Friday, May 3, 2024

ප්‍රකාශණ නිදහසට එරෙහිව හම්බන්තොට මැර කල්ලියෙන් පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි

(සුනිල් ජයසේකර විසිනි)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි

සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත ප‍්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කම්පාවෙන් හා පිළිකුලෙන් යුතුව හෙළා දකී.

ප‍්‍රවීණ කලාකරු ජයතිලක බණ්ඩාර, විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකෝන්, ඡුායාරූප ශිල්පී සජීව පලිහක්කාර,

වීදියේ විරෝධයේ සංවිධායක පිලිප් දිසානායක, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු වන ප‍්‍රසංග ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙහිදී බරපතළ ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අතර,

නගරාධිපතිවරයා ඇතුළු මැර කල්ලිය පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි රැගෙන පැමිණි බවත්, ජයතිලක බණ්ඩාර කලාකරුවා පැහැරගෙන යෑමට ඔවුන් උත්සාහ දරා

ඇති බවත් සිද්ධියට මුහුණ පෑ අය ප‍්‍රකාශ කරති.

රජගෙදර සුරතලූන් වූ කලාකරුවන් යැයි කියාගන්නා ඇතැමුන් මහා මාර්ග කොන්ත‍්‍රාත් පවා භාරගෙන ධන කුවේරයන් බවට පත් වෙද්දී පසුගිය විසි පස් වසරකට තරම් කාලයක් මුළුල්ලේ පැනනැගුණු සියලූ පොදු ජන අරගල පෝෂණය කරමින් සැබෑ කලාකරුවකු සතු හා යුතුකම අභිමානය ප‍්‍රකට කළ ජයතිලක බණ්ඩාර කලාකරුවාට එලෙස හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට කළ බලවත් අවමානයකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මෙය, මාසයක් ඇතුළත ආණ්ඩු පක්ෂයේ මැරයන් අතින් ඔහු ප‍්‍රහාරයට ලක් වූ දෙවැනි වතාවය.

රටට නිදහස උදාකරදුන්නේයැයි කියන ජනාධිපතිවරයාගේ ගම් ප‍්‍රදේශයේදී ඔවුන් මුහුණ පෑ මෙම බිහිසුනු අත්දැකීම, අද මුළු රටේම ජනතාව පත්ව සිටින අවාසනාවන්ත ඉරණම පිළිබඳ සංකේතයක් ලෙස අපි දකිමු.

රටේ නීතියේ පාලනය බිඳවැටී ඇති බවටත්, පාලක රෙජීමයේ අනුග‍්‍රහය ලබන පුද්ගලයන්ට ඕනෑම අපරාධයක් සිදුකොට නිදැල්ලේ සිටිය හැකි වාතාවරණයක් රට තුළ පවතින බවත් අප පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙම අවාසනාවන්ත සිදුවීම, මීට මාස කිහිපයකට පෙර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීමේ සෘජු ප‍්‍රතිපලයක් බව කීමට අපි මොහොතකට හෝ පැකිළෙන්නේ නැත.

නීතියේ ආධිපත්‍ය වෙනුවට, මුළුමනින්ම විධායකයේ අභිලාෂයන්ට නතු වූ පොලීසියකින් ජනාධිපතිවරයාගේ සුරතලකු සම්බන්ධයෙන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේ අර්ථයක් ඇතැයි අපි විශ්වාස නොකරමු. එහෙත් මැතිවරණයක් ප‍්‍රකාශයට පත්වී තිබෙන මේ මොහොතෙහි නීතියෙහි පාලනය තහවුරු කිරීම කෙරෙහි උපරිම අන්දමින් මැදිහත් වන ලෙස අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.
මේ රටේ යළිත් නීතියේ පාලනය ස්ථාපනය කොට, පුරවැසියන් විසින් කාලාන්තරයක් මුළුල්ලේ මහත් කැපවීම් සිදුකර දිනාගත් අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳිය හැකි වාතාවරණයක් බිහි කර ගැනීම වෙනුවෙන් අරගලයක නිරතව සිටින අපි, මේ තීරණාත්මක මොහොතේ එම අරමුණ වෙනුවෙන් අත්වැල් බැඳගන්නා ලෙසත් සිය යුතුකම උපරිම අන්දමින් ඉටු කරන ලෙසත් සියලූ යුක්තිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

(සුනිල් ජයසේකර.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙ කැඳවුම්කරු විසින් නිතුක් කරන ලද නිවේදනයකි)

 

Archive

Latest news

Related news