“ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර විදෙස් ගමන් තහනමක් මත ඇප මත නිදහස්.

ඊයේ (11) දිනයේ අත්අඩංගුවට ගත් ලංකා නිව්ස්” (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර  අද (12) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර තිබීම හේතුවෙන්ය. එම නඩුවට සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් තිබූ අතර, අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.

අද දින අධිකරණයේදී ඔහු වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම කරුණු ඉදිරිපත් කරමින්, සේනාධීර දිගු කාලයක් විදේශගතව සිටින මාධ්‍යවේදියෙකු බවත්, අධිකරණයට සහයෝගය ලබාදීමට ඔහු සූදානම් බවත් සඳහන් කර ඇත. එම කරුණු සලකා බැලූ අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.

ඇප කොන්දේසියක් ලෙස විදෙස් ගමන් සංචාර තහනමක් පණවා ඇති අතර උසාවියට අපහස කිරීම සම්බන්ධයෙන්  පවරා ඇති නඩුව ඉවත් කිරීමට නොහැකි බව අධිකරණය දන්වා තිබේ.

 2010 වසරේදී “ලංකා නිව්ස්” ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීමත්, දිගින් දිගටම ඇති වූ තර්ජනද  සමඟ ආරක්ෂාව පිළිබඳ ඇති වූ අවදානම් හේතුවෙන් සඳරුවන් සේනාධීර මෙරටින් පිටව ගොස් විදේශගතව සිටියේය.එම ආයතනයට අයත් කාර්යාලයට  පසුව ගිනි තබා විනාශ කරන ලදී.

එතැන් සිට ඔහු තම මාධ්‍ය ක්‍රියාකාරකම් සහ “ලංකා නිව්ස්” වෙබ් අඩවියේ ප්‍රකාශන කටයුතු විදේශගතව සිටම මෙහෙයවමින් සිට අතර  ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන නීතිමය ක්‍රියාමාර්ග සහ විමර්ශන පිළිබඳ වැඩිදුර කටයුතු ඉදිරියේදීද අධිකරණයේදී විභාග වීමට නියමිතය.

(ද ලීඩර් පුවතක් ඇසුරිණි)

Archive

Latest news

Related news