ඉලපත මඩ ගොහොරුවේ ගෑවෙන විට: දූෂණ විරෝධය, දේශපාලන බිඳෙන සුලු බව සහ ඉන්දියාවේ ආම් ආද්මි (AAP) පක්ෂයෙන් උගත හැකි පාඩම් (01) – ලයනල් බෝපගේ
ඡායාරූපය: ආ ආම් ආද්මි පක්ෂයේ ළකුණ ඉලපතය!
මැතිවරණ දෙකක්, එක් අනතුරු ඇඟවීමක්
2024 සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල දී, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව, ජනතා අප්‍රසාදයේ ඓතිහාසික රැල්ලක් මතින් බලයට පත් විය. දශක ගණනාවක් මුල් බැස තිබුණු දූෂණය, පාරම්පරික දුෂ්පාලනය සහ 2022 ව්‍යසනකාරී ආර්ථික බිඳවැටීම නිසා හෙම්බත්ව සිටි ඡන්දදායකයෝ, රටේ දේශපාලන සංස්කෘතියේ ක්‍රම පද්ධතික පරිණාමනයකට වඩා අඩු යමක් පොරොන්දු නොවුන පිටස්තර ව්‍යාපාරයක් වෙත යොමු වූහ.
වයඹ දෙසින් කිලෝමීටර් දහස් ගණනක් එපිට, දශකයකට කලින් කැපී පෙනෙන අන්දමේ සමාන කතාවක් දිග හැරුණි. 2015 දී, ඉන්දියාවේ බහුජන දූෂණ-විරෝධී ව්‍යාපාරයෙන් බිහිව ආ ආම් ආද්මි පක්ෂය (AAP) ආසන 70 න් 67 ක් දිනා ගනිමින් දිල්ලි මන්ත්‍රණ සභාවට කඩා වැදුණි. ඉන්දියානු දේශපාලන ස්ථාපිතය සොලවා ලූ නාය යෑමක් වූ එය, ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා නව සැකිල්ලක් ලබා දුන්නේය. වසර දහයකට පසු, 2025 පෙබරවාරි මාසයේ දී, භාරතීය ජනතා පක්ෂය (BJP) දිල්ලිය අත්පත් කර ගත් විට, AAP පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන 22 ක් පමණි. AAP යේ ඉහළම නායකයින් සිරගත කරනු ලැබ, එහි කතා වස්තුව දෙදරා ගොස්, එහි පාර්ලිමේන්තු ශ්‍රේණින් ඇතුළතින් කැඩී බිඳී ගොස් ඇත.
AP යේ නැගීම හා වැටීම ද, NPP යේ වත්මන් ගමන් පථය ද අතර ඇති සමාන්තරයන් අහඹු ඒවා නොවේ. ඒවා උපදේශාත්මක වේ. ශ්‍රී ලංකාවේ NPP ආණ්ඩුව තවමත් ක්‍රම පද්ධතික වෙනසක් පිළිබඳ සැබෑ අවස්ථාවක් නියෝජනය කරන බව විශ්වාස කරන අයට, AAP යේ කතාව හුදෙක් විදේශීය රටක සිදු වූ අනතුරු ඇඟවීමේ කතාවක් පමණක් නොවේ. එය වත්මන් මොහොත වෙත ඔසවා තබන කැඩපතක් වේ. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඒ පිළිබඳව අවංකව සොයා බලයි ද යන්නයි.
පිටස්තර ව්‍යාපාර: එකම පසකින් උපත ලද
AAP ය සහ NPP ය යන දෙකම නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැඹුරු අර්බුදවලින් මතුව ආහ. දිගු කලක් රාජ්‍ය සම්පත් පුද්ගලික දේපළ ලෙස සලකා කටයුතු කළ දේශපාලන පාරම්පරික හා අනුග්‍රාහක ජාලයන් කෙරෙහි මහජන කෝපය යොමු කරවමින් AAP ය, 2011 වසරේ දූෂණ විරෝධී ඉන්දීය ව්‍යාපාරයෙන් වර්ධනය වූයේය. එහි නිර්මාතෘ – හිටපු සිවිල් සේවකයෙකු වූ – අරවින්ද් කෙජ්රිවාල් පවිත්‍ර, කාර්යක්ෂම, පුරවැසි නායකත්වයෙන් හෙබි දේශපාලනයක ප්‍රතිඥාව මූර්තිමත් කළේය. පක්ෂයේ ප්‍රසිද්ධ සටන් පාඨය සරල එකක් විය; ඒ ආම් අදාමි, පොදු ජනතාව උදෙසා පාලනය කිරීම යි.
ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) එහි හරය වශයෙන් ගෙන ඒ වටා ගොඩනගා ගත් ජාතික ජන බලවේගය (NPP ය), රාජපක්ෂ යුගයේ දූෂණයෙන් හෝ එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථකත්වයන් ගෙන් නොකිලිටි වූ පිටස්තරයෙකු ලෙස ස්ථාන ගත විය. 2022 ආර්ථික ව්‍යසනයට නායකත්වය දුන් ආණ්ඩු වලට කැපී පෙනෙන අන්දමින් සහභාගි නොවීම ඇතුළුව දශක ගණනාවක් විපක්ෂයේ සිටීම, කිසිදු ස්ථාපිත පක්ෂයකට හිමිකම් කිව නොහැකි අන්දමේ සදාචාරාත්මක විශ්වසනීයත්වයක් එයට ලබා දුන්නේය. නිහතමානී ග්‍රාමීය සම්භවයක් සහ රාජ්‍ය මර්දනයෙන් දිවි ගලවා ගත් පෞද්ගලික ඉතිහාසයක් සහිත දිසානායක ජනාධිපතිවරයා, අඛණ්ඩතාව සහ අව්‍යාජ භාවය පිළිබඳ සිත් ඇද ගන්නා කතා වස්තුවක් මූර්තිමත් කළේය.
දෘෂ්ටිවාදාත්මක පෙළගැස්මක් නොව වෙනස සදහා ආශාවක්
අවස්ථා දෙකේ දීම, ඡන්දදායක පදනම නිර්වචනය කරන ලද්දේ දෘෂ්ටිවාදාත්මක පෙළගැස්ම මගින් නොව වෙනස් දෙයක් සඳහා වන දැඩි ආශාවක් මගිනි. ඡන්දදායකයෝ AAP ය හෝ NPP ය සඳහා ඡන්දය දුන්නේ ඔවුහු ඔවුන්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කළ නිසා නොවේ. ඔවුන් ඡන්දය දුන්නේ ඔවුන් තවදුරටත් වෙනත් කිසිවෙකු විශ්වාස නොකළ බැවිනි. මෙම වෙනස බෙහෙවින් ම වැදගත් වේ. එයින් අදහස් වන්නේ ජනවරම කොන්දේසි සහිත, බිඳෙන සුලු සහ සංජානනීය කුහකත්වයේ විනාශකාරී බලපෑම් වලට දැඩි ලෙස ගොදුරු විය හැකි බවයි.
AAP යට එරෙහි BJP නාටක පොත – සහ ශ්‍රී ලංකාව තුළ එහි දෝංකාරය
AAP ය දිල්ලියේ බලයට පත් වූ මොහොතේ සිට, මධ්‍යම ආණ්ඩුව පාලනය කළ BJP ය, AAP ය නීති විරෝධී කිරීමට, අකර්මණ්‍ය කිරීමට සහ අවසානයේ විනාශ කිරීමට තිරසාර හා නිර්දය ව්‍යාපාරයක් දියත් කලේය. දකුණු ආසියාවේ දේශපාලනය නිරීක්ෂණය කළ ඕනෑම කෙනෙකුට මෙම මෙවලම් හුරුපුරුදු ය. මධ්‍යම විමර්ශන ආයතන අවි ගත කිරීම, (සැබෑ, අතිශයෝක්තියට නැංවූ සහ ගෙතූ) දූෂණ චෝදනා වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායක උපාමාරු මගින් දිල්ලි ආණ්ඩුවේ පරිපාලන බලතල සීමා කිරීම සහ පක්ෂපාතී මාධ්‍ය වේදිකා හරහා නිමක් නැතිව දියත් කරන ප්‍රචාරක ප්‍රහාරය, එවැනි මෙවලම් ය.
