හදිසි අවසානයක් නැති  ඉරානයට විරුද්ධ යුද්ධය  සහ  ශ්‍රී ලංකාව උගත යුතු පාඩම – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ඉරානයේ විශාලම නගර දෙකක් යා කරන කිලෝමීටයක් දිග පාලම ඇමෙරිකානු ප්‍රහාරයකින් දෙකඩ කර ඇති අයුරු. පාලම විනාශ කළ නමුත් තමන් යටත් නොවන බව ඉරානය පවසයි.

ලංකාවේ සමහරකුට “ඉරානයේ යුද්ධය”  යනු  රූපවාහිනියේ පුවත් මැදිරියක හෝ සමාජ මාධ්‍ය තිරයක පෙනෙන  සිදුවීමක් පමණක් විය හැකිය. නමුත් සත්‍යය එය නොවේ. එම යුද්ධයේ සෙවනැල්ල කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක, වෙළඳපොළේ බඩු මිලක, සහ සාමාන්‍ය පවුලක මාසික වියදම් ලැයිස්තුව තුළ අපට දැකිය හැකිය.

අද ලෝක දේශපාලන සන්දර්භයෙහි  ඉරාන යුද්ධය  ඉදිරියට ගමන් කළ හැකි මාර්ග දෙකක් ඇත.

එක් මාර්ගයක් වන්නේ යුද්ධය දිගටම පැවතීමයි. අනිත් මාර්ගය වන්නේ යුද්ධවිරාමයක් හෝ යුද්ධාවසානයක්  ඇති වීමයි. ප්‍රශ්නය වන්නේ  මාර්ගය කුමක් වුවත්, අප ඒ සඳහා සූදානම්ද යන්නය.

යුද්ධය දිගු වුවහොත් අප දැනටමත් සිටන්නේ  දුර්වල ස්ථානයකය. එසේ වුවහොත් ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු පළමු හා ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඉන්ධන අර්බුදයයි. මෙය නව අර්බුදයක් නොව, 2022 දී   අත්විඳි බියජනක අත්දැකීම නැවත පැමිණීමක් විය හැක. එදා මෙන්ම අදත් අපි ඉන්ධන සඳහා බොහෝ දුරට බාහිර ලෝකයට රඳා සිටිමු.

ඉන්ධන හිඟය යනු විවිධාකාර වාහන නැවත්වීම පමණක් නොවේ. එය රෝහල්වල ජීවිතාරක්ෂක  යන්ත්‍ර නතරවන , ජල සැපයුම් පද්ධති අක්‍රීය වන, අධ්‍යාපනය අඩාල වන  සාධකයකි. එය සරල ආර්ථික ගණන් බැලීමකින් එපිටට යන මානවීය අර්බුදයකි.

මෙහිදී මතුවන ප්‍රශ්නය නම් අපි නැවතත් පෝලිම්වලට සූදානම්ද?  “අර්බුදය අපේ පාලනයෙන් බැහැර” බව පිළිගැනීමට ජනයා සුදානම් වේද? යන්නයි.

යුද විරාමයක් හෝ යුද්ධාවසානය බොහෝ දෙනාට සතුට ගෙනෙනු ඇත. ඉන්ධන මිල ස්ථාවර විය හැක. කොටා ක්‍රම මඳක් ලිහිල් විය හැක. වෙළඳපොළේ බිය අඩු විය හැක. නමුත් මෙහිදී අප තේරුම් ගත යුතු සත්‍යය ඊට වඩා දුරය.

ලෝක බලශක්ති වෙළඳපොළ, නාවික මාර්ග, සහ ගෝලීය දේශපාලන විශ්වාසය යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගන්නවා ඇත. එතෙක් ශ්‍රී ලංකාව වැනි රටක් පවතිනු ඇත්තේ අවදානම් කලාපයේය.

Image
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාමීය ජනරජය “ගල් යුගයටය ැවිමට” බෝම්බ හෙලන බවට තර්ජනය කිරීමෙන් පසු , ඉරානය බ්‍රහස්පතින්දා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රහාර “දැඩි කරන ” බවට තර්ජනය කරමින් ටෙල් අවිව් වෙත මිසයිල ප්‍රහාර එල්ල කළේය.

