Thursday, April 25, 2024

රාජපක්‍ෂ ආණ්ඩුව තුළ තියන්නේ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය විතරයි – මෛත‍්‍රී

රාජපක්‍ෂ ආණ්ඩුව තුළ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය ඕනෑවටත් වඩා ඇති බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල කියයි! අද, එනම් දෙසැම්බර් 10 වෙනිදා ට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය මූලිකකොට ගෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට යළි ස්ථාපිත කරවීමෙහිලා ශ‍්‍රි ලංකාවේ සිවිල් සංවිධාන එ්කරාශී වෙමින් සකස් කරන්නට යෙදුණු සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත‍්‍රි‍්‍රිපාල සිරිසේන වෙත පිළිගන්වනු ලැබිණි. රාජපක්‍ෂ ආණ්ඩුව තුළ බොරුව වංචාව දුෂණය හා ඒකාධිපති වාදය ඕනෑවටත් වඩා ඇති බවත් යුද්ධය දිණා සාමයක් ඇතිවුව ද, රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව ගමන්කරන්නෙ තමන් ඇතුළු බහුතරයක් දෙනා අපේක්‍ෂාකළ ගමනක නොවන බව සිවිල් සමාජ සංවිධාන සමුළුව අමතමින් පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන කියා සිටියේය.

“වියරුවට එරෙහිව-ජීවිතය වෙනුවෙන්”, “විදියේ විරෝධය” සිවිල් සංවිධාන සාමුහිකය විසින් අදට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු වස් කොළඹ වැල්ලවත්ත සෆායර් හෝටලයේදි සිවිල් සමාජ සංවිධාන සමුළුවක් සංවිධානය කර තිබුණු අතර එම සමුළුව අවස්ථාවේදි ජනාධිපතිවරණය සඳහා තරගවදින විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන වෙත සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිගැන්වීය.

“මේ රටේ අපි අපේක්‍ෂා කරපු සාමය සහෝදරත්වය නැහැ. ජාතින් වශයෙන් ආගම් වශයෙන් දේශපාලන වශයෙන් හා සිවිල් වැසියන් වශයෙනුත් රටේ ජනතාව බෙදී වෙන්වී ජීවත් වෙනවා. මේ වාතාවරණය ඉතාම කඩිනමින් වෙනස් විය යුතුයි. යහපත් විය යුතුයි. සිවිල් සංවිධාන විධියට ඒ සඳහා අපිට සැළැස්මක් නැතහොත් ප‍්‍රතිසංස්කරණ ලියවිල්ලක් තිබෙනවා. මේ රටේ යහපාලනයක් ඇතිකිරීම සඳහා අපි අපේම යෝජනා වලියක් අද පොදු අපේක්‍ෂකයා හට පිළිගන්වනවා. රෙජීමය විසින් ඉදිරිපත්කරන යෝජනාවලියකට අපි කිසිසේත්ම කැමති නැහැ. රටේ දැනට සිටින රජ්ජුරුවෝ අපි අපේක්‍ෂාකරන දෙය කරන්නෙ නැහැ. රජ්ජුරුවෝ තමන්ගෙ පරම්පරාව තනන එකයි කරන්නේ. ඒ නිසා ඔබත් අපිත් සියලූම දෙනා එකතුවෙලා ප‍්‍රතිසංස්කරණ තුළින් වෙනසකට යාමට අවශ්‍ය කරන පියවර ගන්නට ඕනෙ. අපි තුළ පෞද්ගලීක න්‍යාය පත‍්‍ර නැහැ. අපිට අවශ්‍ය කරන්නේ අපිටත් අපේ දරුවන්ටත් වඩා යහපත්වු සමාජයක් නීතිගරුක නිදහසින් ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් බිහිකර ගැනීමයි. ඒ සඳහා අප මෙන්ම ඔබ ද වඩ වඩාත් සම්බන්ධව ක‍්‍රියා කළ යුතුයි.” යනුවෙන් මෙදින වැඩසටහනේ අරමුණ පැහැදිළි කරමින් හර්මන් කුමාර පැවසීය.

සිවිල් සමාජ ප‍්‍රතිපත්ති ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය භාරගත් මෛත‍්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂක සභාව අමතමින් මෙසේ ද ප‍්‍රකාශ කළේය.

