ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංවිධාන අවධානයට

ඡායාරූපය: සඳරුවන් සේනාධීර (2025)

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙහි දී ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර  අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සිය කණස්සළල පළ කර තිබේ.

ඔහු සිය පැමිණෙමින් සිටියේ වසර 16ක ස්වයං පිටුවහලක ගත කිරීමෙන් පසුය. කොදුඇට පේළියෙහි නිදන්ගත රෝගයකින් පෙළන ඔහු පැමිණෙමින් සිටියේ ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ගබා ගැනීමට බව  ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත දැන ගන්නට තිබේ.

සම්මේලනය විසින් ජනමාධ්‍ය ඇමැතිවරයා වෙත යවන ලද ලිපිය පහත පළ වේ.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මයා,
ගරු ජනමාධ්‍ය අමාත්‍ය,
ජනමාධ්‍ය අමාත්‍යාංශය,
කොළඹ.
2026/03/11

ගරු අමාත්යතුමනි,

ලංකා ඊ නිව්ස් කර්තෘ, මාධ්යවේදී සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වීම

තම මාධ්ය වෘත්තිය නිසා ජීවිත තර්ජනවලට ලක්ව වසර 16කට අධික කාලයක් විදේශගතව ජීවත් වීමට සිදු වූ, ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවියේ කර්තෘ, මාධ්යවේදී සඳරුවන් සේනාධීර මහතා අද (11) දින දිවයිනට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ (FMETU) දැඩි අවධානය යොමුව තිබේ.

ජනමාධ්යවේදීන්ගේ ජාත්යන්තර සම්මේලනය (IFJ) නියෝජනය කරන මෙරට ප්රධාන සංවිධානයක් ලෙස, මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති නෛතික හා සදාචාරාත්මක කරුණු කිහිපයක් පිළිබඳව ඔබේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු:

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ 2016 නොවැම්බර් 25 වැනිදා එවකට ගම්පහ මහේස්ත්රාත් කාවින්ද්යා නානායක්කාර මහත්මිය නිකුත් කළ වරෙන්තුවක් මත බව වාර්තා වේ. ඊට පාදක වී ඇත්තේ 2009 වසරේ මාධ්යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළ මහේස්ත්රාත් පරීක්ෂණයකි.

අපගේ නිරීක්ෂණය අනුව උක්ත මහේස්ත්රාත් විමර්ශනය මේ වන විට ක්රියාත්මක නොවන අතර, එම පරීක්ෂණ අවසන් කොට මහාධිකරණයේ අධිචෝදනා පවා ගොනු කර ඇත. එවැනි පසුබිමක පැරණි මහේස්ත්රාත් වරෙන්තුවක් තවමත් ක්රියාත්මක වීම බරපතල ගැටලුවකි.

අදාළ වරෙන්තුව නිකුත් කළ මහේස්ත්රාත්වරියගේ ක්රියා කලාපය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් ඊට පෙර දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණි. එවැනි පසුබිමක, හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට අදාළ සැකකරුවකුගේ (ප්රේම් ආනන්ද උදලාගම) ඡායාරූපයක් පළ කළ බව පවසමින් වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්රාත්වරියගේ ක්රියා කලාපයෙහි බැඳියාවන් අතර ගැටුමක් තිබූ බව අපගේ අදහසයි.

සඳරුවන් සේනාධීර මහතා දැනට බ්රිතාන්ය පුරවැසිභාවය ලබා සිටින අයෙකු වන අතර ඔහු මෙරටට පැමිණියේ වලංගු වීසා බලපත්රයක් මතය.

මෙරට ප්රජාතන්ත්රවාදය සහ ප්රකාශන නිදහස වෙනුවෙන් සඳරුවන් සේනාධීර මහතා ඉටු කළ සුවිශේෂී මෙහෙවර මෙන්ම, මාධ්යවේදියෙකු ලෙස ඔහු මුහුණ දී ඇති මෙම සුවිශේෂී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජනමාධ්ය අමාත්යවරයා ලෙස ඔබගේ කඩිනම් මැදිහත් වීම අප අපේක්ෂා කරමු. ප්රජාතන්ත්රවාදී අවකාශය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටින වත්මන් රජය, මාධ්යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

සියලු කරුණු සලකා බලා මෙය සුවිශේෂී තත්වයක් ලෙස සලකමින් ඔහුගේ නිදහස්වීමට රජයේ සුදුසු මැදිහත්වීමක් අපේක්ෂා කරමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,

තරිඳු උඩුවරගෙදර

ප්රධාන ලේකම්,

මාධ්ය සේවක වෘත්තිය සමිති සම්මේලනය (FMETU)

මේ අතර නිදිහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශයක් නිකුත් කරමින්  ඉල්ලා සිටින්නේ  අපක්ෂපාතී හා සාධාරණ නීති කෘත්‍යයකට ඔහුට ඇති අයිතිය ආරක්ෂා කර දෙමින්  ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසය. එම ප්‍රකාශය පහත  පළවේ.

2026 / 03 / 11

 මාධ්‍ය නිවේදනයයි

 පොලිස් අත්අඩංගුවට පත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි.

 දීර්ඝ කාලයක් තිස්සේ විදෙස්ගතව සිට දිවයිනට පැමිණි ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අධිකරණ නියෝගයක් අනුව බව කියැවේ.

මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර මහතා දීර්ඝ කාලයක් තිස්සේ රටින් බැහැරව සිටියේ සිය මාධ්‍යකරණය හේතුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසාය. එබැවින් මෙම පොලිස් අත්අඩංගුවට පත්වීම තුළදී පවා ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.

එසේම අප විසින් විමර්ශනය කරන ලද මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත්ව ඇත්තේ 2016 වසරේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊට අදාළවද යන්න පිළිබඳව මෙතෙක් අප වෙත තහවුරු වී නැත.

එබැවින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපක්ෂපාතී හා සාධාරණ නීති කෘත්‍යයකට ඔහුට ඇති අයිතිය ආරක්ෂා කර දෙමින්  ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

 ලසන්ත ද සිල්වා,    කැඳවුම්කරු

දිලීෂා අබේසුන්දර, ලේකම්

Archive

Latest news

Related news