Saturday, April 27, 2024

ජනාධිපතිවරණයේ දී වමේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද?

(ජවිපෙ උද්ඝෝෂණයක්)

පවුල් හා සහචර ඒකාධිපති ආඥාදායකත්වය පරදවමු !
පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සටන් වදිමු !!
මහජන ව්‍යාපාරයක් සඳහා පෙරට යමු !!!

මහින්ද රාජපක්ෂ සිය ධූර කාලය තවත් වසර දෙකක් තිබියදී 2015 ජනවාරියේ දී ජනාධිපතිවරණයක් කැඳවා ඇත. කුමක් සඳහා ද?

කොල්ලකාරී පවුල් සහචර ධනපති ආර්ථික පිළිවෙත එහි උපරිමය දක්වා ගෙන යාමට ය.

රාජපක්ෂ පාලනය ගෙනයන්නේ පූර්ණ කොල්ලකාරී ආර්ථික මූලෝපායකි. දිගු කාලීන අරමුණු ඇතිව බටහිර අධිරාජ්‍යවාදයේ ප‍්‍රධාන මූල්‍ය උපකරණයක් වන ලෝක බැංකුව ද නැගී එන නව ලෝක අධිරාජ්‍යවාදී බලවතා වන චීනය ද සපයන ණය කන්දරා මත පෝෂණයවන මෙම කොල්ලකාරී ආර්ථික මූලෝපාය තුළ ඇති වන්නේ ඇත්ත ධනේශ්වර සංවර්ධනයක්වත් නොව ප‍්‍රධාන කොටම පවුලක හා සහචර ධනේශ්වර කල්ලියක පරපුටු ආර්ථික සංවර්ධනයකි. මේ තුළ මෙම කල්ලියෙන් බාහිර ධනපති කොටස්වලට පවා නිදහසේ සිය ව්‍යාපාරික ආර්ථික කටයුතු කර ගෙන යාමේ නිදහසක් නැත. මෙවන් කල්ලිවල සහජ ලක්ෂණය වන්නේ බොරු සංවර්ධනයක් මවා පාමින් කොමිස්, කප්පම්, හොර මගඩි, මත් ද්‍රව්‍ය ජාවාරම් ආදිය හරහා ධනය එක් රැස් කිරීම ය.

මෙම කොල්ලකාරී ආර්ථික පිළිවෙත හා ඒ හා බැඳි පීඩකාරී පාලනය කෙරෙහි ජනතා කලකිරීම පළ වෙන්නට පටන් ගෙන තිබෙන හෙයින් හදිසි ජනාධිපතිවරණයකට යන්නේ පැහැදිලිව ගිලිහෙමින් පවත්නා බලය රැක ගනිමින් ආර්ථිකය මත පවත්වා ගෙන යන කොල්ලකාරී කි‍්‍රයා පිළිවෙත ද මෙහි පෙර නොවූ විරූ තරම් ඉහළ තලයකට ඔසවා ඇති දූෂිත ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනය ද අඛණ්ඩව පවත්වා ගැනීමට බව පැහැදිලිය.
නෛසර්ගිකව පවුල් සහචර ධනේශ්වර කල්ලි පාලනයන්ට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආදියට ඉඩ දෙන්නට නොහැකි ය.

කොල්ලකාරී පවුල් සහචර ධනපති සංවර්ධන මාවතකට සාමාන්‍ය ධනේශ්වර සංවර්ධන මාවතක් තුළ කරන තරමින්වත් ජනතා ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කරන්නට බැරි ය. පවත්වා ගත හැකි සාපේක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශයන්ට පවා ඉඩ දෙන්නට බැරි ය. ඒ අනුව රාජපක්ෂ පාලනයේ ඉදිරි න්‍යාය පත‍්‍රය වන්නේ ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතීන් උල්ලංඝනය කිරීම තව තවත් ඉහළට ඔසවාලීම ය. දැනට ව්‍යවස්ථානුකූලව පවත්නා ප‍්‍රධාන මහජන නියෝජිත ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළු මහජන නියෝජිතායතන සියල්ල ද සාපේක්ෂ ස්වාධීනත්වයක් තිබිය යුතු යයි පිළිගන්නා අධිකරණය හා අනෙකුත් ආයතන සියල්ල ද සිය පූර්ණ ආධිපත්‍යය යටතට ගෙන ඒම ය. විධායකය ද සාමුහික නියෝජිත කමිටුවක බලයක් විය යුතුය යන පොදු පිළිගැනීම ඉඳුරාම ඉවත ලා එය පවුල් හා සහචර කල්ලියක කතපයාධිකාර අන්තනෝමතික බලයක් බවට පූර්ණත්වයට ගෙන ඒම ය.

