Friday, April 26, 2024

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරෙයි

කැෆේ මැතිවරණ වාර්තා අංක 64

නිකවැරටිය
නිකවැරැටිය දිවුල්වැව ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවකුගේ නිවාස 2කට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නිකවැරැටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර එක් නිවෙසක ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට අලාභහානි සිදුව ඇත.
නිකවැරටිය ගලගෙදර දිවුල්ලෑවේ එච් එම් හේරත් බණ්ඩා සහ එම ප්‍රදේශයේම පදිංචි ඒ ඩී මුදියන්සේ යන එජනිස ආධාරකරුවන්ගේ නිවෙස් වලට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ජනවාරි 10 වන දින රාත්‍රී 8 ට පමණ යතුරු පැදියකින් ආ දෙදෙනෙක් සිය පපුවට තුවක්කුව තබා “‍තොපි ජොනීගේ ගෝලයෝ නේද?” යනුවෙන් අසමින් නිවසේ ජනේලයට වෙඩි තැබු බව එච් එම් හේරත් බණ්ඩා කියයි.තවද මෙම මැර පිරිස එම නිවසේ තිබු වෑන් රථයටද වෙඩි තබා තිබේ.

හලාවත
ජනවාරි 10 වැනිදා දහවල් හලාවත – බංගදෙණිය,කුම්බුට්ටිකුලිය ප්‍රදේශයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුව කපා කොටා ඝාතනය කර ඇත.

මිය ගොස් ඇත්තේ බංගදෙණිය – කුම්බුට්ටුකුලිය පදිංචිව සිටි මංජුල ප්‍රසන්න නම්වූ තිදරු පියෙකි.

සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.රෝහල් ගතවී ඇති අය අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි.
මිය ගොස් ඇති අය ඇතුළු තවත් කීප දෙනෙකු 10 වැනිදා දහවල් බංගදෙණිය මංසන්ධියේ සිට කුම්බුට්ටුකුලිය ප්‍රදේශය දක්වා ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටින විට කඩු පොළු සහිතව පැමිණ ඇති පිරිසක් ඔවුන්ට පහර දී ඇත.තුවාල ලබා සිටි දෙදෙනෙකු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇතත් එක් අයෙකු මිය ගොස් ඇත.තවත් අයෙකු සුළු තුවාල ලබා ඇත.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පිරිසක් බව පොලීසිය කියයි.

පුත්තලම
ජනවාරි 10 වැනිදා අළුයම 3.00 ට පමණ පුත්තලම – මස්ජීඩ් පාර පදිංචිකරුවෙකු වන මොහොමඩ් අසාද් යන අයගේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පසුගිය මැතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය පල කළ මොහොමඩ් අසාද් මහතා එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම ආසනයේ සම සංවිධායකවරයාගේ පුද්ගලික ලේකම්වරයා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසියට පැමිණිලි ලැබීමෙන් පසුව සිදු කරන ලද විමර්ශණයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පුත්තලම නගරයේ පදිංචිකරුවන් තිදෙනෙකුවය.ඔවුන් පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස් මහතාගේ සමීපතයින් පිරිසකි.

බිබිල
බිබිල ප්‍රාදේශිය සභා එජනිස මන්ත්‍රී බුද්ධික සෙනවිරත්න පාසැල් සිසුවෙකු ට පහරදී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය සමරමින් පත්තු කළ රතිඤ්ඤා කරලක් තම ගෙවත්තට වැටීම නිසා මෙම පහරදීම සිදුකර ඇත.
මෙම මන්ත්‍රීවරයා සිය හෙල්මටයෙන් එම සිසුවාට පහර දී තිබේ.මෙම පහරදීම සිදුකළ බුද්ධික සෙනෙවිරත්න අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබේ.පහර කෑ දරුවා රෝහල් ගතවී සිටී.

බදුරලිය
පොදු අපේක්ෂකයාට සහය පළ කල බදුරලිය කඹුරාවෙල පදිංචි චමින්ද නැමැත්තෙකුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ජනවාරි 10 වන දින රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

පාලින්දනුවර
පාලින්ද නුවර එක්සත් ජානතා නිදහස් සන්ධාන ප්‍රදේශිය සභා මන්ත්‍රී එම් පුෂ්පා මහතාට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ජනවාරි 10 වන දින එල්ල වු මෙම ප්‍රහාරයෙන් පසු මන්ත්‍රීවරයා බදුරලිය රෝහලට ඇතුළත් කර තිබේ.

