තොරතුරු අයිතිය කප්පාදු කර කොමිසම අකර්මණ්‍ය කිරීමේ රජයේ උත්සාහයට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විරෝධය දක්වයි! 

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම සුරක්ෂිත කිරීම ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රජයක මූලික වගකීමකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති ජනතාවගේ මෙම මූලික අයිතිවාසිකම කිසිදු අයුරකින් උල්ලංඝනය නොකරන ලෙස ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) රජයෙන් ඉතා දැඩිව ඉල්ලා සිටී.
2026 මැයි මස 13 වැනිදා අප සංගමයේ නියෝජිතයින් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය අතර පැවති නිල සාකච්ඡාවේදී, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI Act) සංශෝධනය කිරීමට රජය පියවර ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් නිල වශයෙන් අනාවරණය කරන ලදී.
මෙම ප්‍රකාශයත් සමඟ, වත්මන් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත වෙනස් කරමින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) ක්‍රමයෙන් අකර්මණ්‍ය කිරීමට සහ අගාධයට ඇද දැමීමට සූදානම් වන බව අප සංගමය නිරීක්ෂණය කර සිටිමු.
අද වන විට තොරතුරු කොමිසම මුහුණ දී ඇති බරපතළ කඩා වැටීම් සහ ගැටලු රැසක් ජනමාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පොදු මහජනතාව විසින් ද පෙන්වා දී ඇත. අප සංගමය නිරීක්ෂණය කළ ප්‍රධාන ගැටලු කිහිපයක් පහත පරිදි වේ:
• කාර්ය මණ්ඩල සහ සේවක හිඟය: කොමිසම තුළ නීතිමය ලේඛන සකස් කිරීම සඳහා ප්‍රමාණවත් විශේෂඥ පිරිසක් නොමැති අතර, සමස්ත ආයතනයේම සේවක පිරිස සීමිත මට්ටමකට ඇද දමා ඇත.
• කොමිසමේ සාමාජිකයින් නොමැතිකම: කොමිෂන් සභාවේ නියමිත සාමාජිකයින් 05 දෙනාම සම්පූර්ණව සිටින අවස්ථා අවම වීම නිසා, ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු තීන්දු තීරණ දින නියමයක් නොමැතිව කල් යෑම විශාල ගැටලුවක් වී ඇත.
• පොදු අධිකාරීන්ගේ අකීකරුකම: රජයේ ආයතන (පොදු අධිකාරීන්) තොරතුරු කොමිසම කෙරෙහි දක්වන බිය සහ ගරුත්වය ක්‍රමයෙන් ගිලිහී යමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී රජයේ ආයතන කොමිසමට දක්වන සහයෝගය සම්පූර්ණයෙන්ම ගිලිහී යා හැකිය.
• ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වැරදි පුර්‍වාදර්‍ශය: ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙතින් ඉල්ලා සිටින ලද තොරතුරු ඉල්ලිම් සඳහා තොරතුරු ලබා නොදී සිටිම. එම තොරතුරු ලබා ගැනිම සඳහා අධිකරණය ඉදිරියට යෑමට සිදුවිම. ඒ අනුව හිතාමතාම තොරතුරු ලබා දිම පැහැර හැරිම නරක පුර්‍වාදර්‍ශයකි.
පොදු මහජනතාව සහ ජනමාධ්‍යවේදීන් රජයේ ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටීම වත්මන් ආණ්ඩුවට විශාල ගැටලුවක් වී තිබේ ද? රජය මෙම ඓතිහාසික පනත සංශෝධනය කිරීමට සූදානම් වන්නේ මහජනතාවට තොරතුරු ලබාදීම වැළැක්වීමේ අරමුණින් ද? යන්න පිළිබඳව අප තුළ බරපතළ සැකයක් මතු වේ.
තොරතුරු දැනගැනීමේ කොමිසම සහ පනත ආරක්ෂා කර ගැනීම සමස්ත ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේම වගකීමකි. එම නිසා, ව්‍යවස්ථාපිත ආයතනයක් වන තොරතුරු කොමිසමට අවශ්‍ය සම්පත් සහ සාමාජිකයින් වහාම ලබා දී එය ශක්තිමත් කරනවා වෙනුවට, පනත් සංශෝධන මුවාවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පටු දේශපාලන අවශ්‍යතා මත කප්පාදු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව අප සංගමය සිවිල් සමාජය සහ සියලුම මාධ්‍ය සංවිධාන පෙරටු කරගනිමින් දැඩි විරෝධතා ව්‍යාපාරයකට එළඹෙන බව රජයට අවධාරණය කර සිටිමු.
  සභාපති – රංග බණ්ඩාරනායක
ලේකම් – මිතුන් ජයවර්ධන
2026-05-19 ප්‍රවෘත්ති නිවේදනයකි

Archive

Latest news

Related news