Saturday, April 27, 2024

අලුත්ගම පිට්ටනිය මෛත්‍රීීට නෑ, මහනුවර අත්පත්‍රිකා තහනමක්, එජාප මංත්‍රීට තුවාල

කැෆේ  වාර්තාව 36-

පොදු අපේක්ෂකයාට අලුත්ගම පිට්ටනිය නෑ.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දෙසැ. 18 දින බේරුවල දී පැවැත්වීමට නියමිත ජන රැළියට අලුත්ගම මහජන ක්‍රීඩාංගනය ලබාදීම බේරුවල ප්‍රාදේශීය සභාව විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
අලුත්ගම දී පැවැත්වෙන බොහෝ ජාතික මට්ටමේ මැතිවරණ රැස්වීම් පවත්වනු ලැබූවේ මහජන ක්‍රීඩාංගනයේ ය. ඒ ආරක්ෂාව සහ පහසුකම් සැලසීමට ඇති අවස්ථාවන් නිසාය. කෙසේ නමුත් වැලිපැන්න පාරේ සතිපොළ පුද්ගලික ඉඩමක රැළිය පැවැත්වීමට නියමිතය. සුදුසු ආරක්ෂක ස්ථාන රැස්වීම් පැවැත්වීම සදහා ලබා නොදීම නිසා ජනාධිපතවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ද, ජාතික දේශපාලන නායකත්වයේ ද ජීවිත අවදානමේ හෙළීමක් බව කැෆේ සංවිධානය නැවත නවතත් අවධාරණය කරයි.

ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් භාණ්ඩ බෙදීම නවතයි
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඡන්දදායකයින් පිරිසකට භාණ්ඩ බෙදාදීමට දැරූ උත්සාහය මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් වලක්වා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් සිල්වා සහා හික්කඩුව නගරාධිපති විනී කාරියවසම් විසින් මෙම භාණ්ඩ බෙදාදීම සංවිධානය කොට තිබුණි.

මහනුවර අත් පත්‍රිකා බෙදූ කථිකාචාර්ය හිර කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුගලන් මිත්‍රපාල සහ ආචාර්ය විමල් ප්‍රනාන්දු යන අය තමන් විසින් සකස් කළ අත් පත්‍රිකාවක් මහනුවර නගරයේ බෙදා හැරීමට උත්සහ කර ඇත. දෙසැ. 17 දින පෙරවරුවේ අත් පත්‍රිකා බෙදීමට ලංකා ගුරු සංගමයේ රේණුකා මලියගොඩ මහත්මිය ඇතුඵ කණ්ඩායමක් ද එක් වී ඇත. නගර සභාව අසල දී අත් පත්‍රිකා බෙදමින් සිටිය දී පැමිණි මහනුවර නගරාධිපතිවරයාගේ පුද්ගලික ආරක්ෂකයින් කථිකාචාර්යවරුන් දෙදෙනා කාමරයකට රැගෙන ගොස් හිර කොට ඇත. මෙම ස්ථානයනට පැමිණි අත් පත්‍රිකා බෙදීමට සහාය දක්වන පිරිසට පහරදීමක් ද සිදුවූ ඇති අතර මලියගොඩ මහත්මියගේ අතට තුවාල සිදු වී ඇත. මේ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇත.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දක්වන ලෙස බෙදා හරිනු ලැබූඅත් පත්‍රිකාවේ සදහන් වේ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු නොවන මැතිවරණ ව්‍යාපාරයක නිදහස් බව යථාර්ථයක් නොවේ. පුරවැසියන් හා සංවිධානය වෙත නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමට ත්, එම අදහස් ජනතාව වෙත සන්නිවේදනය කිරීමටත් අවශ්‍ය නිදහස තහවුරු කරන ලෙස කැෆේ සංවිධානය දැඩිව ඉල්ලා සිටී.

ඇහැළියගොඩ එජනිස සාකච්ඡාවකට එජාපය කඩා වදී
ගිණි අවි සමග පැමිණි එජාප පලාත සභා මන්ත්‍රී ට තුවාලයි.

රත්නපුර, ඇහැළියගොඩ ජිලානි හෝටලයේ පැවති එජනිසයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් කලබැගෑනියක් ඇති කර ඇත. කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් ප්‍රහාරයට පැමිණි කිරිඇල්ල මහතා ට තියුණු ආයුධයකින් තුවාලයක් සිදු ව ඇත. එජාප කණ්ඩායම විසින් පහරදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් කාන්තාවන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කොට ඇත.
ප්‍රහාරයට ලක් වූ එජනිස ආධාරකරුවන් පවසන්නේ තමන්ට පොලු, රීප්ප සහ ගිණි අවි සහිතව පැමිණි සිරිපාල කිරිඇල්ල, හැරිස් කිරිඇල්ල යන එජාප මහජන නියෝජිතයින් ද ඇතුලත් කණ්ඩායමක් විසින් පහර දුන් බවයි.
මෙම රැස්වීමට සහභාගී වී ඇත්තේ සමෘද්ධි නිළධාරීන්, කෘෂිකර්ම සහායකයින් ඇතුඵ පිරිසකි. පවිත්‍රා වන්නිආරච්ච් සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ද එයට සහභාගි වන බවට දැනුම් දී තිබුණි. මෙම රැස්වීම නීති විරෝධී බවට පැමිණිලි ද මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත යොමු කොට තිබුණි. ගැටුම ඇති වන විට ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ස්ථානයේ සිට ඇත.
කැෆේ සංවිධානය වෙත මේ දක්වා පැමිණිලි 331 ක් ලැබී ඇත. එයින් පැමිණිලි 37 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් වන අතර ඒ අතර ගිණි අවි භාවිතයෙන් සිදු කළ ප්‍රචණ්ඩක්‍රියා 12 ක් ද වේ.

මාධ්‍ය ඒකකය/කැෆේ සංවිධානය 2014 දෙසැම්බර් 18

Archive

Latest news

Related news