Friday, April 19, 2024

ලසන්ත ඝාතනයට ගෝඨාභය සම්බන්ධයි – ඇමැති රාජිත

(රවිරාජ් ඝාතකයින් දන්නවා)

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් ඝාතනය පිළිබඳ සියලු තොරතුරු පොලීසිය සතුව ඇති බවත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

ලසන්ත විකමතුංග ඝාතනයට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා එල්ල කරන චෝදනාව සත්‍ය බවට තොරතුරු තිබෙන බවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී පැවසුවේය

 

කුමන්ත්‍රණය

ජනපතිවරණයෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ බව පැවසෙන කුමන්ත්‍රණය ව්‍යවර්ථ කිරීමට පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය ගත් ක්‍රියාමාර්ගය ඇමතිවරයාගේ ප්‍රසංශාවට ලක් විය.

පොලිස් දෙපාර්තමේන්තුව ගැන සඳහන් කළ ඔහු ප්‍රකාශ කළේ පොලීසියේ තමන්ට වඩා දක්ෂ දේශපාලකයන් සිටින බවයි.

“ඒ කට්ටියට ඕන නම් සුට් එක ගලවල එන්න කියල, අපි හොඳ නිලධාරීන්ව දෙනවා පොලිස් සේවය ඉදිරියට ගෙන යන්න. පොලීසියේ උඩ සිට පහලටම වෙනස් කරනවා,” අමාත්‍යවරයා පැවසුවේය.

පොලිස්පතිවරයා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න, සියලු දුෂ්කරතා මධ්‍යයේ වුවත් පොලිස්පතිවරයා ඉතාමත්ම අවංක සේවයක් ඉටු කළ බව පැවසුවේය.

‘කැලෑ ආණ්ඩුවක්’

දුෂිත නිලධාරීන්ට නව රජය රැකවරණ ලබා දෙන්නේය යන චෝදනාවට පිළිතුරු දුන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ ‘කැලෑ ආණ්ඩුවක්’ ආණ්ඩුවක් ලෙස රජයට ක්‍රියා කල නොහැකි බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නීති පද්ධතියට යටත්ව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ඔහු ‘කැලෑ ආණ්ඩුවක්’ ආණ්ඩුවක් ලෙස රජයට ක්‍රියා කල නොහැකි බව ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දුෂණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ කලින් සිටි නිලධාරියාම බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔහුට විරුද්ධවත් පැමිණිලි තිබෙන බව පැවසුවේය.

එහෙත් ඔහු ඉවත් කිරීමට නෛතික බලයක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ අලුත් කොමිසමක් පත් කිරීම හැරෙනවිට වෙනත් බලයක් නොමැති බවයි.

වෙනස් කළ හැක්කේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පමණක් බවයි ඔහු පැවසුවේ.

(ලිපියේ මාතෘකාව:ලසන්ත ඝාතන තතු දන්නවා – රාජිත)

– බීබීසී සිංහල

Archive

Latest news

Related news