මැතිවරණ ප්‍රචණ්ඩත්වය: රාජපක්ෂ භීෂණය දැන් රටම වෙළාගෙන තිබේ
මැතිවරණ ප්‍රචණ්ඩත්වය: රාජපක්ෂ භීෂණය දැන් රටම වෙළාගෙන තිබේ

රාජපක්ෂම කියන පරිදි මේ තුන්වන වරට වරමක් ඉල්ලන්නේ රටේ විනය පිහිටු වීමට ය. මොකක් ද මේ විනය? මේ පාලනය අඛණ්ඩව පැවතිය හොත් ඊට එරෙහිව අනිවාරණීය වශයෙන් කම්කරුවන්, ගොවියන්, ධීවරයන්, ගුරුවරුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ශිෂ්‍යයන්, ස්තී‍්‍රන්, සුළුතර ජාතික හා ආගමික කොටස් යන සියල්ලන්ගෙන්ම නැගෙන විරෝධය පාගා දැමීම සඳහා අවශ්‍ය කරන ”විනය” ය. පිලිපීනයේ මාකෝස්ලා මාෂල් ලෝ යටතේ පිහිට වූයේ මේ විනය ය. හයිටියේ ඩුවෙලියේලා, ඉන්දුනීසියාවේ සුහර්තෝලා, චිලියේ පිනෝෂේලා, ටියුනීසියාවේ අබයිඩන් බෙන් අලිලා යටතේ පිහිටු වූයේ මේ විනය ය. ඔවුන් මේ විනය පිහිටු වූයේ දස දහස් ගණන් ලක්ෂ ගණන් ජනයාගේ ලේ ගංගා හා මිනී කඳු මත ය. රාජපක්ෂලාගේ පාලනයේ තුන්වන අවධිය ජනතාවගේ මුළුමහත් අයිතිවාසිකම් පමණක් නොව ධනේශ්වර පංතියේ සාපේක්ෂ ප‍්‍රජාතන්තී‍්‍රය පංති ආඥාදායකත්වය පවා සුනුවිසුණු කරමින් ඊට වඩා සිය දහස් ගුණයකින් ඔබ්බට ගියා වූ ද ඊට වඩා අතිශයින්ම දුෂ්ඨ වූ ද, ම්ලේච්ඡ වූ ද, අත්තනෝමතික වූ ද පවුල් හා සහචර කල්ලි ඒකාධිපති ආඥාදායකත්වය පූර්ණත්වයට පත් කරනවා ඇත. පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහලත් ජාතිභේදවාදී, අගම්වාදී, ත‍්‍රස්තවාදී කල්ලි පෝෂණය කරමින් සුළුතර ජාතික හා ආගමික ජන කොටස්වලට එරෙහිව බලවේග උසිගන්වමින් ප‍්‍රශ්න තීව‍්‍ර කරමින් ඒ මත යැපීම ද එය දඩ මීමා කර ගනිමින් උතුර මෙන්ම දකුණ ද එනම් මුළු රටම මිලිටරිකරණය කරා ගෙනවා ඇත.

මෙම අති දූෂිත, ම්ලේච්ඡ කුරිරු ආඥායකත්වයට තව දුරටත් ඉඩ දිය යුතු ද?

