Friday, May 17, 2024

නාවික හමුදාවේ සාමාජිකයින් කප්පම් ගන්න 28 දෙනකු ඝාතන කරලා

හේමන්ත රන්දුණු විසිනි –

රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දිවයින් පුවත්පත අද වාර්තා කොට තිබේ.

මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් අතර නාවුක හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක නිලය දැරූ උසස්‌ නිලධාරියකුද සිටින බව පොලිසිය පවසයි.

මෙසේ පැහැරගත් ඇතැම් තරුණයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන පසුව ඔවුන් ඝාතනය කර ඇති බවද පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසන අන්දමට මෙම පැහැර ගැනීම් සිදුවී ඇත්තේ 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය අතරතුර කාල සීමාවේදීය.

කොළඹ කොටහේන, බ්ලූමැන්ඩල්, ගල්කිස්‌ස, වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකදී මෙම තරුණයන් පැහැර ගැනීමට ලක්‌ව තිබූ බව පොලිසිය පවසයි.

කොටහේන ප්‍රදේශයේදී සිය පුතු දෙපළක්‌ද මේ ආකාරයට මෙම සංවිධානාත්මක කල්ලිය විසින් කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස්‌ ඝාතනය කර ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

මොවුන් විසින් පැහැර ගන්නා ලද තරුණයන් ත්‍රිකුණාමලය සහ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා කඳවුරුවල රඳවාගෙන සිට පසුව කප්පම් මුදල් ලබාගෙන ඔවුන් මරා දමා ඇති බවද හෙළිදරව් වී ඇත.

අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින උසස්‌ නාවික හමුදා නිලධාරියකුගේ කාර්යාල කාමරය පරීක්‍ෂා කිරීමේදී මේස ලාච්චුවක තිබූ තරුණයන් පස්‌ දෙනකුගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍රයක්‌ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි. පසුව කළ පරීක්‍ෂණවලින් හෙළි වූයේ මෙම හැඳුනුම්පත්වල සහ විදේශ ගමන් බලපත්‍රයේ සිටි තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කර තිබූ බවයි.

නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් ඇතුළු කණ්‌ඩායම දෙමළ තරුණයන් පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉතාම වැදගත් සාක්‍ෂි රැසක්‌ මේ වන විට රහස්‌ පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම සංවිධානාත්මක කල්ලිය ගල්කිස්‌ස ප්‍රදේශයේදී එකම ස්‌ථානයකින් දෙමළ තරුණයන් පස්‌ දෙනෙකු පැහැරගෙන තිබිණි. එම තරුණයන් පැහැරගෙන නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු සුදු වෑන් රථයකින් ඔවුන් රැගෙන ගිය ආකාරය පිළිබඳවද නාවික හමුදාවේම නිලධාරීන් සාක්‍ෂි ලබාදී ඇති බව රහස්‌ පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ නාවික හමුදාවේ උසස්‌ නිලධාරියකු විදෙස්‌ පාඨමාලාවක්‌ සඳහා ගොස්‌ සිටින අතර ඔහු නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද පරීක්‍ෂණ පවත්වන නිලධාරීහු පවසති.

පැහැර ගැනීමට ලක්‌වූ තරුණයන් 28 දෙනා අතුරින් 11 දෙනකු ඝාතනය කළ ආකාරය පිළිබඳව සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන සිටින අතර සෙසු ඝාතන සම්බන්ධයෙන් සෙවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ උසස්‌ නිලධාරීන් ආරක්‍ෂා කර ගැනීමට නාවික හමුදාවේ මෙන්ම නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ උසස්‌ නිලධාරීන් දැඩි උත්සාහයක නිරතවී සිටින බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

– ශ්‍රී ලංකා ගාර්ඩියන්

Archive

Latest news

Related news