Friday, April 26, 2024

කුලියට සංවේදි මිනිසුන් සපා කන බලු බෑන්ඩ්

මෙලනි මානෙල් පෙරේරා විසිනි-

සාමාන්‍ය ව්‍යවහරයේ පවතින්නේ බුරන බල්ලන් සපා කන්නේ නැති බවයි. එහෙත් ඒ කියමන අතීතයට පමණක් සීමාකොට තබා විෂම සමාජ වාතාවරණයක ජීවත්වන වර්තමාන බල්ලෝ බීරීමෙන් පමණක් නොනැවතී අහිංසක මිනිසුන් සපාකෑමට ද පුරුදු වී සිටිති. ඒ බව මේ වන විට අවස්ථා තුනකදීම සනාථ කර ඇත. එකක් ඊයේ ය. තවත් එකක් පසුගිය සතියේදි ය. අනෙක දෙසැම්බර් 05 වෙනිදාය. ඒ, ඊයේ(දෙසැ 29) කුරුණෑගල දී, පසුගිය සතියේ හම්බන්තොටදී සහ දෙසැම්බර් 05 වෙනිදා එප්පාවලදීය. එදා, ප‍්‍රවීන කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු “වියරුවට එරෙහිව-වීදියේ විරෝධය” අප කණ්ඩායමටය. මෙදා, ප‍්‍රවීන කලාකරු ලක්‍ෂ්මන් විජේසේකර ඇතුළු “මුලාවෙන් මිදෙමු”සංගීත කණ්ඩායමටය.

බිරීමට මෙන්ම සපාකෑමට ද අපුරුවට පුහුණුකර සිටී ඒ බල්ලෝ බිරුවා පමණක් නොව සපාකෑවෝය. පැන පැන සපාකෑවෝය. බිම පෙරළාගෙන සපාකෑවෝය. එසේ සපා කැවේ සොරකමේ හෝ අවලමේ හෝ මීනිමැරීමේ හෝ සුදුකෙළියේ හෝ යෙදුණු කිසිවෙකුත් නොව තමන් ජීවත්වන, කාටත් අයිතිය තිබෙන මේ මව්රටේ සිදුවෙමින් පවතින හොර-මැරකම්, අල්ලස්-දුෂණ, වංචා, ගසාකෑම්, අතුරුදහන් කිරීම්, මිනිමැරීම් කොටින්ම රටතුළ යහපාලනයක් නොමැතිකම පිළිබඳව හා ඒ හා බැඳුණු සමාජ වාතාවරණය පිළිබඳව මහජනයාට කරුණූ ගෙනහැර පෑමට ඉදිරිපත්වී දැනුවත් කිරීමෙහිලා යන මිනිසුන්වය. ඒ පිළිබඳව සිවිල් වැසියන් හට කරුණු පහදා දෙන්නට ගායනය ද නර්තනය ද දේශනය ද පෝස්ටරය ද පත‍්‍රිකාව ද පත්තරය ද බෙරය ද සංගිත භාණ්ඩ ද ශබ්ද විකාශනයද යොදාගත්තා වු මේ මහ පොළොවේ ජීවත්වන මිනිසුන්ව ය. සංවේදි මිනිසුන්ව ය.

එප්පාවලදීවත් හම්බන්තොටදීවත් කුරුණෑගලදීවත් ඔවුන් ඒ දැනුවත්කිරීම් සඳහා කිසිම ආකාරයකින් ගිනි අවිය හෝ මැරබලය හෝ අවම වශයෙන් කුලියට උඩබුරන බල්ලෝ පැන්නවීම සඳහා දෙකයි දෙකේ පොලූ කැබැල්ලක් හෝ භාවිතා නොකළහ.

එහෙත්, එදා එප්පාවලදී ජයතිලක බණ්ඩාර ඇතුළු වීදියේ විරෝධය කණ්ඩායම සිය විදීයේ දැනුවත් කිරිම අවසන් කළා පමණි, එප්පාවල මැර-බලූ බෑන්ඞ් එක ක‍්‍රියාත්මක වී බඩට පිස්තෝල තබමින් “කොහෙද යකෝ මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුව යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ කියන්නේ” යැයි තඩි බලූ තගක් දැම්මේය. ජයතිලකයන්ට හා ඔහු සමග සිටි සමන්ත ඈපට හරිහැටියට තැලූවෝය. ඒ මැර-බලූ සීන්එක ළඟ සිට සහ ඈත සිට බලාසිටි නිත්‍යානුකුල පොලිස් සේවයේ නිළධාරීන් පැවසුවේ තමන් පිස්තෝලයක්වත් ගැටුමක්වත් නොදුටු බවයි. ඒ මැර-බලූ ජවනීකාව වීඩියෝගත කළ හිරු මාධ්‍යවේදියාටද පහරදී කැමරාවට ද අලාභ හානි කළ සපාකෑ ඒ බලුතඩියෝ, සම්ප‍්‍රදායට අනුව පසුව අත්අඩංගුවට ගත්ත ද සුපුරුදු පරිදි ඇප ලබාදී කාගේදෝ දෑත් ශක්තිමත් කරන්නට යළිත්වරක් සමාජ ගතකළේය.

