ජානීවා: ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් යයි

407

එලඹෙන මාර්තු මාසයෙහි පැවැත්වෙන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන 30 වන සැසි වාරය දක්වා කල් දැමීමට මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් තීරණය කර තිබේ.

මේ බව දැක්වෙන්නේ රොයිටර් පුවත් සේවයේ ජිනීවා වාර්තාකරැ විසින් ලියන ලද පුවත් වාර්තාවකිනි.

මෙම වාර්තාව ඉදිරිපත් කිරීම කල් නොදමන සේ දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරා කන්ඩායම් දිගින් දිගටම ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවර මහතා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමක් අනුව මෙම තීරණය ගත් බව සෙයිඩ් අල් හුසෙන් ප්‍රකාශ කර තිබේ. එම ලිපිය මගින් මානව හිමිකම් කවුන්සිලයේ පරික්ෂණය සඳහා වඩා අවස්ථාවන් විවර වනු ඇතැයි මහ කොමසාරිසවරයා ප්‍රකාශ කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් කිරීම කල් තැබීමෙන් යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම්වලට ගොදුරු වූ වින්දිතයින් කණස්සල්ලට පත් වනු ඇති බව තමා දන්නා බව ප්‍රකාශ කරන සෙයිඩ් කල් තැබීම නිසා වාර්තාව සහමුලින්ම අහෝසිවනු ඇතැයි යන්න ප්‍රතාක්ෂේප කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් කිරීම කල් දමන සේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා තුනම ගෙන ආ ඇමෙරිකා එක්සත් ජනපදය ද ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබුණී.

මේ අතර මාර්තු මාසයේ දී ඉදිරිපත් කළ යුතු වාර්තාව තවමත් අවසන් කර නැතැයි ද පසුගිය දිනයන්හි වාර්තා පළවී තිබුණි.

මාර්තු මාර්තු මාසයෙහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 28 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ජාවක් නොපැවැත්වෙන නමුත් රාජ්‍ය නොව සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් සහ සංහිදියාව ගැන සමාන්තර රැස්විම් කිහිපයක්ම පැවැත්වෙනු ඇති බව ද වාර්තා වේ.

© SLB