Friday, April 26, 2024

කුමාර් ගුනරත්නම්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

(කුමාර් ගුනරත්නම් මැජික්)

ටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට නම් තේරුම් ගියේ මුට්ටිය දමා ඇති බවයි. එය සැබෑ කරමින් කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ ඇත‍. ඉතිං මෙය දුටු විට අප කුමක් කියන්නද? අප දන්නා පරිදි රටක් තුල නීතිවිරෝධීව සිටීම ගැන වරදකරුවෙකු කර රටින් පිටුපහල් කළ අයෙකුට තබා රටකට වීසා අයදුම්කර වරක් ප්‍රතික්ෂේප වූ අයෙකුට පවා නැවත වීසා ඉල්ලීමට හැකි වන්නේ වසර 3 ක් ගතවූ පසුය.

නමුත් රටින් පිටුවහල් කළ ඒවාගේම දේශපාලන හේතූන් ඇතුව පිටුවහල් කළ අයෙකුට නැවත රටට ඒමට අවසර ලැබී තිබේ. මේ අනුව පෙරටුගාමීන් අපට කියා සිටින්නේ ලෝකයේ අන් රටවල් මෙන් නොව ලංකාව තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක් බවකි. දේශපාලන සහ නීතිමය හේතූන් මත වැරදිකරුවෙකු කර රටින් පිටුවහල් කළ අයෙකුට නැවත රටට ඒමට ආසියාවේ ආශ්චර්ය නැමැති ප්‍රජාතන්ත්‍රවාදය ඉඩ දී ඇත කියායි. මෙවැනි ආශ්චර්යක් සිදුව ඇත්තේ ලංකාවේ පමනි.

මේ ආකාරයේ තුට්ටු දෙකේ කතා මොවුන් රටක ජනයාට කියන්නේ රටේ ජීවත්වන ජනයා තණකොල කන හරකුන් කියා සිතාගෙනද? පසුගිය වකවානුව පුරාම මහින්ද සහ ඔහුගේ සහචරයන් ලංකාවේ ජනයා මෝඩ රැළක් ලෙස ගනිමින් මෙවැනි කතා සහ ක්‍රියාවන් එකක් පසුපස එකක් ලෙස කළ කී බව අප දන්නෙමු. ඇමතිවරයෙකු රජයේ නිලධාරියෙකු ගස්බැඳ ඉන්පසු එය වීදි නාට්‍යයක් බව කියනු ලැබුණි. තවත් තැනක හක්ක පනින්න ගුටි කෑ හමුදා නිලධාරියෙකු ඔහු තමන්ටම ගසාගත් බව පවසයි. තවත් වරක මහමග ප්‍රසිද්ධියේ මිනී මැරූ මන්ත්‍රීවරයෙකු තම මතකය අමතක වූ බව පවසයි. තමන්ගේ සහචරයන් සමග ප්‍රසිද්ධියේ සැමියා මරා බිරියට ලිංගික බලහත්කාරකම් කළ දේශපාලකයෙකු මේ කතා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලෙස හදුන්වයි. මේ ආකාරයෙන් ඉවක් බවක් නැති සිදුවීම් සහ කියමන් වලින් මහින්ද සහ කල්ලිය ජනතාවගේ බුද්ධියට අපහාස වන අයුරින්, නිගාදෙන අයුරින් දිගින් දිගටම හැසුරුණි. දැන් එයට මේ අලුත්ම නාඩගම පෙරටුගාමීන් විසින් ඉදිරිපත් කරනු ලබයි. ‘අපි දඩ මුදල ගෙව්වා’ (ඔවුන් එදා දඩ මුදල අද ගෙවති) මේවා විහිළු නොවේනම් ජනතාවට බබා උක්කුංය. දඩ මුදල ගෙවූ විගසම වීසා අයදුම්පත් දමති. වීසා අයදුම් පත් දැමූ විගසම වීසා ලැබෙති. ඒ සමගම ඔහු රටතුලය. මෙවැනි හතර විගඩං කතා අප අසා ඇත්තේ මහදැන මුත්තාගේ කතාවලදී පමනි.

කුමාර් නැමැති විදේශිකයා ලංකාවට සැපත් වූ විගසම මාධ්‍ය සාකච්ඡාවක් කරනු ලබයි. එහිදී ඔහු අරුම පුදුම කතා ටිකක් පවසයි. මේ කතා සියල්ල ගොනු වන්නේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව සහ විපක්ෂ පොදු අපේක්ෂකයාට එරෙහිවයි. කුමාර් ගුණරත්නම්ට අනුව පවතින මහින්දලාගේ රජය සහ විපක්ෂය අතර වෙනසක් නොමැත. නමුත් විපක්ෂය සහ අන් අය අතර අත්භූත ගිවිසුම් ඇතිබව මොහු පවසයි. සුළඟ හමන්නේ කුමන දිශාවකින්ද කියා හදුනා ගැනීම අපහසු නැත.