දෙසැම්බර් 21 වෙනිදා දෙවැනි වරටත්, හම්බන්තොටදී ද ජයතිලක බණ්ඩාර කලාකරුවා සිය වාහනයෙන් බැස නගරයේ සිටගත්තා පමණි. අප තවමත් අපගේ වාහනායේ ය. බිරීමෙන් පමණක් නවතින්නට නොසිතු ඒ හම්බන්තොට මැර-බල්ලෝ සඟවාගෙන සිටී පිස්තෝල ද පොලූ ද දැලි පිහි ද යොදාගනිමින් ජයතිලක බණ්ඩාරට හා විදීයේ විරෝධය කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මැර බෑන්ඞ් එක ක‍්‍රියාත්මක කළෝය. ඔවුන්ට තලන ඒ මැර-බලූ ජවනිකාව ඡායාරුපගත කළ විදීයේ විරෝධය කණ්ඩායමේ සජීව පලිහක්කාරට ද මැර බෑන්ඞ් හි තඩි බලූ ප‍්‍රහාරයට නතුවන්නට සිදුවුණේ ඔහුගේ ජංගම දුරකථන දෙක සහ කැමරාව ද මැර-බලූ බෑන්ඞ් එකේ බලූ මෑන්ලා හට උදුරාගන්නට ඉඩ දෙමිණිි. ඔවුන් බේරාගන්නට ගිය අනෙකුත් විදීයේ විරෝධයේ සාමාජිකයින් හට ද බූට්ස් පහරවල් සමගින් තිත්ත හරුපයෙන් බිරුවෝය.

ඊයේ් ද සිදුවී ඇත්තේ පවතින මේ වියරුවට එරෙහිව කි‍්‍රයාත්මක වු “අලූත් පරපුර” නම්වු යෞවන කලාකරුවන් විසින් කුරුණෑගල කුඹුක්ගැටේ හන්දියේදි ඉදිරිපත්කරන්නට සිටි “මුලාවෙන් මිදෙමු” ජනතාව දැනුවත් කිරීමේ සංගීත ප‍්‍රසංගයට කුලියට උඩ බුරන බල්ලෝ සිය මැර-බලූ බෑන්ඞ් එක ක‍්‍රියාත්මක කිරීමය. හම්බන්තොටදී මෙන්ම කුරුණෑගලදීත් තුවාල ලැබුවන් රෝහල් ගතකළෝය. එහෙත්, සක්සුදක්සේ දැන දැනත් මැර-බලූ බෑන්ඞ් හි කුලී බල්ලන් අත්අඩංගුවට නොගත්තේය.

පසුදිනයේදි හම්බන්තොට මැර-බලූ බෑන්ඞ් හි බලූමාස්ටර් පොලීසියට ගොස් භාර වුණි. දින දෙකකට රක්‍ෂිත බන්ධනාගාර ගතකර, පසුව සුපුරුදු නීතියෙන් සංග‍්‍රහා කර ඇප මත නිදහස් කළේය. ඊයේ සිදුවිමෙහි ”අලූත් පරපුර” ට පහර දුන් පුද්ගලයින් කවුදැයි පොලීසිය හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිතිඥ අජිත් රෝහණ අද දෙසැ 30 වෙනිදා ප‍්‍රකාශකල මුත් මෙය ලියන මේ සවස්භාගය වනවිටවත් ඔවුන් අත්අඩංගුවට ගන්නට පොලීසිය ක‍්‍රියාත්මක වී නැත. එසේ අත්අඩංගුවට නොගන්නේ එහි මැර-බලූ බෑන්ඞ් ප‍්‍රහාරයේ වගකීම ”අලූත් පරපුර” මත පටවන්නදැයි සැකයකි.

මේ සිද්ධීන් තුනෙන් ම පෙනීයන්නේ කොතෙක් කයිවාරු ගැසුවද, තවදුරටත් ,තවදුරටත් මෙරට තුළ අදහස් ප‍්‍රකාශ කිරීමට, තොරතුරු දැනගැනිමට, විසංමුතියට නම් ඉඩක් නැතිබවයි. සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්නට ඇති ශුද්ධවු අයිතියට ගරු නොකරන බවයි. පාලක බලධාරින් අන් මත පිළිගැනීමට, ඉවසිමට හා දැරීමට සූදානම් නැති බවයි. ඔවුන්ගේ මතය පමණක් සමස්ත ජාතියම පිළිගත යුතු බවයි. වෙනස් මතයකට ඉඩක් නැති බවයි. තවදුරටත් මම, මට, මට ම යන්න පමණක් තිබිය යුතු බවයි. එසේ නම් මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍යයක් සේ වාචාලකමටවත් කෙසේ කියන්නට හැකි ද ?

කෙසේවෙතත්, අසංවර්ධිත හික්මීමකින් යුතුවු ඌන බුද්ධියෙන් කටයුතු කරනු ලබන මුග්ධ ප‍්‍රෘතග්ජනයින් සංවේදි මෙන්ම බුද්ධියෙන් ක‍්‍රියාකරනු ලබන තවත් ප‍්‍රතෘග්ජනයින් කොට්ඨාශයකට පහර දෙනු ලබන්නේ තමන්ගේ ඇති වීරත්වයක් හෝ ශක්තියක් නිසා නොව ඔවුන්ගේම ජාතියේලා සැළකිය හැකි මිනිස් ලොක්කන්ගේ බලය, ශක්තිය, මුදල හා මුලාකිරීම නැතහොත් ඇන්දවීම යන කාලකණ්නි පාඩමේ ආශීර්වාදයෙනි. එම ක‍්‍රියාවම කවදා හෝ පාරාවළල්ලක් වන බව ඒ කාලකණ්නි පාඩමේ සරණ යන මුග්ධ වැසියන් නොදන්නේ ය. ඒ තරමට ම මොකකින්දෝ මත්වී ඇත. අන්ධ වී ඇත. වහල් වී ඇත. අහෝ ! එය ජාති ජාතිත් මහා පවකි.

Archive

Latest news

Related news