Saturday, April 20, 2024

ශිරානිට බණ කියන රාජිත සේනාරත්න නීති ගරුක ද? – සුනන්ද දේශප්‍රිය

හිටපු අගවිනිසුරුවරිය වූ ශිරානි බන්ඩාරනායකට විරැද්ධව ජනාධිපති රාජපක්ෂ ගෙන ආ දෝශාභියෝගය සාධරණ කිරීමට නව ආණ්ඩුවේ ප්‍රකාශක වන දැන් රාජිත සේනාරත්න ඉදිරිපත්ව සිටී.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වශයෙන් බලයට පත් වූයේ රාජපක්ෂ පාලනය විසින් ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පැනවූ අනීතික සහ නිනිදිත දෝශාභියෝගයට විරුද්ධව පෙළ ගැසුණු නීති ප්‍රජාවේ සහාය ද ඇතිව බව රාජිත සේනාරත්නට අමතක පාට ය.

අගවිනිසුරුවරියට එරෙහිව ගෙන එන ලද දෝශාභියෝගයට හේතු වුයේ බැසිල් රාජපක්ෂගේ කෝටි ප්‍රකෝටි ගණනාවක දිවි නැගුන වැඩ සටහන සඳහා සියලු පළාත් සභා අනුමැතිය ගත යුතු බවට ඇය විසින් දෙන ලද තීරණය බව ප්‍රසිද්ධ කරුණකි. දැන් ඇමැති රාජිත සේනාරත්න කියන්නේ එම දෝශාභියෝගයට හේතුව ආණ්ඩුවේ තනතුරක් දැරූ ඇගේ සැමියාගේ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අතර මතු වූ ප්‍රශ්න මතු වූ බවයි.

රාජිත සේනාරත්න මේ බව පවසා ඇත්තේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමිනි.

රාජිත සේනාරත්න අමතක කරන්නේ ජනාධිපති වනාහි එවැනි ප්‍රශ්ණ මත කිසිවකු ඉවත් කළ හෝ කවරකුට හෝ දඩුවම් නොපැනවූ පුද්ගලයකු බවයි.

මුල්‍යමය ප්‍රශ්ණයක් වී නම් එය විසඳා ගැනීමට කල යුතු එකම දෙය වූයේ රාජපක්ෂට හිස නමා ගෙන කියන විදිහට වැඩඩ කිරීම පමණය. රාජපක්ෂ සමයෙහි බොහෝ මැති ඇමැතිවරුන් ද ජාවාරම්කරුවන්ද සුභවිහරණයෙන් දිවි පැවැත්ම සහතික කර ගත්තේ එළෙස බව නොදන්නේ කව්ද?

අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක සමඟ වූයේ ඇයගේ සැමියාගේ මුල්‍යමය ප්‍රශ්ණයක් පමණක් නම් තනතුරෙන් ඉවත් වී මහින්ද බාලසූරියට මෙන් තානාපතිකමක් ලබා ගෙන ඇයට යහතින් ඉන්නට තිබුණි.

ඒ වෙනුවට ඇය රාජපක්ෂ පාලනයට අභියෝගයක් වීමට තීරණය කළා ය.

අත් අඩංඟුවට ගැනිමෙන් පසු හිස නෙනමා රාජපක්ෂවරුන්ට යටත් නොවිමේ සම්ප්‍රදාය ශක්තිමත් කළ ජෙනරල් සරත් පොන්සේකාගෙන් පසු එවැනි සමාජ දේශපාලන බලපැමක් සහිත අභියෝගයක් රාජපක්ෂ රෙජීමයට ඉදිරිපත් කළ ගැහැණිය ශිරානි බණ්ඩාරනායක වුවා ය. ඇය විසින් පෙන්නුම් කරන ලද යටපත් නොවීමේ ජිව ගුණය රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට මෙරට මහා ජනයාට අවශ්‍යව තිබූ දිරිමත්බාවයේ සංකේතයක් බවට පත් විය. නිතිඥ ප්‍රජාව රාජපක්ෂ විරෝධී බලවේගයක් බවට ගොනු කරන ලද්දේ ද අනීතික දෝශාභියෝගයට එරෙහිව ශිරානි බන්ඩාරනායක විසින් සපයන ලද නිර්භීත නායකත්වය ද විසිනි.