නොනිවෙන මැද පෙරදිග ගිනි කන්ද

යුද්ධාවසානයකින් පසු සියල්ලෝ සතුටින් විසිර ගියහ යැයි කියා සතුට විය හැකි වනු ඇත්ද?  නැත. මැද පෙරදිග ගිනි කන්ද ලෙහෙසියෙන් නිවී නොයනු ඇත. ඊට ප්‍රධන හේතුව මහා ඊශ්‍රායලයක් පිළිබඳ නෙතෙන්යාහුගේ සැලැස්ම වෙනස් නොවීමයි. නෙතනේයාහු පමණක් නොව ඊශ්‍රායල ජාතිකයින්ගෙන් අති බහුතරය සිටින්නේ  යුදවාදී මානසිකත්වයකය.  අපි නොමිලයේ වීසා දෙන්නේ ඔවුන්ටය.

හිටලර්ගෙන් පසු එක් ජනවර්ගයකට එනම් පලස්තීනුවන්ට පමණක් මරණ දඩුවම අනීවාර්ය කිරීමේ දුෂ්ඨ නීතිය ඊශ්‍රායල පාර්ලිමේන්තුවෙහි අති බහුතර ඡන්දයකින් සම්මත විය. එය ජයක් ලෙස සමරමින් ආරක්ෂක ඇමති සව්දිය පිරුවේය. පලස්තීන, සිරියා, ඊජිප්තු භූමි පෙදෙස් බලහත්කාරයෙන් ඈදා ගෙන සිටින ඊ්ශ්‍රායලය දැන් දකුණූ ලෙබනනය තමන් අත්පත් කර ගන්නා බව ප්‍රසිදධියේ ප්‍රකාශ කරයි. එහි ජීවත්වූ ලක්ෂ හයක් ජනතාවට යළි එම ප්‍රදේශයේ ජීවත්වීමට නොහැකි වන සේ සියලු නිවාස විනාශ කරන බව ද ඊශ්‍රායලය ප්‍රකාශ කරයි. මෑත කාලයෙහි ඊශ්‍රායලය අවට රටවල් හයකට විරුද්ධව යුද ප්‍රහාර දියත් කර තිබේ.

බලහත්කාරයෙන් අන් රටවල් ඇදා ගැනීමේ ඊශ්‍රායල යුද සැලැස්ම පවතින තුරු සහ පලස්තීන ජනයාගේ අයිතීන් ලබා දෙන තුරු මැද පෙරදිග කලාපයට නිත්‍ය සාමයක් උදා නොවනු ඇත.  ඊශ්‍රායලය කිසිසේත්ම මැද පෙරදිග සාමය ඇති වීමට ඉඩ දෙන්නේ නැත.

හමාස් සංවිධානයට නෙතෙන්යාහු දුන් ඩොලර් බිලියනය

දැන් හෙළිදරව් වි ඇති සත්‍යාපනය කරල ලද සාක්ෂි පෙන්වන්නේ නෙතන්යාහු ගසා තීරයේ හමාස් සංවිධානයට මසකට ඩොලර් මිලියන 35 බැගින් දීර්ඝ කාලයක් ගෙවූ බවයි. ගෙවන ලද  සමස්ත මුදල ඩොලර් බිලියනයකි. එසේ ගෙවන ලද්දේ පලස්තීන බටහිර ඉවුර පාලනය කරන පලස්තීන විමුක්ති සංවිධානය සහ හමාස් සංවිධානය අතර සමගිය ඇතිවීම වැළැක්වීමටය.  මෙම මුදල් ගෙවන ලද්දේ කාටර් රාජ්‍යය හරහාය. එමෙන්ම මැද පෙරදිග මහා විනාශයකට මඟ පෑදු ඉස්ලාමීය රාජ්‍ය සංවිිධානය (අයිඑස්අයිඑස්) ආරම්භ කරන ලදදේ ද ඉරානය ඇතුලු ෂීයා මුස්ලිම් බලය විනාශ කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හවුලේ බවටත් සාක්ෂි හෙළීදරව් වී තිබේ.