දිල්ලි මත්පැන් ප්‍රතිපත්තියට අදාළ චෝදනා මත කෙජ්රිවාල් සහ ඔහුගේ නියෝජ්‍ය අමාත්‍ය මනීෂ් සිසෝඩියා ඇතුළු AAP යේ ඉහළම නායකයින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට BJP ය, බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩලය (ED) සහ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) භාවිතා කළේය. නීතිමය සුදුසුකම් කුමක් වුවත්, දේශපාලන බලපෑම විනාශකාරී වූයේය. එහි නායකත්වය සිරගත කිරීමත් සමඟ, AAP යට පාලනය කිරීම වෙනුවට සදාතනික ලෙස ආත්මාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ඉරියව්වකට යන්නට සිදු විය. එහි අයවැය කපා හරින ලදි; එහි යෝජනා ක්‍රමවලට බාධා පමුණුවන ලදි; එහි නිලධාරීන් තේරී පත් වූ අමාත්‍යවරුන් වෙනුවට, තේරී පත් නොවූ ලුතිනන් ආණ්ඩුකාරවරයෙකුට උත්තර බඳින තත්වයකට පත් කරන ලදී.
බරපතළ දූෂණ චෝදනාවලට මුහුණ දෙන දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට BJP ය රැකවරණය ලබා දුන් බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. AAP ය මෙය නිවැරදිව පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, ඡන්දදායකයෝ – විශේෂයෙන් කලක් පක්ෂයේ මූලික පදනම වූ නාගරික මධ්‍යම පාන්තිකයෝ – ප්‍රතිචාර දැක්වූයේ සංසන්දනාත්මක සදාචාරාත්මක ගිණුම්කරණයට අනුව නොව, මාංචු දැමූ AAP නායකයින්ගේ සජීවී, ක්ෂණික ප්‍රතිරූපවලට අනුව ය. දේශපාලනයේ දී, සංජානනය, බොහෝ විට කුරිරු ලෙස, යථාර්ථය පාලනය කරයි.
අද ශ්‍රී ලංකාවේ, විපක්ෂ බලවේග – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් 2022 ව්‍යසනයට දූෂණයෙන් දායක වූ එම දේශපාලන පන්තිවලින් ම උකහා ගත් අය – NPP ආණ්ඩුවට එරෙහිව ව්‍යාපාරයක් දියත් කරමින් සිටින අතර, එම ව්‍යාපාරය, AAP යට එරෙහි BJP යේ නාටක පොතට කිට්ටු සමාන කමකට වඩා වැඩි යමක් දක්වයි. NPP ය අදක්ෂ, දූෂිත සහ කුහක පිරිසක් ලෙස හුවා දක්වමින් පවතී. සෑම ප්‍රසම්පාදන අක්‍රමිකතාවක් ම, ප්‍රමාද වූ සෑම ප්‍රතිසංස්කරණයක් ම, ආණ්ඩුවේ සෑම වැරදි පියවරක් ම ප්‍රවර්ධනය කර, NPP ය එය ප්‍රතිස්ථාපනය කළ ආණ්ඩු වලට වඩා වෙනස් නොවන බවට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කෙරේ.
පැහැදිලිව පෙනෙන පරිදි, තීරණාත්මක වෙනස ව්‍යුහාත්මක ය. ඉන්දියාවේ, BJP ය යනු දිල්ලි ප්‍රාදේශීය ආණ්ඩුවකට පහර දෙන මධ්‍යම ආණ්ඩුව යි. ශ්‍රී ලංකාවේ, NPP ය ජාතික වශයෙන් රට පාලනය කරන අතර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් දරයි. විපක්ෂයට මධ්‍යම ආණ්ඩුවේ බල ලීවර එම ආකාරයෙන් ම යෙදවිය නොහැකිය. නමුත්, AAP ය විනාශ කළ දේශපාලන ගතිකත්වයන් ගෙන් NPP ය ආරක්ෂා වීමට මෙම ව්‍යුහමය වාසිය පමණක් ප්‍රමාණවත් නොවේ. එයින් හුදෙක් අදහස් වන්නේ එම ගතිකත්වයන් වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වනු ඇති බවයි.
