Thursday, April 25, 2024

රජුන් තැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කඩුලු – රංජිත් හේනායකආරච්චි

ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තවමත් බලය තම අතට ගැනීමට මාන බලයි. ඔවුන් ඒ සඳහා උපක්‍රමය ලෙස යොදාගෙන ඇති ප්‍රධානම දෙය වන්නේ ජාතිවාදය අවුළුවා එතුලින් සමාජය තුල ඇතිකරන සාපරාධී කුපිතකරවීම් තුලින් සමාජ අස්ථාවරත්වයක් ඇති කිරීමයි. එසේ ඇතිවන සමාජ ව්‍යාකූලත්වය නැමැති බොර දියේ බලය නැමැති මත්ස්‍යා අල්ලා ගැනීම ඔවුනගේ පරමාර්ථය වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා තමා රජකු නොවන බවත් සාමාන්‍ය මිනිසෙකු බවත් පත්තිරිප්පුවේ කස්තිරම් නොඅල්ලා ඉන් පිටත වේදිකාවේ සිට ජාතිය ඇමතීමේදී පැවසීය. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාටද ස්ත්‍රෝත්‍ර ගායනා කිරීම දැන් ඇරඹී ඇත. ඔහුට සෙත් පතා පිංකම් කිරීමද, රජරටින් පැමිණි රජෙකු ආදී වශයෙන් ඇමතීම්ද බොහෝ විට දැකිය හැකිය.

මහින්ද බලයට එනවිටම ඔහුට චින්තනයක් පහල කරනු ලැබ ඔහුව ඔහු නොදන්නා චින්තකයෙකු බවට අන්දවනු ලැබීය. අවසානයේ ඔහු වටා රැස්වූ ආවතේවරුකවන් ස්ත්‍රෝත්‍ර ගයමින් ඔහුව රජෙකට අන්දවා පාවඩ එලීය. තමන් නොදන්නා චින්තනයකට හිමිකම් කියූ මහින්ද මේ තුලින් තමාම ස්වයං මෝහනයකට පත්විය. රජෙකු යටතේ පමනක් නොව ගමක ආරච්චිල යටතේ වුව ජීවත්වීම පතන දීන මිනිසුන් කොටසක්ද ලංකාවේ සිටිති. ඔවුන්ට තම දීන මනස නිසාම කුමන හෝ උතුමකු තම පැවැත්මට අවශ්‍යය. නිදහස් මිනිසුන් ලෙස සිතන මනසකට හුරු කර නැති ඔවුන් සැමදා වන්දි භට්ටයන් ලෙස බත්බැලයන් ලෙස ජීවත්වීමට හුරුව ඇත. කපටීන් සහ වංචාකාරයින් විසින් තම මඩි තරකර ගැනීම සඳහා රජෙකු ලෙස ඇන්දවූ මහින්ද වන්දිභට්ඨ මනසක් ඇති මිනිසුනට මහත් සම්පතක් විය. ස්වාධීන මනසක් නැති අදීන මිනිසුන් වීම ඔවුනට අපහසු දෙයකි. තමා වෙනුවෙන් සිතන අයෙකු සිටීම ඔවුනගේ අවශ්‍යතාවයකි.
ලංකාවේ බුද්ධාගම පවතින ආකාරයද ඔවුන්ව මේ තත්වයට පත්කිරීමට ඉවහල්ව ඇත. බුදුන්ගේ දර්ශනය ප්‍රගුණ කර ආදරය, කරුණාව, මෛත්‍රිය වඩා තණ්හාව ක්ෂය කිරීම තුලින් තම විමුක්තිය සොයනු වෙනුවට පන්සල්වලින් ඔවුනට හුරු කර ඇත්තේ මල්වට්ටියක්, බත් මුට්ටියක් පූජාකර නිවනට යන ක්‍රමයක්ය. මේ නිසාම තම විමුක්තිය රජෙකුට වැඳ නමස්කාර කර ලබාගැනීමට ඔවුන් සූදානම්ය. දැන් මහින්ද ‘රජ‘ වියෝවෙන් මොවුන් හඬති. වැලපෙති. ‘මරා හෝ බලය ගන්නැයි’ අයදිති.