හමාස් සංවීධානයට ඊශ්‍රායල මුදල් ලබා දුන්නේ නම් දෙපිරිස අතර යුද්ධයක් ඇති වූයේ කෙසේද? ඇමෙරිකා එක්සත් ජනපදය සහ අයිඑස්අයිඑස්  අතර යුද ගැටුමක් ඇති වූයේ කෙසේද යැයි ප්‍රශ්නයක් මතු විය හැකිය. ඊට හොදම පිළිතුර නම් ඇෆ්ගනිස්තානයෙහි ඇමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාව විරුද්ධව නිර්මාණය කරන ලද මුුජහෙඩීන් කණ්ඩායම ( පසුව තලේබාන්) සමඟ ඇමෙරිකාවට ඩොලර් ට්‍රිලියන තුනක් වැය වු  යුද්ධයක් කිරීමට සිදු වීමයි.

ඉරානයට එරෙහිව ට්‍රම්ෆ් සහ නෙතෙන්යාහු දියත් කළ යුද්ධයෙහි මුල් දිනවල  යුද්ධය අතර තුර ඊශ්‍රායලය ගල්ෆ් රටවලට ඩ්‍රෝන ප්‍රහර එල්ල කරමින් එම රටවල් සහ ඉරානය අතර යුද්ධ තත්වයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ බව දැන් ප්‍රසිද්ධ රහසකි.ඒ සඳහා ඉරාන ඩ්‍රෝන අනුකරණය කරමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය රුවටිලිකාර ඩ්‍රෝන පවා නිශ්පාදනය කර තිබේ.

ඉරානය විනාශ කළ හැකිද?

ලිබියාව, ඉරාකය සහ සිරියාව යන රටවල් විනාශයේ අද්දරටම යැවූ පරිදි ඇමෙරිකාව සහ ඊ්‍ශ්‍රායලයේ අරමුණ ඉරානය සහමුලින්ම අසාර්ථක රාජයක් බවට පත් කිරීමටය. ‘මට ඉරානයේ තෙල් අලලා ගැනීමට ඕනෑ’ යැයි එක්සත් ජනපද ජනාධිපති ප්‍රසිද්ධීයේම කියයි.

එක්සත් ජනපදය විසින්  යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත්  කරන ලද කොන්දේසි 15 ඉරානය ඉවත දමා තිබේ. දැන් චීනය සහ පකිස්තානය එක්ව යුද විරාමයක් සදහා යෝජනා පහක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනා පහ නම් ක්ෂණිකව සියලු සන්නද්ධ ක්‍රියා නැවත්වීම,ඉක්මනින් සාම සාකච්ඡා ආරම්භ කිරීම, සිවිල් ජනතාව සහ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම, හෝර්මුස් සමුද්‍ර සංකීර්ණය ඇතුළු නාවික මාර්ග ආරක්ෂා කිරීමය. අවසන් කරුණ ලෙස දැක්වෙන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සන්ධානය සහ ජාත්‍යන්තර නීතිය මූලික කරගත් බහුපාර්ශ්වික ක්‍රියාවලියක් අවශ්‍ය බවයි.  බලවත් රටවල් විසින් තනිව ගන්නා තීරණ වෙනුවට, එකසත් ජාතීන්ගේ  මධ්‍යස්ථයකින් දිගුකාලීන සාම රාමුවක් ගොඩනගා ගත යුතු බව යෝජනාව අවධාරණය කරයි.

මෙම යෝජනාවට ගල්ෆ් රටවල් එකඟවනු ඇති නමුත් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ෆ් එකඟ වනු ඇතයි විශ්වාස කිරීම දුෂ්කරය. මෙම රවල් දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනකට ගන්නේ නැත.

යුරෝපය සහ ඇමෙරිකාව අතර විරසකය

අනෙත් අතට එක්සත් ජනපදයට යුරෝපයෙහි සිය පාර්ශවකරුවන් නැතිවී යමින් ඇත. ඉතාලිය, ප්‍රංශය  සහ ස්පාඥය ඇමෙරිකානු යුද ගුවන් යානාවන්ට සිය අහස තහනම් කර තිබේ. බ්‍රිතාන්‍ය කිය සිටියේ  සිය  හමුදා ඉරානයට විරුද්ධ යුුද්ධයකට නොයවන බවයි. පෝලන්තයේ සවි කර තිබෙන මිසයිල නාශක පේට්රියට් මෙවළම් එමිරේට්ස් රාජධානියට ලබා දෙන ලෙස ට්‍රම්ෆ් කළ ඉල්ලිම එරට ප්‍රතික්ෂේප කළේය.