දූෂණ විරෝධී ජනවරම: පොරොන්දුව, කාර්ය සාධනය සහ අනතුර
AAP ය සහ NPP ය යන දෙකටම, දූෂණ විරෝධී ජනවරම හුදෙක් ප්‍රතිපත්තිමය වේදිකාවක් පමණක් නොවීය. එය ඔවුන්ගේ සදාචාරාත්මක අධිකාරියේ අත්තිවාරම ද වූයේය. ඔවුන්ගේ පූර්වගාමීන්ගෙන් ඔවුන් වෙන් කර හඳුනා ගත්තේ එයයි. දේශපාලනික වශයෙන් පිටස්තර පුද්ගලයින්ට අවස්ථාවක් ලබා ගැනීමට සැක සහිත ඡන්දදායකයින් පෙළඹවූයේ එයයි.
NPP ආණ්ඩුව මෙම ක්ෂේත්‍රය තුළ අව්‍යාජ හා කැපී පෙනෙන උත්සාහයක් දරා ඇත. දිසානායක ජනාධිපතිවරයා යටතේ, පවතින සමාජ-ආර්ථික සහ දේශපාලන පරිසරය හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට නො වූවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) යලි පණ ගන්වා ඇත. විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලදී. හිටපු අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට එරෙහිව විමර්ශන සහ අධි චෝදනා පත්‍ර ගොනු කිරීම ආරම්භ කර ඇත. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් 2026 පෙබරවාරි මාසයේ දී හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්නා ලද අතර, බොහෝ දෙනා විශ්වාස කළේ එය කිසි විටෙකත් ඉදිරියට නොයනු ඇති බවයි.
සුළු දියුණුවක් පෙන්නුම් කර ඇති ශ්‍රී ලංකාවේ දූෂණ ශ්‍රේණිගත කිරීම, UNDP යේ සහ ජපාන ආණ්ඩුවේ සහාය ඇතිව, NPP ය 2025-2029 සඳහා පුළුල් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් (NACAP) දියත් කළේය. මේවා සැබෑ ජයග්‍රහණ වන අතර, ඒවා එලෙසින් ම පිළිගත යුතුය.
කෙසේ වෙතත්, ඔවුන් ද තර්ජනයට ලක්ව ඇති අතර, තර්ජනය පැමිණෙන්නේ අර්ධ වශයෙන් ඇතුළතිනි. අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් එල්ල වූ CIABOC `චෝදනා පත්‍රයක් ඉදිරියේ බලශක්ති අමාත්‍යවරයාට තාවකාලිකව ඉවත් වීමට ඉඩ නොදී, ඔහු ආරක්ෂා කිරීමට NPP ය ගත් තීරණය, එහි විශ්වසනීයත්වය වෙත එල්ල කල බරපතළ පහරක් විය. NPP යේ ප්‍රමුඛ ආධාරකරුවන් ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාකාරීහු පාවා දීම පිළිබඳව ඝෝෂා කරමින් ප්‍රතිචාර දැක්වූහ. කිසිවෙක් නීතියට ඉහළින් නැත යන මූලධර්මය මත පදනම්ව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පක්ෂය, තමන්ගේම කෙනෙකු ආරක්ෂා කරන බවක් පෙනෙන්නට තිබුණි.