මේ අතරම මහින්දට ස්ත්‍රෝත්‍ර ගැයූවන් දැන් මෛත්‍රීට ස්ත්‍රෝත්‍ර ගැයීම අරඹා ඇත. ඔවුන් පැරනි ගී තනුවට අළුත් වචන එකතුකරමින් සිටිති. එතුලින් තම බඩ වඩාගැනීමටසූදානම් වෙති.

දූෂණය, වංචාව පිටුදැකීමට , ප්‍රජාඅයිතීන් තහවුරු කිරීමට, වැඩ පිලිවෙලක් සකස් කිරීම වෙනුවට ඔවුන් මෙම ජයග්‍රහණයද ඔවුන්ගේ පුද්ගලික උවමනාවන් දෙසට යොමු කර ගැනීමට

උත්සාහ කරති.

එසේම තවත් කණ්ඩායමක් මේ සියල්ල දෙස පැත්තකට වී බලාසිටියේ ‘මේ කොයික ආවත් එකයි’, ‘එකම කාසියේ දෙපැත්තය’ ආදී දේ පවසමිනි. ඔවුනට අනුව පූර්ණ (ශුද්ධවූ) ජයග්‍රහණය ලබන තුරු අතරමැද දේ ඔවුන් ලග නොමැත. උපහාසය මුසුව දැන් මොවුන් බලා සිටින්නේ ‘දෙන්නම් බැටේ’ යන සිතුවිල් පෙරදැරිකරගෙනයි. ලබන සෑම පරාජයකදීම ‘අපි ඕක කිව්වා’ කියමින් සතුටින් දෑත් එකට මිරිකීමට ඔවුන් බලා සිටී. මේ සමාජ බලවේග දෙක අතර ඇති වෙසනක් නැති තරම්ය. එකක් එක කොණක සිටින දීනයන් වන අතර අනෙක් කොටස ශුද්ධවූ වෙනසක් එනතුරු බලා සිටී. අවසාන විග්‍රහයේදී මේ දෙකොටසම ප්‍රතිගාමීත්වයට ජයලබා ගැනීමට ඉඩ හරිති. දෙවනුව කී කණ්ඩායම මෙය වෙනස් කළ යුතු බව පිළිගනී. නමුත් එය වෙනස් කිරීමේ කොටස් කරුවන් නොවීමට වගබලා ගනී. ශුද්ධ වූ වෙනසක් නැති තැන තම කන්‍යාභාවයට හානි වේ යැයි සිතමිනි.

ලෝකය තුල කොතැනක හෝ මෙතෙක් ලද දේශපාලන ජයග්‍රහනයන්, අයිතීන් දිනා ගැනීම සිදුවූයේ ක්‍රියාත්මකව මැදිහත්ව කරන දේශපාලනය තුල බව දේශපාලන මිනිසුන් දනිති. වෙනස් ඇති කිරීම ක්‍රියාත්මක සහභාගීත්වය තුලින් පමණක් කළ හැකි දෙයකි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට කරන අරගලවල සියළු බලවේගයන්, සමාජ පන්තීන් එක්ව ගමන් කරති. එනිසාම එවැන් බලවේගයන් ජයගත්විට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා ඇති කරන වෙනස් වීමකට සමාජයක් ගමන්කරවීමට ඇති ඉඩකඩ මහත්ය. නමුත් ප්‍රගතිශීලී බලවේගයන් පැත්තකට වී බලාසිටීම තුල සිදුවන්නේ සිදුවිය හැක්කේ එම ජයග්‍රහණයන් පරදමින් ප්‍රතිගාමීත්වය ජයග්‍රහණය ලබා ගැනීමයි.

අද ලංකාව තුල සිදුවී ඇත්තේ මෙතෙක් ලංකා ඉතිහාසය තුල සිදුනොවූ වෙනසකි. මෙය 1994 අත්දැකීම් වලට සමවූවා වුවත් අද සිදුවී ඇත්තේ එයම යැයි වටහා ගන්නවානම් අපගේ විග්‍රහය නිවැරදි නොවනු ඇත. පැවති කෘර, දූෂිත, අර්ධ ෆැසිස්ට් සහ වැඩවසම් කල්ලියේ පාලනයට එරෙහිව විවිධ සමාජ බලවේගයන් එක පෙළකට සිටගෙන ඇත. එතුල දැන් පැහැදිලි අරගලයක් පවතී. මේ බලවේගයන් අතර ඇතිවන අරගලය තුල ප්‍රතිගාමී කොටස තමන් අතට බලය ගැනීමට උත්සාහ කරන අතර ප්‍රගතිශීලී බලවේගයන් මෙම ජය ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙතට යොමුකර ගැනීමට අරගල කරති.