ලංකාවට පැමිණි විදේශිකයෙකුට ලංකාවේ දේශපාලනයට ක්‍රියාකාරීව සහභාගි වීමට විශේෂ අවසරයක් තිබිය යුතුය. එය දිය යුත්තේ ලංකා ආණ්ඩුව විසිනි. ඔහු එවැනි දේශපාලනයක් සදහා ආණ්ඩුවේ වුවමනාවකට අනුව පැමිණ ඇති බව ඔවුන්ගේ අනුගාමික තොත්ත බබාලාට රහසක් වූවාට රටේ ජනයාට නම් එය රහසක් නොවේ.
පෙරටුගාමීන්ගේ මෙම ක්‍රියාව අපට කියා දෙන්න හදන්නේ මේ ලංකාවේ ඉතා හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක් බවද? තම පන්ති සතුරාට (ඔවුන්ට අනුව පෙරටුගාමීන් යනු නිර්දන පන්ති පක්ෂයයි) පවා මහින්දගේ රෙජීමය අපහසුවකින් තොරව දේශපාලනයක් කිරීමට ඉඩ සලසාලන බවද? ඉතින් ඔවුනට අනුව මහින්ද රෙජීමය විසින් ලිලිත්ලා – කුගන්ලා පැහැරගෙන ගොස් නැද්ද? එසේ නැත්නම් අද වන විට ලලිත්ලා-කුගන්ලා ගැන ඔවුනට අමතක වී ඇති සෙයකි. ‘අනේකාලේ වනේ වාසේ ’ යැයි ලාංකීය ගැමි කියමන අපට මතක් වන්නේ මෙවිටය.

රටට සැපත්වන මේ විප්ලවවාදීහු වහාම ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය හමුවක් පවත්වති. එයට ඔහුට මහින්ද රෙජීමය ඉඩහැර ඇත. එහිදී මොවුන්ගේ ප්‍රධාන කියමන වන්නේ මහින්ද රෙජීමය සහ පොදු විරුද්ධ පක්ෂය අතර වෙනසක් නැති බවයි. මේ දේශපාලන බලවේගයන් දෙකක වෙනස හදුනාගැනීමට නොහැකිවීමම මොවුන්ගේ දේශපාලනයේ තරම එළිදක්වයි. වැඩවසම්, පසුගාමී, ඒකාධිපති, නන්නත්තාර සහ ෆැසිස්ට් ලක්ෂණවලින් යුතු කණ්ඩායමක් රටෙහි බලය අපයෝජනය කරමින් සිටී. එයට එරෙහිව විරුද්ධ පක්ෂ පොදු බලවේගය ලෙස පෙළ ගැසී ඇති බලවේගයන් වන්නේ ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල්, කොන්සර්වේටිව් ආදී විවිධ බලවේගයන්ය. බලයේ සිටින රජය සහ මේ බලවේග දෙක එකම යැයි හදුනාගැනීමම දේශපාලනය විග්‍රහ කර ගැනීමේ ගැටළුවක් නොවේද?

ශික්ෂා පද සරණ යාම අයත් වන්නේ ආගම්වලට පමණක් නොවේ. බොහෝ විට ‘වම’ කියා හදුනාගන්නා අයද ශික්ෂාපද සරණ යති. එසේ නැතිනම් ශික්ෂාපද සරණ ගියවුන් ලෙස සියල්ල සුදු සහ කළු ලෙස වෙන්කර ගනු ලැබෙයි. එවිට පවතින දේශපාලන තත්වයේ සංකීර්ණ බව විග්‍රහකර ගැනීමට ඔවුන් අපොහොසත් වන්නේ තම ශික්ෂාපද යන්හි පථයෙන් පිටතට තම කෝණයන් විහිදවීමට ඔවුනට මේ ශික්ෂාපද සරණ යාමේ මනස විසින් ඉඩ නොහරින බැවිනි. සමාජයක් යනු සුදු සහ කළු ලෙස වටහා ගැනීමේ වර්ණ අන්ධභාවය මේ තුල ඇතිවීම එහි ස්වභාවයයි. සමාජයක් යනු විවිධත්වයේ සංකීර්ණ එකතුවක් බව වටහා ගැනීමට මිනිසෙකු තුල ප්‍රජාතන්ත්‍රික මනසක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුල ජීවත්වීමම මෙවැනි මනසකට හිමිකම් ඇති කරන්නේ නැත. ඒ ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රගුණ කළ යුතු භාවිතාවක් බැවිනි. ඒ සඳහා පුද්ගලයෙකුට නිදහස් මනසක් තිබිය යුතුය. ශික්ෂා පද සරණ ගිය අයෙකු තුල නිදහස් මනසක් ඇති නොවෙති.