ඉදින් තවත් වසර අටක කාලයක් සඳහා මෙම කොල්ලකාරී, දූෂිත පවුල් සහචර ඒකාධිපති ආඥාදායකත්වයට ඉඩ දිය යුතු නැත. එය ගෙදර යැවිය යුතු ම ය. මෙම ජනාධිපතිවරණය ලාංකීය මැතිවරණ ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක කඩඉමකි. මෙය අති දූෂිත, ම්ලේච්ඡ කුරිරු ආඥායකත්වයකට ඉඩ දෙනවා ද නැතහොත් අනාගතයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සමාජ සංස්කෘතියක් ඔස්සේ පෙරට යන්නට කවුළුවක් විවෘත කර ගනුවස් ඊට තිත තබනවා ද යන්න තීරණය කිරීමේ ජනමත විමසුමක් වනවා ඇත. මෙය බරපතල අභියෝගයකි.

මෙම අභියෝගය භාර ගනිමින් සිටින්නේ පොදු අපෙක්ෂක සන්ධානයකි:

මේ මොහොතේ මෙම පවුල් සහචර ආඥාදායකත්වයට මුහුණට මුහුණලා පෙරට පැමිණ ඇත්තේ ආණ්ඩුවෙන් කඩා ගෙන ආ පිරිස් ද ඇතුළත් විපක්ෂ සන්ධානයකි. එජාපය එහි ප‍්‍රධාන බලවේගය තනන අතර රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකු වූ ද ශී‍්‍රලනිප මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති වූ ද මෛතී‍්‍රපාල සිරිසේන රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂයා වශයෙන් කරළියට පැමිණ ඇත. මෙය නොසිතූ විරූ වූ ද රාජපක්ෂ පාලනයේ අත්තිවාරම් සසල කළා වූ ද තත්ත්වයකි.

විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයකින් සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වග කියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ අධිකරණය හා ස්වාධීනව කටයුතු කළ යුතු ආයතන හා කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම, මනාප ඡුන්ද ක‍්‍රමය අහෝසිකර පැරණි මන්තී‍්‍ර ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයක් සහිත නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම, ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම, ආර්ථිකයේ සියලු අංශ ශක්තිමත් කිරීම, අසාධාරණයට හා කොන් කිරීමට පාත‍්‍ර සියල්ලන් සඳහා විශේෂ හා ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ස්ථාපිත කිරීම, මහා පරිමාණයෙන් සිදුවන වංචා, අල්ලස් හා දූෂණ වැළක්වීම සඳහා දැඩි විනිවිද භායකින් යුත් වගවීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම හා සිදු වී ඇති අපහරණයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය, මූලික අයිතිවාසිකම් හා නිදහස ඇතුළු සියලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් සහතික කිරීම, සුබ සාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම, ශිෂ්ට සම්පන්න හා සදාචාරමත් සමාජයක් බිහි කරන දේශපාලන සංස්කෘතියක් නගා සිටුවීම ආදී පොරොන්දු මාලාවක්ම විපක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් වේ. එයට අනෙක්වා කෙසේ වුව ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම වැනි ඒවා ඉටු කිරීමට බැරි කමක් නැත.

එහෙත් මහත් විනාශකාරී යුද්ධයකට මග පෑදූ හා රට වෙලා ගෙන තිබෙන බොහෝ සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් කළ හා තවදුරටත් කරන ජාතික ගැටළුවට හේතු පාදක වූ එකදු ප‍්‍රශ්නයකටවත් එය ආමන්ත‍්‍රණය නොකරයි. එසේම රටේ දැවෙන අනෙකුත් සමාජ ආර්ථික ආදී ප‍්‍රශ්නවලට හා ජනතා අවශ්‍යතාවන්ට ආමන්ත‍්‍රණය කරන විකල්ප ආර්ථික පිළිවෙතක් එයට නැත. පතුලේ පිම්මේ වැඞී යමින් තිබෙන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා පාරිසරික පරිහානියෙන් තරමක් දුරට හෝ මිදීමට අනිවාර්යයෙන්ම කළ යුතු ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය ය. එහෙත් විපක්ෂ සන්ධානයට එහි ස්වභාවයෙන්ම එහිලා වන විභවයක් නැත. ඒ තුළින් බිහි විය හැක්කේ මහින්ද රෙජිමය වෙනුවට සුළු සුළු සංස්කරණයන් අඩංගු කර ගත හැකි තවත් පාලනයක් පමණි.