31වන දින ට්‍රම්ෆ් සිය සමාජ මාධ්‍ය ගිනුමෙහි කියා සිටියේ තමන් තවදුරටත් යුරෝපා රටවලවලට සහායක් ලෙස හොමුස් සමුද්‍ර සන්ධිය විවාත කිරීමට හමුදා නොඑවන බවයි. ‘බයගුල්ලන් වගේ ඉන්නේ නැතිව ගිහිං ඒක අල්ල ගන්නවා” යැයි ඔහු යුරෝපයට  ඔච්චම් කළේය. තමා ඇමෙරිකාව නැටෝ සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවත් යුත්රේනයට දෙන සහාය නතර කරන බවත් තරජනය කළේය.

ඔහු සියලු රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම පසෙක ලා  ප්‍රංශ ජනාධිපතිවරයාට ප්‍රසිද්ධීයේ අපහාස කළේය.

මේ අතර වාරයෙහි රුසියානු ජනාධිපතිගේ සමීපතමයකු වන චේචනියානු ජනාධිපති  රම්සාන් කදිරොව් කියා සිටින්නේ ඇමෙරිකානු හමුදාවන් සමඟ ඉරාන භූමියෙහි සටන් කිරීමට තමා සිය හමුදාව රැගෙන ඒමට සූදානම් බවයි. පකිස්තානයේ වයඹදිග දේශසීමා පළාතෙහි  අගනුවර පේෂාවර්හි රුස් වූ රණකාමී පස්තූන් ප්‍රජාවෙහි ප්‍රධානීහු තමන් අවි ආයුධ රැගෙන ඉරානයේ ආරක්ෂාව පිනිස යුද බිමට පැමිනීමට සුදානම් බව ඉරානයට දැන්වූහ.චීනය කියන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුණේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යආක්‍රමණය නිසා බවයි.

US-Israel War on Iran
ඊශ්‍රායලයේ පෙටා ටික්වා නගරය වෙත ඉරාන ප්‍රහාරයක ප්‍රතිවිපාක

මේ වන විටත් ඉරාන සහය ලබන ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ ව්‍යාපාරයත්. ඉරාකයේ එක්සත් ෂියා සංවිධානයත් යෙමනයේ බලය හිමි හුතිවරුන්ද ඉරානයේ සහායට සන්නද්ධ ක්‍රියාාකරම් වල නියුතුව සිටිති. මෙම සාධක පෙන්වන්නේ ඉරානයට විරුද්ධ ගොඩබිම් යුද්ධයක් කලාපීය යුද්ධයක් බවට පත්වීමට ඇති මහත් විභවයයි. චීනය සහ රුසියාව ඉරානය පිටුපස සිටින බව දැන් ප්‍රසිද්ධ රහසකි. එම දෙරටටම ඉරානය තවත් ඇෆ්ගනිස්තානයක් හෝ ලිබියාවක්  විමට ඉඩ දිය නොහැක.

අනෙත් අතට ඩොනල්ඩ් ට්‍රම්ෆ් දැනටමත් 50,000කට සෙබළුන් සහිත ඇමෙරිකානු යුද සේනාංක ගල්ෆ් කලාපයට යවමින් තිබේ. කොයි මොහතක හෝ ඉරානයේ තෙල් සම්පත සහිත කාර්ගි දූපත අල්ලා ගැනිමේ ඇමෙරිකානු  යුද මෙහයුමක් දියත් වීමට ඉඩ තිබේ. එවැනි තත්වයක් ඇති වුවහොත් ඉරානය, ගල්ෆ් කලාපයේ වෙනත් රටවලට අයත් දුපත් අල්ලා ගන්නා බවට තර්ජනය කරයි. ඉරානය සමඟ ගොඩබිම් යුද්ධයකට යෑම ආපසු හැරීමට නොහැකි වට වංගු සහිත බිං ගෙයකට ඇතුල් වීමක් වනු ඇති බව යුද විචාරකයෝ පෙන්වා දී තිබේ.