AAP යට මග වැරදී ගියේ හරියටම මේ අන්දමට යි. පිරිසිදු පාලනයක් පිළිබඳ පොරොන්දුව මත ඉහළට නැගී සිටි පක්ෂය, කෙජ්රිවාල් විසින්ම ඔහුට එරෙහි දූෂණ චෝදනා දේශපාලන හිංසා කිරීම් වශයෙන් විදහා දක්වමින් තමන්ගේම නායකයින් අධිකරණයේ දී ආරක්ෂා කිරීමට පෙළඹුණේය. එම විදහා දැක්වීම නිවැරදි වුවත් නැතත්, එයින් කෙරුණු ඇඟවීම මාරාන්තික විය. වරක් එහි ප්‍රබලතම ශක්තිය වූ AAP දූෂණ විරෝධී කතා වස්තුව, එහිම නායකයින් චෝදනාවට ලක් වූ විට එහි විශාලතම අවාසිය බවට පත් විය.
ශ්‍රී ලංකාවේ දූෂණය සුළු පරිපාලන අපහසුතාවක් නොවේ. මෙම විෂය සම්බන්ධයෙන් පෙර තර්ක කළ පරිදි, එය රාජ්‍ය ආයතන හිස් බවට පත් කර, පුරවැසි විශ්වාසය බිඳ දමා, ආර්ථික ප්‍රතිපත්තිය විකෘති කර, 2022 ආර්ථික බිඳවැටීමට සෘජුවම දායක වූ ක්‍රම පද්ධතික ආබාධයක් නියෝජනය කරයි. IMF ආයතනයේ රෝග විනිශ්චය නිසැක එකක් විය: දූෂණය සහ පාලන අසමත් වීම් ශ්‍රී ලංකාවේ ජාතික යහපැවැත්ම අනතුරට ලක් කර තිබුණි. NPP ය සිය ජනවරම ඉටු කිරීමට නම්, තෝරා බේරා නොව ස්ථාවර අන්දමට තමන්ගේම සාමාජිකයින් කෙරෙහි, සිය පූර්වගාමීන්ට අදාළ ප්‍රමිතිය ම පවත්වා ගෙන යෑමට කැමති විය යුතුය.
පාලනය, අත්දැකීම් මඳ කම සහ නිලධාරිවාදී උගුල
AAP ය සහ NPP ය අතර පවතින වඩාත්ම කැපී පෙනෙන සමාන්තරයන් ගෙන් එකක් වන්නේ අත්දැකීම් මඳ කමේ අභියෝගයයි. පක්ෂ දෙකම බලයට පත් වූයේ සිය මුළු දේශපාලන ජීවිතය ම විපක්ෂයේ ගත කිරීමෙන් පසුවයි. පක්ෂ දෙකම බලවත් සදාචාරාත්මක කතා වස්තු වගා කර ගෙන තිබුණද, ආණ්ඩුවක් සැබවින්ම පවත්වා ගෙන යාමේ දී ඔවුන් ලබා තිබුණ අත්දැකීම් සීමිත වූයේය. රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රතිරෝධී, සංකීර්ණ සහ බොහෝ විට තේරී පත් වූ ආණ්ඩුවට හැර වෙනත් බලවේගවලට පක්ෂපාතී බව, පක්ෂ දෙකම බලයට පත්වීමෙන් පසු සොයා ගත්තේය.
දිල්ලියේ දී, ප්‍රායෝගිකව තේරී පත් වූ අමාත්‍යවරුන්ට වඩා ලුතිනන් ආණ්ඩුකාරවරයාට ප්‍රතිචාර දක්වන නිලධරයක් සහිත නගර රාජ්‍යයක් පාලනය කරන තත්ත්වයට AAP ය පත් විය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවලංගු කරමින් ව්‍යවස්ථාදායක වෙනස්කම් ඇති කිරීම හරහා BJP ය හිතාමතාම නිර්මාණය කරන ලද තත්වයකි. එහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවේ තීරණවලට අවහිර කිරීම, අයවැය ප්‍රමාද කිරීම සහ AAP යේ ප්‍රමුඛ යෝජනා ක්‍රම – මොහල්ලා සායන, නොමිලේ විදුලිය සැපයීම, රජයේ පාසල් වැඩිදියුණු කිරීම් – සම්පත් හිඟයකට හෝ, හැම අවස්ථාවක දීම බාධා කිරීම්වලට ලක් කරමින් බියකරු අන්දමේ අඩපණ කිරීමක් ඇති කිරීම යි.