සැබවින්ම අවශ්‍ය කරන්නේ පූර්ණ දේශපාලන, ආර්ථික හා සමාජ වෙනසක් ය. ඒ සඳහා අවශ්‍ය කරන ජන බලයක් ගොඩ නැගීම ය.

නමුත් අද එහිලා මැදිහත් විය යුතු, නායකත්වය සැපයිය යුතු බලවේග පවතින්නේ සැබවින්ම දුර්වල හා විසුරුණු තත්ත්වයක ය.

මෙම ජනාධිපතිවරණයේ දී වමේ ප‍්‍රවේශය කුමක් විය යුතු ද?

වමේ බලවේග අන් සියල්ලටත් වඩා මෙම නිශ්චිත නිමේශය ද මේ නිමේශයේ හදිසි හා කේන්ද්‍රීය කාර්යය ද නිවැරදිව හඳුනා ගත යුතු ය. සිය දිගු කාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වත්මන් නිමේශය තුළ ගත යුත්තේ කුමන උපක‍්‍රමික කි‍්‍රයා මාර්ගයක් ද යන්න වඩාත් නිවැරදිව නිශ්චය කර ගත යුතු ය. අපේ අදහස නම් දින කිහිපයක් අඩංගු කර ගන්නා මේ නිශ්චිත දේශපාලන මොහොත ලාංකීය දේශපාලනයේ බැරූරුම් තීරණාත්මක නිමේශයක් වන බව ය. පළමුව මේ දින කිහිපයට අදාළව අප ගන්නා කි‍්‍රයා මාර්ගය ලාංකීය දේශපාලන භූ දර්ශන පථයේ මහා අඳුරු කාලපරිච්ජේදයකට දොරටු විවෘත කිරීමට දශමයකින් හෝ උදව් වන්නක් නොවිය යුතු ය.

දෙවනුව පාර්ලිමේන්තු හෝ වෙනත් මැතිවරණයකට වෙනස්ව මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම කොතෙක් අර්ථවත් ද යන්න සැලකිල්ලට ගත යුතු ය. පාර්ලිමේන්තු හෝ වෙනත් එවැනි නියෝජිතයින් තේරීමේ මැතිවරණයක දී නම් යම් නියෝජනයක් ලබා ගනිමින් එම ආයතන සටනේ වේදිකාවන් බවට පත් කර ගැනීමේ ඉඩ ඇති බව අපි දනිමු. මෙම ජනාධිපතිවරණ අවස්ථාව එවන් ඉඩක් විවර නොකරයි. තෙවනුව වම මෙම ජනාධිපතිවරණයට තරග වැදීම අවශ්‍යවම තිබූ තත්ත්වයක් නිර්මාණය කර තිබුණේ නම් කළ යුත්තේ යටත් පිරිසෙයින් වමේ අවම, හදිසි වැඩපිළිවෙළක් තුළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම ය. මේ නිශ්චිත නිමේශයේ වම තරග වැදීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්කර නැති බව අපේ අදහස ය. එහෙත් මේ කරුණු කිසිවක් සැලකිල්ලට නොගනිමින් වමේ ඇතැම් කොටස් ජනාධිපතිවරණයට තරග වදිනවා පමණක් නොව තරග වදින්නේ ද බෙදී ගෙන ය. අරමුණ කුමක් වුව ද මේ මොහොතේ වමේ මේ කොටස් බරපතල උපක‍්‍රමික වරද්දා ගැනීමක් කර ඇති බව සහෝදරාත්මකව පැවසීමට කැමැත්තෙමු. මෙම වැරද්ද මගින් එක් අතකින් මතු වෙමින් පවත්නා ජන අභිලාෂයන්ට පරස්පරව යාමක් ද අනෙක් අතින් සමස්තයක් වශයෙන් වමේ ව්‍යාපාරයේ ප‍්‍රගතියට හානියක් ද සිදු කර ගන්නා බව අපි නිරීක්ෂණය කරමු. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ජන බලවේග පෙළ ගස්වාලීමේ දැක්මකින් හා කි‍්‍රයා මාර්ගයකින් යුතුව මෙම අත්තනෝමතික රෙජිමය පරාජයට පත් කිරීමට මැදිහත්වීම ය.