සමුළුවට පැමිණි පිරිසෙන් කොටසක්
සමුළුවට පැමිණි පිරිසෙන් කොටසක්

”විශේෂයෙන්ම අපේ රටේ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වුවත් එය සැබැ ලෙස ජනතාවාදි ලෙස ක‍්‍රියාත්මක නොවන ඉටුනොවන දේශපාලන පරිසරයකයි තමුන්නාන්සේලා අපි ජීවත්වන්නේ. යුද්ධය අවසන්කරලා රටේ සාමය ඇතිවුවත් අපි බලාපොරොත්තුවු ගමන නෙවෙයි මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව ගමන්කරන්නේ. සම්පුර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජයක තිබිය යුතු ලක්‍ෂණයන් ප‍්‍රභවයන් ඒ ප‍්‍රභුද්ධ භාවය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය විසින් යටපත් කරලා තිබෙනවා. අපේ රටේ අධිකරණ ක්‍ෂේත‍්‍රය පිළිබඳව කථාකරන විට අද ඔබ අප දන්නවා එය මහා ඛේදවාචකයක්. ඒ නිසා නීතියේ ආදිපත්‍ය තහවුරු වීම ඉතාම අත්‍යවශ්‍යයි රටකට. එය අපේ රටට ඉතාම අත්‍යවශ්‍යවු කාරණාවක්. ඒ තුළ අපි කථාකරන කරුණු, සිවිල් ජනතාවට අවශ්‍ය නිදහස හා සමානාත්මතාවය, යුක්ති ගරුක හා නිදහස් සමාජය අපේ රටේ පිළිඹිඹු වන්නේ නැහැ. සංවර්ධනය පිිළිබඳව මහා ලොකුවට උදම් අනමින් මධ්‍යම මහා බැංකුවේ අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් රටතුළ මහා සමෘද්ධියක් ඇති කළ බව, ඇතිකරන බව ආණ්ඩුවේ නායකයින් ප‍්‍රකාශ කළත් , අභ්‍යන්තරයේ අපි දකින්නේ මහා හිස් බවක්.”

”මුළු අමාත්‍යංශ හා මුළු රාජ්‍ය ආයතන මෙහෙයවන්නේත් තනිකරම අරලියගහ මන්දිරයේ දුරකථන ඇමතුම් වලින්. ඒ නිසා කිසිම ඇමතිවරයෙකුට නිදහසේ වැඩකිරීමේ හැකියාවක් නැහැ. තමන්ගේ ස්වාධින මතය හා තමන්ගේ බුද්ධිය, දැනුම, නිර්මාණශීලී භාවය තුළ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. එය ඉතාම පැහැදිළිව අද ආණ්ඩුවේ ඉන්න සියලූ මැති ඇමතිවරු දන්නවා. ඒ අයගේ හෘද සාක්‍ෂිය දන්නවා. නමුත් බලය වරප‍්‍රසාද සඳහා ඒගොල්ල ඒ තනතුරු වල රැුදී සිටිනවා. එහෙත් බලය හා වරප‍්‍රසාද සම්පුර්ණයෙන්ම ඉවතදාලා මම ජනතාව කෙරෙහි විශ්වාසය තබලා තමුන්වහන්සේලා හමුවට ආවේ.”

”තමුන්වහන්සේලා ඉදිිරිපත් කරපු සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් ඉහළම අගයක් හා වටිනාකමක් දීලා කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්නට ඕනෙ. මේ ප‍්‍රකාශනය කියවලා අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ යම් අඩුපාඩු තිබෙනවා නම් ඒවාට මෙහි සඳහන් කරුනු ඇතුලත් කිරීමට විශේෂයෙන්ම කටයුතු කරනවා කියන එකත් සඳහන් කරන්න ඕනෙ. තමුන්වහන්සේලා මා කෙරෙහි කිසිඳු සැකයක් ඇතිකරගන්නට එපා. මම ජනාධිපතිධුරය සඳහා ඉල්ලූම්කරලා තිබෙන්නෙ , මම ඒ පුටුවට යන්නේ මම ඉන්න නෙවෙයි. මම ඒ පුටුවට යන්නේ, ඒ පුටුවේ බලය අවසන් කරලා මම ආපහු ගෙදර යන්නයි මම එන්නෙ. ඒක බොහොම පැහැදිළිව තේරුම් ගන්න ඕනෙ.” යනුවෙන් මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රකාශ කළේය. (සම්පුර්ණ කථාව පසුව පළකරනු ඇත

ජායාරූප සහ සටහන මෙලනි මානෙල් පෙරේරා විසිනි-

– අයිතිය වෙබ් අඩවියෙනි

Archive

Latest news

Related news