රාජපක්ෂ රෙජිමය අන්තර් ජාතික වශයෙන් හුදකලා වීමට ද ඇය විසින් ගෙන යන ලද අධිශ්ඨාන සම්පන්න අරගලය ඉමහත් බලපෑමක් ඇති කළේ ය.

දැන් රාජිත සේනාරත්න උත්සාහ කරන්නේ ඇය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදි අරගලයේ පන්නරය මුවහත් කරන්නට කරන ලද කැපවීම ලුහු කිරීමට ය.

ඇයි?

රාජිත සේනාරත්න එම අවස්ථාවෙහි සිටියේ ඉතිහාසයේ කුණු කූඩයේ නිසා ය. දෝශාභියෝග චෝදනාවන්ට මුහුණ දීමට රාජපක්ෂ සේනාරත්න ද ඇතුලු බත් බැලයන් හමුවට ගිය අගවිනිසුරුවරියට අපහාසාත්මත වචනයෙන් ඇයගේ මුහුණටම දෝශාරෝපනය කල එක් අශීලාචාර පුද්ගලයෙක් වූයේ මේ කියන ඇමැති රාජිත සේනාරත්න ය.

රටම සහ ලොවම පිලිකුලෙන් හෙලා දකින ඒ දෝශාභියෝගයේ එක් ප්‍රධානියකු වූයේ ද මේ රාජිත සේනාරත්නය. ඔහුට එම අවස්ථාවෙහි ආත්ම ගරුත්වයක් සහ පිට කොන්දක් තිබුනේ නම් ඊට සහභාගි නොවී සිටිය යුතුව තිබුණි.

මහින්ද රාජපක්ෂ අගවිනිසුරුවරියට විරුද්ධව ක්‍රියාවට නැංවූ කැකිල්ලේ දෝශාභියෝගයේ එකම වරද ලෙස රාජිත සේනාරත්න දකින්නේ අවශ්‍ය තරම් කාලයක් නොදීම පමනි. දේශීය සහ අන්තර් ජාතික නීති ප්‍රජාව විසින් පිළිගෙන ඇති පරිදි සමස්ත දෝශාභියෝග ක්‍රියාවළිය එහෙම පිටින්ම වරදක් ලෙද රාජිත සේනාරත්න පිළිගන්නේ නැත.

සැබැවින්ම නම් රාජිත සේනාරත්න විසින් කළ යුතුව තිබුණේ එකි අනීතික සහ නින්දිත දෝශාභියෝගයේ ප්‍රධානියකු ලෙස සිටීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරුවරියගෙන් සමාව යැදීම ය. ඒ වෙනුවට ඔහු කියන්නේ සමහර චෝදනා සාධාරණ බවය. එසේ නම් ඒ චෝදනා දැන් අධිකරණයකට ඉදිරිපත් කිරීම රාජිත සේනාරත්න විසින් කළ යුතු ය. මන්ද යත් ඔහු පෙනී සිටින්නේ අපරාධකරුවන්ට දඩුවම් දීමට පොරොන්දු වී සිටින ආණ්ඩුවක ප්‍රකාශක ලෙස නිසා ය.

පෙනෙන්නට යන විදිහට නම් කට ඇරී සෑම අවස්ථාවම කකුල කටේ දා ගත් හිටපු ආණ්ඩුවේ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ලට තරඟයක් දීමට රාජිත සේනාරත්නට ඉක්මනටම හැකි වීමට ඉඩ තිබේ. ඔහු කටේ කකුල් දෙකම දා ගන්නවා ඇත.

එළඹෙන මහා මැතිවරණයෙන් පසු හෝ වැදගත් දේශපාලනඥයකු ආණ්ඩුවේ ප්‍රකාශක ලෙස පත් කර ගතහොත් ආන්ඩුවට අනවශ්‍ය හිසරද නැතිව ටික කාලයක් හෝ ගමන් කරන්නට හැකි වන්නට ඉඩ තිබේ.

මේ චෝදනා එල්ල කරන රාජිත සේනාරත්නගේ අනීතික ජාවාරම් පාර්ලිමේන්තුවේ ද රුව් පිලිරුව් දුන් ඒවා ය.

පසු සටහන: රාජිත සේනාරත්නගේ මෙම දුෂ්ඨ ප්‍රකාශය ගැන නිතිවේදී පිරිස් කියන්නේ කුමක් ද?

 

Archive

Latest news

Related news