වාම හා ප‍්‍රගතිශීලී බලවේග මූලෝපායික ප‍්‍රවේශයක් පදනම් කර ගත් අවම, හදිසි වැඩ පිළිවෙළක් ඔස්සේ ජනාධිපතිවරණ අවස්ථාවට මැදිහත් විය යුතුය.

මෙම අවධියේ වාම හා ප‍්‍රගතිශීලී බලවේගයන්ගේ මූලෝපායික ප‍්‍රවේශය විය යුත්තේ සම්පූර්ණ දේශපාලන, ආර්ථික හා සමාජ පරිවර්තනයක් උදෙසා කි‍්‍රයාකාරී මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමට කි‍්‍රයා කිරීම ය. මේ මූලෝපායික ප‍්‍රවේශය තුළ සංයුක්තව පැන නගින්නා වූ විවිධ දේශපාලන අවස්ථාවන්හි දී උපක‍්‍රමික ප‍්‍රවේශයන් ගැනීම විෂයබද්ධ අනිවාර්යයන් වෙයි. උපක‍්‍රමික නැතහොත් හදිසි වැඩ පිළිවෙළවල් අවශ්‍ය කරයි. මේ නිශ්චිත අවකාශයේ වාම හා ප‍්‍රගතිශීලී බලවේගවල හදිසි අවම වැඩ පිළිවෙළ පහතින් එන පරිදි විය යුතු යයි අපි දකිමු.

1. රටේ විනාශ කරමින් පවත්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ යුතු ය. ඒ සඳහා

1. 1. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමත් ජනතාවගේ මූලික ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතිවාසිකම් තහවුරු කිරීම; ලංකාව බහු ජාතික, බහු ආගමික රටක් ලෙස පිළි ගැනීම හා සුළුතර ජාතීන් හා ජන කොටස් පිටස්තරයින්ය යනුවෙන් ගෙන ඔවුන්ව පෙළීමට මෙතෙක් අනුගමනය කරන ලද මහ ජාතිකවාදී ප‍්‍රතිපත්තිය වෙනස් කොට ජාතික ගැටළුවට ජාතික ස්වයං නීර්ණය මත පදනම් වූ දේශපාලන විසඳුමක් සැපයීමත් ස්වාධීන අධිකරණයක්, ස්වාධීන මැතිවරණ හා අල්ලස් දූෂණ කොමිෂන් සභා ආදී ආයතන ස්ථාපිත කර තහවුරු කිරීමත් විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනයක් සහතික කිරීම; රාජ්‍යයේ අනාගමික බව තහවුරු කිරීම හා තමන් විසින් තෝරාපත් කරනු ලබන නියෝජිතයන් සිය වගකීම් ඉටු නොකරන විට ආපසු කැඳවීම ඇතුළත් සැබෑ ජන නියෝජනයක් සහතික කරන මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම; අඩංගු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජන සම්මතයෙන් පනවා කි‍්‍රයාත්මක කිරීමට පියවර ගත යුතු ය.

1.2 ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත ඇතුළු ප‍්‍රජාතන්තී‍්‍රය හා මානව අයිතීන් උල්ලංඝනය කරන සෙසු සියලූම මර්දන අණ පනත් වහාම අහෝසි කිරීම,

1.3 මාධ්‍ය මත, අයිතිවාසිකම් ඉල්ලා හඬ නගන හා විරෝධය පාන ජනයා මත මුදා හරින මර්දනීය කි‍්‍රයා පිළිවෙත් වහාම අත් හිටු වීම,

