Saturday, April 20, 2024

පොලීසියේ සිටි සැකකරුවන් පැහැර ගනී. සිනමා ශාලාවට ප්‍රහාරයක්. තැපැල් ජන්ද කොල්ල සූදානමක්

සිනමා ශාලාවට එල්ල වූ මැර ප්‍රහාරය)
කැෆේ මැතිවරණ වාර්තා අංක 37 –

වදුරඹ පොදු අපේක්ෂක වේදිකාව ගිණි තැබීම -මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන යයි.
ගාල්ල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් මෙයට සුඵ වේළාවකට පෙර වදුරඹ එජාප වේදිකාව ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා පැහැර ගෙන ගොස් ඇත.

වදුරඹ ගිණි තැබීමට සම්බන්ධ සැකකරුවන් අද බද්දේගම මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඔවුන් උසාවිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ දී පැමිණි මන්ත්‍රීවරයා ඇතුඵ පිරිසක් මෙම සැකකරුවන් පැහැරගෙන ගොස් ඇත. පොලිස් බාරයේ සිටි සැකකරුවන් පැහැරගෙන යන අවස්ථාවට වැලැක්වීමට ආයුධ සන්නධව සිටි පොලිස් නිලධාරීන්ට, සිවිල් ආරක්ෂක නිළධාරීන් හෝ මහා මාර්ග රාජකාරියේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකිවී නොමැත. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ වදුරඹ රැස්වීමට සකස් කොට තිබූ වේදිකාව සහ රැස්වීමට රැගෙන විත් තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පැටවූ ලොරිය දෙසැ. 17 දින ගිණි තබා විනාශ කිරීම මෙවර මැතිවරණයේ මේ දක්වා වාර්තා වූ ප්‍රචණ්ඩක්‍රියා අතර සුවිශේෂ වේ.

රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට පෙ.ව. 6 දක්වා පොලිස් ආරක්ෂාව ලබා දී තිබු අතර පෙ.ව. 6.05 ට පොලිස් නිළධාරීන් ඉවත් වී විනාඩි 5 ක් තුල මෙම ප්‍රහාරය හා ගිණි තැබීම සිදු විය.

තම ආධාරකරුවන් නිදහස් නොකරන්නේ නම් තමත් දැඩි ක්‍රියාමාර්ග ගණ්නා බව දෙසැ. 19 දින නියෝජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍යයට පවසා තිබුණි. පොලීසිය මන්ත්‍රීවරයා ගේ වාහනය පසුපස ගොස් සැකකරුවන් නැවත පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත් මන්ත්‍රීවරයා හෝ වෙනත් කිසිවෙකුත් මේ දක්වාම අත් අඩංගුවට ගෙන නැත.

මුලතීව්, කිලිනොච්චි පුනරුත්ථාපනය වූ 4000 කට තැපැල් ඡන්දය
එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කොට පුනරුත්ථාපනය වූ දැනට සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන 4000 කට වැඩි පිරිසකට මෙවර තැපැල් ඡන්ද හිමිකම් ලබාදී ඇත. පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේ දී මේ පිරිස තැපැල් ඡන්දය ඉල්ලුම් කළද ඔවුනට එම හිමිකම අහිමි විය.

මේ පිළිබදව පළමු වරට කැෆේ සංවිධානය දෙසැ. 16 දින මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ලිඛිත විමසීමක් සිදු කළේය. ‘කිලිනොච්චියේ 2098 කට සහ මුලතීව් හි 2053 කට තැපැල් ඡන්දය හිමිවීමේ පදනම කුමක්ද යන්න‘ එමගින් විමසා සිටියේය. එම විමසීමට දුරකතන මගින් පිළිතුරු දුන් කොමසාරිස්වරයා පවසා සිටියේ ‘මැතිවරණ කටයුතු සදහා මෙම සිවිල් ආරක්ෂක භටයින් යොදා ගැනීමට පොලීසිය අදහස් කොට ඇති බැවින් තමන් මේ පිරිසට තැපැල් ඡන්ද අයිතිය ලබා දීමට එකග වූ බවයි.

අද දින දේශපාලන පක්ෂ නායකයිගේ රැස්වීමේ දී ද කොමසාරිස්වරයා මේ පිරිස මැතිවරණයේ ආරක්ෂාවට සහායවීම සදහා රාජකාරියේ යෙදවීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය. පොළොන්නරුව, අම්පාර වැනි ප්‍රදේශවල සිවිල් ආරක්ෂක භටයින්ට මෙයට පෙර තැපැල් ඡන්ද හිමිකම ලබා දී තිබුණි. හමුදාව විසින් නඩත්තු කරනු ලබන ගොවිපලවල කම්කරුවන් ලෙස මේ පිරිස් සේවයේ යොදවා ඇත.කෙසේ නමුත්, කොමසාරිස්වරයා පවසන්නේ තමන් මේ ස්ථානයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරීම සදහා නිරීක්ෂණය සදහා අතිරේක නිලධාරීන් යොදවනු ලබන බවයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ආයතන ප්‍රධානීන්ගෙන් බලපෑම් එල්ලවීමට ඇති අවකාශය විශාල බැවින් මේ සම්බන්ධයෙන් අතිරේක විධිවිධාන යොදවීම අත්‍යවශ්‍ය බව කැෆේ සංවිධානයේ විශ්වාසය යි.

මන්ත්‍රී මුතුහෙට්ටිගම සැකකරුවන් පැහැරගෙන යති.
මඩකලපුව, චෙන්කල්අඩි එජාප ආසන සංවිධායක කනපති පිල්ලේ මෝගන් මහතාට අයත් සිනමා ශාලාව දෙසැම්බර් 18 වන දින රාත්‍රි 11 ට පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ. සුදු පැහැති වෑන් රථයක පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. (ඡායාරූප අමුණා ඇත) ප්‍රහාරයෙන් සිනමා ශාලාවට විශාල අලාභයක් සිදුව ඇත.

රජයේ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ බදුල්ල මහ නගර සභාවට බඳවා ගැනීම සඳහා බව පවසමින් දෙසැ. 19 බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. මේ පිළිබද කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද පැමිණිල්ලක් යොමු කළේය.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට බලපෑම් එල්ල කිරීමේ සුදානමක්
නාරාහේන්පිට පිහිටි ශ්‍රීලංගම ප්‍රධාන කාර්යාලයේ සහ සෙසු ඩිපෝවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ල කිරීමේ සූදානමක් පිළිබදව කැෆේ සංවිධානය වෙත තොරතුරු වාර්තා වී තිබේ. දෙසැම්බර් 23 හා 24 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීමට පැමිණෙන පක්ෂ නියොජිතයින් බියගන්වා පළවා හැරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සැලසුම් කිරීම සඳහා ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ සභාපති නිමල් අබේසිරි විසින් නාරාහේන්පිට ශ්‍රිලංගම ප්‍රධාන කාර්යාලයේ රැස්වීමක්ද පවත්වා තිබේ.
මැතිවරණ කොමසාරිස්තුමා විසින් ශ්‍රිලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වෙත යොමු කර ඇති අංක PCE /2015/19/ALL D 18 දරණ ලිපියේ සඳහන් උපදෙස් ද නොතකා හරිමින් ශ්‍රිලංගම සේවකයින්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට බලපෑම් එල්ල කිරීමේ මෙම සැලසුම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය අද ඔහුගේ අවධානය නැවත යොමු කළේය.
දෙසැ. 19 දින දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 370 කි. එයින් 38 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 332 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය 2014 දෙසැ. 19

Archive

Latest news

Related news