර්තනය – කෝවිද ගුණසේකර

©http://www.lankadeepa.lk

මුල් ලිපියට http://www.lankadeepa.lk/index.php/articles/312057

Authors

Related posts

*

Archive

Latest news

Related news