මේ මොහොතේ සෑම ප්‍රගතිශීලී කොටසකම යුතුකම වන්නේ මෙම බලවේග සමග එක්ව එයට මැදිවී එය සහාය දෙමින් මෙම ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම දෙසට ගමන් කරවීමට උත්සාහ කිරීමයි. ප්‍රගතිශීලී බලවේග එයින් ඉවත්ව තම දෑත් බැඳගෙන එදෙස බලා සිටී නම් එතුල ප්‍රතිගාමී බලවේගයන් ජයගනු නොවැලැක්විය හැක. ප්‍රගතිශීලී යනු, වමේ දේශපාලනය යනු ගල්පැලෙන අපභ්‍රන්ස දෙසමින් ප්‍රතිගාමීත්වයට බලය අල්ලා ගැනීමට ඉඩහැර බලාසිටින ඔල මොල දේශපාලනය නොව සියලු සාමජ අරගලයන්හි කොටස් කරුවන් වී එතුලින් සමාජ ඉදිරි ගමනට දිනා ගත හැකි අවමය වත් දිනා ගැනීමකටයි. මෙම ජයග්‍රහණයන් තුල අයිතීන් කොටසක් හෝ දිනා ගැනීමට උත්සාහ කිරීමටයි.

උතුරේ දෙමළ ජනයා ලංකාවේ මෙන්ම පිටත සිටින ලාංකිකයිනට හොඳ උදාහරණයක්, හොඳ පිලිතුරක් මෙම ජනාධිපතිවරණයේදී ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයේ ඇති වටිනාකම පහදා දී ඇත. ලංකාවේ සිංහල බලවේග ජනාධිපති සටනේදී උතුරේ ප්‍රශ්න ගැන වචනයක් කතා නොකලා වුවත්, උතුරුකරයේ අන්තගාමී කණ්ඩායම් උතුරේ ජනයාට ඡන්දය දීමෙන් වැලකී සිටින ලෙස කීවා වුවත්‍, රටෙන් පිට සිටින අන්තවාදීන්ද එවැනිම වර්ජනයක් ඉල්ලා සිටිනු ලැබුවා වුවත්, ඡන්ද පොලවලට යාමට රජයේ හමුදා මගින් නොයෙක් බාධා ඇතිකලා වුවත්, උතුරේ ජනයා තමනට ඡන්දය දීමට ඇති අයිතිය තහවුරු කරමින් සියළු බාධක අභිබවමින් කෙසේ හෝ ඡන්දපොලවලට ගොස් තම ඡන්දය ෆැසිස්ට්, ඒකාධිපති, වර්ගවාදී ආණ්ඩුව පැරදවීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමටත් තමන්ට ඇති වුවමනාව තම සහභාගීත්වය මගින් පෙන්වනු ලැබීය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දකුණේ ඇති වෙන්නේ නම් එයින් කොටසක් හෝ උතුරටද අයිති වන බව ඔවුන් දනිති. උතුරුකරයේ දෙමළ ජනයා මෙවර තම ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා පාවිච්චි කර ඇත්තේ එනිසාය. මෙම ජයග්‍රහණයෙන් පසු වහාම තම සියළු ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බව ඔවුන් හොඳින් දනී. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීම තුල දීර්ඝ කාලීනව තම අයිතීන් ද ජයග්‍රහණය කරගැනීමට ඇති දොරටු විවර කර ගැනීමක් ඔවුන් මෙතුලින් සිදු කර ඇත. තම ඡන්දය පාවිච්චි කරමින් ඔවුන් දෙන මෙම පණිවිඩය සිංහල ජාතිවාදය පමණක් නොව දෙමළ ජාතිවාදී අන්තවාදීන්ද වටහා ගත යුතුව ඇත.

