Thursday, April 25, 2024

සිසුන්නට එල්ල කළ ප්‍රහාරයේ වගකීම ආන්ඩුවටයි – ජවිපෙ

“පසුගිය 31දා සිය සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් උද්ඝෝෂණ පා ගමනක නිරතවූ විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ලකර තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ට එරෙහිව එල්ල කළ මෙම ප‍්‍රහාරයේ වගකීම වත්මන් ආණ්ඩුව බාරගත යුතු බව අවධාරණය කරන අපි එම ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු.

ආණ්ඩුව විසින් සිසුන්ට මෙම ප‍්‍රහාරය එල්ලකරනු ලැබුවේ, විවෘත විශ්වවිද්‍යාල පාඨමාලා ගාස්තු අඩුකිරීම, වැඩිකළ මහපොළ දීමනාව මේ මස සිට ලබා ගැනීම, මාලඹේ හා කොතලාවල පීඨවල උපාධි විකිණීම සහ පාසැල්වල මුදල් අයකිරීම නැවැත්වීම ඇතුළු සාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ උද්ඝෝෂණයේදීය. මෙම උද්ඝෝෂණයට පෙර මෙම ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා ඉල්ලා සිටියද, උපවාස කළද, බලධාරීන් ඊට අවධානය යොමු කළේ නැත. තම සාධාරණ ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂණ පා ගමනක් යාමට විශ්වවිද්‍යාල සිසුන්ට සිදුවූයේ ඒ නිසාය. අවසානයේ සිදුවූයේ කුමක්ද? සිසුන්ගේ සාධාරණ ගැටලුවලට අවධානය යොමු කොට ඒවා විසඳනවා වෙනුවට සිසුන්ට ප‍්‍රහාර එල්ල කිරීමය. මෙය කිසිසේත්ම අනුමත කළ නොහැකි කි‍්‍රයාවක් වන්නේ මේ නිසාය.

පසුගිය රාජපක්‍ෂ පාලනය තුළ ශිෂ්‍ය උද්ඝෝෂණ ඇතුළු සියලු උද්ඝෝෂණවලට පහර දුන් අයුරුත් සාමකාමී උද්ඝෝෂණවලට වෙඩිතබා කම්කරුවන්, ධීවරයින්, සාමාන්‍ය මිනිසුන් මරා දැමූ අයුරුත් අපට තවම මතකය. එම යුගයේ පැවති මර්දනකාරී හා ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනය නිමා කිරීමට ජනතාව පෙළ ගැසුණේද ප‍්‍රජාතන්ත‍්‍රවදය ප‍්‍රමුඛකොට ගනිමිනි. රාපක්‍ෂවරුන්ගේ මර්දනකාරී, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනය පරදා ගොඩනැගූ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබා දීමට පෙරොන්දු වූ නව පාලනයද දැන් හැසිරෙමින් තිබෙන්නේ පසුගිය ජනවාරි 08දා සිදුවූ දේශපාලන වෙනසට අනුව නොව ඊට මුළුමනින්ම පටහැණි හා පරණ පාලනයේ ආකාරයෙන්මය. වත්මන් පාලනය තුළද පැරණි මර්දනයම සිදුවන බව, ශිෂ්‍යන්ගේ හා පොදු ජනතා ප‍්‍රශ්නවලදී පැරණි ආකරයටම ප‍්‍රතිචාර දක්වන බව මෙවැනි සිදුවීම්වලින් තහවුරු වේ. මෙය වහාම නතර කළ යුතුය; පැරදවිය යුතුය. විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරුකරන සියලුම ජනයා මෙම ප‍්‍රහාරය හෙළා දැකිය යුතුය.

මෙම තත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියලු බලවේග ඇතුළු ජනතාව ඉදිරියේ වැදගත් කාර්යක් තිබේ. ඒ, මෙවැනි ප‍්‍රහාර මගින් තම අතීත ප‍්‍රතිගාමී හා මර්දනකාරී පාලනය අමතක කරවා යළි ජනතාව රැවටීමට ජනතාව විසින්ම පැරදවූ බලවේගයන්ට ඉඩ නොදීමය; එමෙන්ම වත්මන් පාලනයේ මෙවැනි ජනතාවිරෝධී මර්දනකාරී කි‍්‍රයාවලියට එරෙහිව නිවැරදි මඟක් ඔස්සේ පෙළ ගැසීමය. සියලුම වර්ගයේ ප‍්‍රතිගාමිත්වයට හා මර්දනකාරීත්වයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ජනතාව ආරම්භ කළ කාර්යය එහි අවසාන ජයග‍්‍රහණය දක්වා ගෙනයාමට ධෛර්යයෙන් පෙරට එන මෙන් සියලු ජනතාවන්ගෙන් අපි ඉල්ලා සිටිමු.”

Archive

Latest news

Related news