Friday, April 26, 2024

ආණ්ඩුවෙන් මැර ප්‍රහාර, හමුදාව ජන්ද වැඩට, කාර්යාල බිද දැමීම් සහ ටයර් අල්ලස්

කැෆේ මැතිවරණ වාර්තා අංක 55-

2015 ජනවාරි 2 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1029 කි. එයින් 105ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 924 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

බෙලි අත්ත එජාප සම සංවිධායක වරයාගේ නිවසට මැර ප්‍රහාරයක්.

බෙලි අත්ත එජාප සම සංවිධායක විමල් ජයසිරි මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.ජනවාරි 01 රාත්‍රි 9.00 ට පමණ බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට කඩා වැදුන පිරිසක් එම නිවසේ තිබු ගෘහ භාණ්ඩ කඩා බිඳ දමා අහසට වෙඩි තබා පලාගොස් ඇත.මොවුන් කඩා වදින විට බියට පත්වු නිවැසියන් නිවස අත්හැර පළාගොස් තිබේ.

දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රී එම්. කේ කසුන් ගේ ආධාර කරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ බව විමල් ජයසිරි මහතා කියයි.

මැතිවරණ වේදිකාවක් ඉදිකිරීම සඳහා හමුදා භටයින් යොදාගැනීම.

ජනවාරි 2 වනදා වවුනියාව යංග් ස්ටාර් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එජනිස ප්‍රචාරක රැළියක වේදිකාව ඉදිකිරීම සඳහා හමුදා භටයින් යොදාගෙන ඇත.

ජනවාරි 1 වනදා හමුදා ට්‍රක් රථ 6 කින් පැමිණි හමුදා භටයින් මෙම වේදිකාව ඉදිකළ බවට කැෆේ සංවිධානය වෙත වාර්තා වෙයි.

මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස ටයර් බෙදාදීම පිළිබඳව

එජනිස ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කරන ලෙස දන්වා ත්‍රීරෝද රථ සඳහා ටයර් බෙදාදීමක් ගාල්ල බටදුව රතනජෝති විද්‍යාලය ඉදිරිපිට සිදුකර තිබේ.‍

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ‍ජනවාරි 1 වනදා මෙම ටයර් බෙදාදීම සිදුකර ඇත.එමෙන්ම මෙම ස්ථානයේදී රුපියල් ලක්ෂයක නිවාස ණය මුදලක් ලබාදීම සඳහා ලියාපදිංචි කිරීම ද සිදු කර ඇති බවට කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

ආණමඩුවේදී පොදු අපේක්ෂක ආධාර කරුවන්ට ප්‍රහාර

ආණමඩුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායකවරයාට ප්‍රහාරයක් එල්ල වී ඇත.ආණමඩුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක එම් ජේ ප්‍රේමසිරි මහතා ඇතුළු පිරිසක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආනමඩුව නගරයේ රැලියකට සහභාගි වී ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.

මුන්දලම මහකුඹුක්කඩවල ප්‍රදේශයේදී කැබ් රථයකින් පැමිණි පිරිසක් තමන්ට පහර දුන් බව ආණමඩුව විපක්ෂ නායකවරයා කියයි.

මෙම ප්‍රහාරයෙන් ආණමඩුව විපක්ෂ නායක වරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් ඇත.

පුත්තලමේ පොදු අපේක්ෂක කාර්යාල කඩා දමයි

පුත්තලම කරුවලගස්වැව සහ ආණමඩුව යන ප්‍රදේශවල පිහිටි පොදු අපේක්ෂක කාර්යාල දෙකක් කඩා බිඳ දමා ඇත.

කරුවලගස් වැව අළුත්ගම සහ ආණමඩුව ගරායක්ගම පිහිටි කාර්යාල දෙකක් මෙලෙස කඩා බිඳ දමා තිබේ.

ජනවාරි මස 01 වැනිදා සවස 5.45 ට පමණ අංක තහඩු රහිත සුදු පැහැති ජීප් රථ 01 ක් සහ කළු පැහැති ජීප් රථ දෙකක් පැමිණ ඇත.එක් ජීප් රථයක සිට ඇත්තේ වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාය.ඔවුන් විසින් ආණමඩුව – ගරායක්ගම පදිංචි අජිත් උදය කුමාර යන අය විසින් ඔහුගේ නිවස ඉදිරිපිට පවත්වාගෙන ගිය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අයත් පක්ෂ කාර්යාලය කඩා දමා එහි තිබූ කටවුට් 03 කට අලාභ හානි සිදු කර ඇත.

ඊට පැය කිහිපයකට පසු එනම් රාත්‍රී 7.40 ට පමණ මෙම පිරිස එම වාහන වලින්ම කරුවලගස් වැව අළුත්ගම ප්‍රදේශයට ගොස් සාලියවැව – 17 කණුවේ පදිංචි අලහෙන්ද්‍ර ආරච්චිගේ ආරියරත්න යන අයට අයත් ඉඩමේ‍ පවත්වාගෙන ගිය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසෙන මහතාට අයත් පක්ෂ කාර්යාලය කඩා වැදී එහි තිබූ කටවුට් 03 කට හා පුටු වලට අලාභ හානි සිදු කර ඇත.

ජනිස පහරදීමකින් ජවිපෙ ආධාරකරුවෙක් රෝහලේ

පෝස්ටර් අලවමින් සිටි ජවිපෙ ආධාරකරුවන් පිරිසකට එජනිස ආධාරකරුවන් විසින් රිදිගම දී ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙහිදී යකඩ පොලු වලින් පහර දීම නිසා බරපතල තුවාල ලැබු සාලිය වසන්ත කුමාර නැමති ජවිපෙ ආධාරකරුවෙකු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

දෙසැම්බර් 29 වනදා රාත්‍රී 11 50 ට පමණ රිදීගම නගරයේ පෝස්ටර් අලවමින් සිටියදී නිල් බලකාය යනුවෙන් සඳහන් ටීෂර්ට් ඇඳගත් පිරිසක් තමන් ඇතුළු පිරිසට පහර දුන් බව සාලිය වසන්ත කුමාර මහතා කියයි. (ඡායාරූප අමුණා ඇත)

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය

2014 දෙසැ. 29

Archive

Latest news

Related news