‘ඉරානය ගල් යුගයට යවා අපි යුද්ධයෙන් ඉවත් වෙනවා’ යැයි මාර්තු  31දා ට්‍රම්ෆ් ප්‍රකාශ කළේය. ඊට පෙරදා ඔහු සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින්  කිසා සිටියේ ‘ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළ හොත් ඉරානයේ විදුලි බල සැපයුම්, ජල සැපයුම් යනාදී සියල්ල විනාශ කරන’ බවයි. එම  යුද අපරාධ කිරීම සදහා ඔහු දී ඇති අවසන් දිනය එළබෙන අප්‍රේල් පස්වනදාය.  ඉරානයට විරුද්ධ එක්සත් ජනපද – ඊශ්‍රායල යුද්ධය දැනටමත් එරට ගොඩනැඟීලි ලක්ෂයක් පමණ විනාශ කර 2000කට වැඩි සිවිල් වැසියන් ඝාතනය කර තිබේ.  විනාශය උපරිම කිරීමට එම දෙරටට හැකි වුවත් එමගින් ඉරානය විනාශ කළ නොහැකිය.

චීනය පමණක් නොව රුසියාවද යුද්ධය අවසන් කරන ලෙස ප්‍රකාශ නිකුත් කර තිබේ.  එසේ තිබියදීත් ඉක්මන් යුද්ධාවසානයක් අපේක්ෂා කිරීම දුෂ්කරය.  තමන් යුද විරාමයකට සූදානම් නැති බවත් එකඟ වන්නේ අන්තර් ජාතික ඇපකරුවන් සහිත ස්ථිර යුද්ධාවසානයකට පමණක් බවත් මාර්තු 31 දා ඉරාන ජනාධිපති සූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේය.

යුද්ධය හදිසියේ අවසන් නොවන බවට ඇති කටුක සත්‍යය මෙරට ආණ්ඩුව අවබෝධ කර ගත යුතුය. යුද්ධ විහිළු සපයන්නකු බවට පත්ව ඇති සජිත් ප්‍රේමදාස හෝ ඉද හිට බැලුම් උඩ යවා බලා සිටින නාමල් රාජපක්ෂ මෙන් නොව ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය ප්‍රබලය. අද වන විට යුරෝපා රටවල් පවා වැඩ සතිය අඩු කිරීමට මෙන්ම ඉන්ධන පාවිච්චිය අවම කරන ලෙස ඉල්ලීම් කර තිබේ.

පවතින අර්බූදය ජාතික ජන බලවේග ආණ්ඩුව නිසා ඇති වූ එකක් නොවේ. එය ලෝක ව්‍යාප්ත අර්බූදයකි.  මෙම අර්බූදය දඩමීමා කර ගෙන බලයට පැමිනීමට වලිකන විපක්ෂයේ දේශපාලනය අසාර්ථක වීමට නියමිත  වැරදි ගණන් බැලීමකි.

ශ්‍රී ලංකාව වැනි රටවල්  මෙවැනි  ගෝලීය අර්බුදවලට ඉතා පහසුවෙන් ගොදුරු වන්නේ,  දශක ගණනාවක් තිස්සේ නොගත් දේශපාලන හා ආර්ථික තීරණ  නිසාය. ඉන්ධන, ආහාර, ඖෂධ යනාදී  සියල්ලටම සදහා  අපි තවමත්  බාහිර ලෝකයට මත රඳා පවතිමු. කෙටි කාලීන සහන, ණය සහ අස්ථිර විසඳුම් මත ජීවත් වීම මෙරට  ප්‍රතිපත්තිය බවට පත්ව තිබුණි.  දැන් එහි මිල ගෙවන්නේ සාමාන්‍ය ජනතාවය.

ඉරාන යුද්ධයේ බෝම්බ අප හිස මතට  වැටෙන්නේ නැතිවූවත්, එහි ආර්ථික හා මානවීය බෝම්බ අපේ ජීවිතවලට දැනටමත් වැදී තිබේ. ඒ නිසා මෙය “ඉරානයේ ගැටලුවක්” ලෙස නොව, ශ්‍රී ලංකාවේ අනාගතය ගැන කරන පරීක්ෂණයක් ලෙස සළකා බැලීම සහ පියවර ගැනීම අප හැමගේ වගකීම වේ.

Archive

Latest news

Related news