ශ්‍රී ලංකාවේ, NPP ය මුහුණ දෙන්නේ මීට වඩා වෙනස්, නමුත් ඒ සමාන අභියෝගාත්මක ගැටළුවකට ය. තීන්දු ගනු ලබන්නේ වගකීම් බෙදා දීමට මැලි වන ඇමතිවරුන්ගේ කුඩා කවයක් විසිනි. රාජපක්ෂ යුගයේ කාර්ය මණ්ඩලයට පක්ෂපාතී යැයි සැලකෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක් කෙරෙහි පක්ෂය තුළ පවතින අවිශ්වාසය විසින්, බාධක සහ අකාර්යක්ෂමතා ඇති කරවා ලමින් අඩු පළපුරුද්ද සහිත පක්ෂපාතී පුද්ගලයන් මත යැපෙන්නට මඟ පාදා ඇත. 2025 නොවැම්බර් මාසයේ ඇති වූ දිත්වා සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම මෙම දුර්වලතා වේදනාකාරී ලෙස හෙළිදරව් කළේය: දරුණුතම බලපෑමට ලක් වූ මධ්‍ය කඳුකරයේ දෙමළ කතා කරන ප්‍රජාවන්ට කාලෝචිත අනතුරු ඇඟවීමක් කිරීමෙන් තොරව සිටින්නට ඉඩ සලසා ලමින්, ජීවිතාරක්ෂක අනතුරු ඇඟවීම් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කරන ලදි. දිස්ත්‍රික් මට්ටමේ නිලධාරීහු පසුකාලීන දූෂණ විමර්ශනවලට බියෙන් හදිසි සහන වියදම් අනුමත කිරීමට පසුබට වූහ. මේවා අරමුණු කර ගත් අසාර්ථකත්වයන් නොව ආයතනික ධාරිතාවේ සහ ආණ්ඩුවේ නිපුණතාවේ අසාර්ථකත්වයන් ය.
බාහිර විශේෂඥතාවයෙන් NPP ය හුදකලා වීම ගැටළුව තවත් සංකීර්ණ බවට පත් කරයි. ප්‍රතිසංස්කරණ උපාය මාර්ග සකස් කිරීමේ දී විද්වතුන්, වෘත්තිකයන් සහ සිවිල් සමාජ නායකයින් සම්බන්ධ කර ගත් පෙර පාලනාධිකාරීන් මෙන් නොව, NPP ය බොහෝ දුරට හුදකලා ස්වභාවයක පසු වෙමින් ඇත. NPP සන්ධානයේ ජවිපෙ (JVP) නොවන සාමාජිකයින් – එනම් ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමේ අරමුණින් සන්ධානයට එක් වූ වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන් සහ ප්‍රජා ක්‍රියාකාරීන් – වඩා විශාල සහ මනාව සංවිධානය වූ ජවිපෙ විසින් තමන්ව පසෙකට ලා ඇති බවට වාර්තා කරති. එක් අධෛර්යයට පත් ආධාරකරුවෙක් පවසන අන්දමට, NPP ය ගොඩනැගීමට පොරොන්දු වූ දේ ජනතා ජවිපෙ විසින් විනාශ කරනු ලැබීමේ සැබෑ අවදානමක් පවතී.
සදාචාර වාදයේ උගුල: ගුණධර්ම අවදානමට ලක් විය හැකි දෙයක් බවට පත් වන විට
AAP ය සහ NPP ය යන දෙකම සදාචාර වාදයේ උගුල ලෙස හැඳින්විය හැකි දෙයකට කොටු වූහ. උසස් සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිබඳ ප්‍රකාශය මත ඔවුන්ගේ දේශපාලන අනන්‍යතා ගොඩනඟා ගත් ඔවුහු, සුවිශේෂී ලෙස වංචනික බව පිළිබඳ චෝදනාවලට ගොදුරු වීමේ අවදානමකට ලක් වූහ. ඕනෑම වැරදි පියවරක්, එය කොතරම් සුළු වුවත්, මූලික වංක භාවය පිළිබඳ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැකි අතර, එසේ ඉදිරිපත් කරනු ලැබ ඇත.