තලාතුඔය
මහනුවර තලාතුඔය කිවුල් ලිද ප්‍රදේශයේදී ජනවාරි 8 වනදා රාත්‍රියේ හේවාහැට ශ්‍රිලංනිප සංවිධායකගේ සොහොයුරා මැර ප්‍රහාරයකට ලක්වී තිබේ.මෙම පුද්ගලයා මේ වනවිට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දඹුල්ල

ජනවාරි 10 වන දින දඹුල්ල නගරයේ සුළු වෙළදාම් වල නිරතවී සිටි පිරිසට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.එම ස්ථානවල වෙළදාම් කිරීමට නොහැකි බව දන්වා එම පිරිස බලහත්කාරයෙන් ඉවත් කිරීමට මෙම මැර කණ්ඩායම උත්සහ දරා ඇත.පසුව දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර මැදිහත් වී සිද්ධිය ව්‍යාර්ථ කර තිබේ.

වත්තල
වත්තල ප්‍රාදේශිය සභාවේ එජනිස මන්ත්‍රී සනත් පියසිරි මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී ඇත.රාගම මත්තුමහල ගුණසේකර මාවතේ පිහිටි මෙම නිවසට ජනවාරි 10 වනදා රාත්‍රියේ කඩා වැදුනු පිරිසක් නිවසේ දොර ජනෙල් වල විදුරු කඩා මෝටර් රථයකට සහ යතුරු පැදියකට අලාභ හානි සිදුකර ඇත.

බුලත් කොහුපිටිය
යටියන්තොට පුනහැල ශ්‍රි ල නිප ආධාරකරුවෙක් වන කාරියවසම් නැමැත්තාට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම මැර පිරිස කාරියවසම් මහතාගේ නිවසට ගොස් එහි සිටි තිදෙනෙකුට පොලු වලින් පහර දී ඇත.ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බුලත්කොහුපිටිය සංවිධායක වරයා වන සුමිත් හෙට්ටි ආරච්චි ගේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

යටියන්තොට
යටියන්තොට ශ්‍රීලංනිප ආසන සංවිධායක ශ්‍රිලාල් වික්‍රමසිංහ ගේ නිවසට කඩා වැදුන පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු තිදෙනෙක් කරවනැල්ල රෝහලට ඇතුලත් කර ඇත.

මෙ ප්‍රහාරය යටියන්තොට එජාප සංවිධායක සුජිත් සංජය පෙරේරා ඇතුළු පිරිසක් විසින් එල්ල කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.‍

මිහින්තලය
ජනවාරි 9 වනදා මිහින්තලය පලුගස්වැව කටුකැලියාව ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයෙකු තල්ලු කිරීමෙන් බිම ඇද වැටී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ කටුකැලියාව පදිංචිකරුවෙකු වන 57 හැවිරිදි ආර්. සෙනවිරත්න නැමැත්තෙකි. බහින්බස්වීම අතරතුර තල්ලු කිරීම නිසා ඔහු ඇද වැටී රෝගාතූරව ප්‍රතිකාර සදහා මිහින්තලය රජයේ රෝහල වෙත ගෙනයද්දී මියගොස් ඇත.

සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පලුගස්වැව නව නුවර පාර මිහින්තලය ලිපිනයේ පදිංචි ඇලඩින්ගේ විමලසිරි (52) යන අය මේ මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රත් අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසුරීය මහතා නියෝග කලේය.

තලාතුඔය
හේවාහැට එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායිකා ශාන්තිනි කොන්ගහගේ මහත්මියට ජනවාරි 11 රාත්‍රි මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.

ජනාධිපතිවරණ ජයග්‍රහණය හා මැතිවරණයට පෙර පත්වූ හේවාහැට නව එ.ජා.ප. ප්‍රධාන සංවිධායිකා ශාන්තිනි කොන්ගහගේ මහත්මිය පිළිගැනීමේ උත්සවයක් ජනවාරි 11 වන දින මාරස්සන උඩුදෙණිය ප්‍රදේශයේ පැවති අතර එතැනට කඩා වැටුනු පාත හේවාහැට ප්‍රාදේශිය සභාවේ සභාපති හා හේවාහැට එ.ජා.ප. සම සංවිධායක ආර්.එම්.කේ.එස්.බි. රාජනායක සහ ඔහුගේ පිරිසක් විසින් මෙම මැර ප්‍රහාරය එල්ල කොට තිබේ.

පොලු මුඟුරු ආදියෙන් එල්ල කල ප්‍රහාරයෙන් ශාන්තිනි කොන්ගහගේ මහත්මිය හා එම උත්සවය සංවිධානය කළ රිෂාඩ් මොහොමඩ් ෆයිසාල් මහතා තුවාල ලබා පේරාදෙණිය මහ රෝහලට ඇතුලත් කර ඇත. මෙම සිද්ධියෙන් වාහන හා දේපල රැසකටද අලාභ හානි සිදුවී ඇත.
ප්‍රාදේශීය සභා සභාපතිවරයා සැගවී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත. සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇත.

නිකවැරටිය
ජනවාරි 10 වනදින නිකවැරටිය ප්‍රදේශයේදී එජනිස ආධාරකරුවන් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ.මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් එජාප ආධාරකරුවන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

Archive

Latest news

Related news