සියළුම ප්‍රගතිශීලී බලවේගයන්හි යුතුකම ලද ජය අයිතීන් තහවුරු වන ප්‍රජාතන්ත්‍රීය වෙනසක් සඳහා ගමන් කරවීමට එක්වීමයි. ‘අපි බලන් ඉන්නෙ කරන හැටි’ යන ලාංකිකයාට හුරු ඔහේ බලා සිටීමෙන් ජයග්‍රහණයන් අත්පත් කර ගත නොහැක. ඔරුව ගඟේ ගසාගෙන යන්නේ නම් කළ යුත්තේ තමනුත් හබලක් ගෙන පදිනවුනට සහාය දී එය නිවැරදි ලෙස එගොඩට පැදීමට එක්වීම මිස පදිනවුන් දෙස අත්බැඳගෙන බලාසිටීමෙන් නොවන බව ප්‍රගතිශීලීන් නම් ඔවුනට වැටහිය යුතුය.

ආසියාවේ ආශ්චර්ය වැනි ඉන්ද්‍රජාලයන් තුලින් ගිනි කන වට්ටා තිබූ සමාජයකි සැබෑ ජයග්‍රහණය සඳහා මෙහෙයවිය යුතුව ඇත්තේ. සහමුලින්ම වාගේ දූෂණයට සහ බලහත්කාරයට යටත්කර තිබූ සහ ඇති සමාජයක්, රාජ්‍යක් ඉන් මුදවා ජනතාවගේ පරමාධිපත්‍ය ඇති රටක් දෙසට මෙහෙයවිය යුතුව ඇත. එය පහසු කරුණක් නොවන්නේ මේ රාජ්‍ය යන්ත්‍රයම එකම දූෂිත හොර ගුහාවක් බවට පත්කර ඇති බැවිනි. අඩු වැඩි වශයෙන් සෑම නිලධාරියෙකුම පාහේ එහි කොටස් කරුවන් බවට පත්කර ඇත.

දේශපාලනයේදී ආශ්චර්යන් සිදුනොවේ. මෙවැනි රටක් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගෙනයාමේදී එය ඉතා සීරුවෙන්, මහත් ඉවසීමකින් කළමණාකරණය කළ යුතුව ඇත. විශේෂයෙන්ම විවිධ කණ්ඩායම්වල, විවිධ සමාජතලවල, එකතුවක් තුල ඇතිවී ඇති මෙම බලවේගයන් අර්බුදයකට නොයා ජයග්‍රහණය වෙත මෙහෙයවියය යුතුව ඇත. දූෂනයට ලක්කර ඇති රාජ්‍යක් තුල ඉතා ශුද්ධවූ යමක් බලාපොරොත්තු වීම නොකළ යුතු දෙයකි. මෛත්‍රීපාල ඇතුළු කණ්ඩායම මේ වන විට මේ විවිධ බලවේගයන් අගනා අයුරකින් කළමණාකරණය කරමින් පවතින බව පෙනේ. අඩුපාඩු ඇතිවීම සාමාන්‍ය දෙයකි. එම අඩුපාඩුවලට විවේචන ඉදිරිපත් කරමින් නව ජනාධිපතිවරයාට දෙන සහාය තුල පමනි සැබෑ ජයක් රටට ළගා කර ගත හැකි වනුයේ. සතුරු බලවේගයන් බලය ඩැහැ ගැනීමට තාමත් මාන බලති. ඔවුන් පිටු දකිමින් මෙම ජයග්‍රහණය ආරක්ෂා කර ගත යුතුව ඇත.

නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම‍.
දූෂණයන් පිටු දැකීමට හා එලිකිරීමට ක්‍රමවේදයන් සකස් කිරීම.

අනෙකාගේ නිදහස සහ අයිතිය තහවුරු කිරීම තුල තමාගේද අයිතීන් තහවුරු කරන බව වටහාගෙන සැමෙකාගේම අයිතීන් තහවුරු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම ආදී ක්‍රියාදාමයන් වෙත අප යොමුවිය යුතුව ඇත්තෙමු. ලද ජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා මෙහෙයවමු.

අයිතීන් දිනා ගන්නා තුරු අරගලය අත්නොහරිමු.

 

රාජිත් හේනායකආරච්චි

 

 

 

 

රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news