පිරිසිදු පාලනයක් පිළිබඳ AAP ය පාවිච්චි කළ වාග් මාලාව නිසාම, එහි නායකයින්ට එල්ල වූ දූෂණ චෝදනා වඩාත් හානිකර විය. චෝදනා දේශපාලනිකව මෙහෙයවන ලද්දේ වුවත් නැතත් – අවම වශයෙන් ඒවායින් සමහරක් හෝ එසේ වූ බවට විශ්වාස කිරීමට බරපතළ හේතු ඇත. – දූෂණ විරෝධී ජනවරමක් මත තේරී පත් වූ පක්ෂයක නායකයන් දූෂණ චෝදනා මත සිරගත ව සිටීම, එම පක්ෂයේ ප්‍රතිරූපයට දරා ගත නොහැකි තත්ත්වයක් බව ඔප්පු විය.
NPP ය ද ඒ හා සමාන වපසරියක සැරිසරයි. එහි සදාචාරාත්මක භාෂාව – පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ පොරොන්දුව, ක්‍රම පද්ධති වෙනස පිළිබඳ වාග් මාලා, නව දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ප්‍රකාශ – සපුරාලීමට අසාමාන්‍ය අන්දමින් දුෂ්කර අපේක්ෂාවන් සකසා තිබේ. ඕනෑම චෝදනාවක්, එය කෙතරම් පදනම් විරහිත වුවත්, විපක්ෂය විසින් වර්ධනය කර පතුරවනු ලැබේ. පරස්පර විරෝධී කරුණ වන්නේ, ඔවුන්ගේ දූෂිත ඉතිහාසය පිළිබඳව මහජනයා හොඳින් දන්නා පුද්ගලයන්ගෙන් එම විපක්ෂය සමන්විත වීමයි. එසේ වුවද, මෙයින් NPP ය ආවරණය නොවේ. කලින් රාජපක්ෂවරුන් ට සහාය දුන් සහ දැන් ජාතික ජන බලවේගයට ඡන්දය දෙන ඡන්දදායකයා සංසන්දනාත්මක සදාචාරාත්මක විනිශ්චයක් කරන්නේ නැත; ඔවුන් සැබෑ දියුණුවක් සඳහා වන ඉල්ලීමක් ප්‍රකාශ කරමින් සිටිති. පොරොන්දු වූ වේගයෙන් එම දියුණුව සිදු නොවන විට, කලකිරීම ඉක්මනින් අනුගමනය වේ.
කොස්ස
විවේචන හමුවේ NPP ය දක්වන ආරක්ෂිත ආකල්පය – ස්ථාපිත පැමිණිලි ක්‍රමවේදයන් භාවිතා නොකර, ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඉල්ලා සිටීමට අමාත්‍යවරුන් පෙලඹී සිටීම, පක්ෂ නායකයන් විරුද්ධ පක්ෂ සභාග මණ්ඩල පිහිටුවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කිරීම – අවසානයේ AAP යේ මධ්‍යම පාන්තික පදනම දුරස්තර කර ලූ අහංකාරය ප්‍රතිරාවය කරයි.
ඒකපාර්ශ්වික පාලන ආකෘතියේ අංග සඳහා ප්‍රශංසා කිරීම සහ NPP යට තම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වසර පහළොවක් හෝ විසිපහක් බලයේ සිටීමට අවශ්‍ය විය හැකි බවට කරන ලද යෝජනාව, සැබෑ බහුත්වවාදී දේශපාලනයක් අපේක්ෂා කළ අය අතර මෙය අනතුරු ඇඟවීමේ සංඥා උපදවා ලීය.
2 වන කොටස – අත හැර යෑමේ ගතිකත්වය – හා සම්බන්ධ යි.
2026 අප්‍රේල් 28 වන දා