1.4 උතුරේ හමුදා පාලනය හා දකුණේ ක‍්‍රමානුකූලව සිදු කරමින් තිබෙන හමුදාකරණය වහාම අහෝසි කිරීමට පියවර ගැනීම,

1.5 යුද්ධයේ වින්දිතයින්ට නොපමාව යුක්තිය ඉටු කිරීමට පියවර ගැනීමත්

2. ජීවන බර පහත හෙළන්නා වූ ද බහු ජාතික සමාගම්වල හා දේශීය පරපුටු පැළන්තියක අවශ්‍යතා නොව බහු ජන අවශ්‍යතා සැපිරීම කරා යොමු වූ ද සමස්ත ආර්ථික ප‍්‍රතිපත්තියක් හා ක‍්‍රමෝපායක් කි‍්‍රයාත්මක කිරීමත්

3. යහපත් අධ්‍යාපන, සෞඛ්‍ය. ප‍්‍රවාහන ආදී සේවාවන් සහතික කිරීමත්

4. ජාතිවාදය, ආගම්වාදය පිටු දැකීමට හා ජාතික හා ආගමික ජන කොටස් අතර සමගිය තහවුරු කිරීමට පියවර ගැනීමත්

5. සංස්ථා, මණ්ඩල ආදිය හා විදේශ ¥ත සේවාව සඳහා ඥාති හා සහචර සංග‍්‍රහවාදය අහෝසි කිරීම; හා

6. ස්වාධීන හා කිසිවෙකුගේ බළල් අඬු නොවන විදේශ ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම කළ යුතු ය.

වාම හා ප‍්‍රගතිශීලී බලවේගයක් වශයෙන් සැබෑ විකල්පයක් ලෙස මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මූලෝපායික ප‍්‍රවේශයකින් යුතුව ජනාධිපතිවරණ කි‍්‍රයාවලිය තුළ මෙවන් වමේ හදිසි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන අපි

1. පවුල් හා සහචර ඒකාධිපති ආඥාදායකත්වය තවදුරටත් පරිපූර්ණ කරනු වස් නැවත බලයට එමට අපේක්ෂා කරන මහින්ද රාජපක්ෂ ගේ උත්සාහය බිඳ දැමීම පිණිස ඔහුට සිය ඡන්දය නොදෙන්නැයි හෘද සාක්ෂියක් ඇති සෑම ඡන්දදායකයාගෙන් දැඩිව ඉල්ලා සිටිමු.

2. මේ නිශ්චිත අවකාශයේ අපි විපක්ෂ පොදු පෙරමුණු සන්ධානයට පහර දීමේ ආස්ථානයක් නොගනිමු. එසේ වුව ද එය සැබෑ විකල්පයක් නොවන බව පැහැදිලි පෙන්වා දෙන අපි එය බලයට පත් වුවහොත් එය දෙන පොරොන්දු ඉටු කරන්නැයි ද ඉන් ඔබ්බට යමින් ඉහත අප දක්වා ඇති අවම යෝජනා කි‍්‍රයාත්මක කරන්නැයි ද බල කර කියා සිටිමු.

3. වමේ ප‍්‍රගතිය පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් ගත් කල මේ නිශ්චිත අවකාශයේ ජනාධිපතිවරණයට වම ඉදිරිපත්වීම උපක‍්‍රමික වරදකැයි ද වම බෙදී තරග කිරීම ඊටත් වැඩි වරදකැයි ද දකින අපි රාජපක්ෂ පවුල් සහචර ඒකාධිපති ආඥාදායකත්වයට එරෙහිව සිය ප‍්‍රධාන ප‍්‍රහාරය එල්ල කරමින් වමේ දිගු කාලීන අරමුණු මුදුන්පත් කර ගැනීමේ අරගලය සඳහා පදනම් ගොඩ නගා ගැනීමට උපකාරී වන සේ වත්මන් නිමේශය උපයෝගී කර ගන්නැයි වමේ සියලූ අපේක්ෂකයන්ගෙන් ද බලවේගයන්ගෙන් ද ඉල්ලා සිටිමු.

-ජන බලය උදෙසා සාමුහිකය

Archive

Latest news

Related news