ඉතා ශුද්ධ වූ දේශපාලන බලවේගයන් ලොව කොතැනක හෝ පහල වෙතැයි මම විශ්වාස නොකරමි. ඒ දේශපාලනය යනුම බලය අත්පත් කර ගැනීමක් සඳහා කරන සටනක් බැවිනි. බලය අධිපතිබව සමග එකින් එක එකට බැඳී ඇති දෙයකි. ඒවාගේම ඉතා ශුද්ධ වූ දේශපාලනයක් ඇතිවිය නොහැක්කේම සමාජයක ඇති විවිධත්වය නිසාවෙන්මයි. එනිසාම සෑම විටම අපට සිදුවන්නේ දේශපාලනයේදී සාපේක්ෂකව වඩා හොඳ විකල්පය තෝරා ගැනීමටයි. එමෙන්ම එය තව තව නිවැරදි දිශාවකට ගෙනඒම සඳහා නිරන්ත සංවාදයක් සමාජය තුල පැවතිය යුතුය.

‘පවතින තත්වය වෙනස් වීමෙන් අලුත් යමක් සිදු නොවේ, එය පවතින තත්වයම යැයි’ කියන කියමන තුල ඇත්තේ දේශපාලන අඳ බවක් මෙන්ම ප්‍රතිගාමී බවකි. සෑම විටම වෙනස්වීම හොඳ දෙයකි. එම වෙනස්වීමෙන් වඩා හොඳ දෙයක් නිර්මාණය නොවෙනවා යැයි අපි මොහොතකට උපකල්පනය කරමු. නමුත් වෙනස් කිරීම තුල ඇතිවන තත්වය පවතින දෙය වෙසක් කළ නොහැකි යැයි කියන මතය බිඳ දමනු ලබයි. එතුලින් වෙනසක් ඇති කළ හැකිය යන ඉගැන්වීම සමාජගත වන බැවින් නැවත වෙනස් කිරීමක් සඳහා යොමුවීමකට ජනයාට මග පෙන්වයි. එබැවින් ඕනෑම වෙනස්වීමක් සෑම විටම ප්‍රගතිශීලී වේ. ඒ අනුව මහින්දලාගේ රාජ්‍ය පෙරළාදමා අලුත් බලවේගයකට බලයලැබීමම ප්‍රගතිශීලී දෙයකි.

ප්‍රතිගාමී රාජ්‍යක් සමග කරන ගණුදෙනුවක් තුලින් තමන්ට විප්ලවවාදී දේශපාලනයකට මගපාදා ගත හැක යන කියමන මෙහිදී යමෙකු ආදේශ කිරීමට උත්සාහ කරනු ඇත. එයට උදාහරණ ලෙස ලෙනින්ට ජර්මනිය හරහා ගමන් කිරීමට ඉඩ ලබාදුන් ගණුදෙනුව මෙහිදී මතක් කරනු ඇත. නමුත් ලෙනින් රුසියාවට ගිය මොහොත සහ එහි කුමන බලවේග සමග කෙබදු දේශපාලනයක් කළේ ද යන්න හැදෑරූ කෙනෙකුට මහින්දලා සමග කරන ගණුදෙනුවක් ඊට හාත්පසින්ම විරුද්ධ බව වටහා ගැනීමට මග පාදනු ඇත.

මහින්ද රාජපක්ෂ තමා රජෙකු ලෙස සිතා වැඩකරයි. ඔහුගේ පවුල රජ පෙළපතක් ලෙස හැසිරෙති. ඉතිං එසේ නම් තමන් ලෙනින් කෙනෙකු යැයි තවත් අයෙකුට සිතා ගැනීමට ඉඩ ඇති බව අප දන්නෙමු. නමුත් මහින්ද රජෙකු නොවනවා මෙන්ම අනෙකා ලෙනින් නොවන බවද අපට නම් ස්ථිරය.

මා ජීවත්වන ජර්මනියේ දේශපාලනය ගැන පවතින කියමනකින් මම මෙම ලිපිය අවසන් කරමි. ‘ඔබගේ දේශපාලන කතාවට සහ ක්‍රියාවට අත්පොළසන් නාදය ලැබෙන්නේ කොහෙන්ද කාගෙන්ද? එයින් ඔබේ දේශපාලනය සේවය කරන්නේ කාටදැයි හදුනා ගත හැක’

 

Ranjith Hennayakearachi
Ranjith Hennayakearachi

 

 

 

 

රංජිත් හේනායකආරච්චි

Archive

Latest news

Related news