විකට් පොල්ලක් ගුදමාර්ගයට දමන බවට තර්ජනය කරමින් පොලිසියෙන් වධහිංසා – පහරකෑ තරුණයාගේ ඇස්පෙනීම දුර්වලවෙලා

පුස්තකාල ජායාරූපය පොලිස් වධහිසා නිරූපනය කරන නිර්මානයකි.

ප්‍රකාශයක් ලබාගැනීමට බව කියමින් තලවකැලේ පොලිසියට කැඳවාගෙන ගිය 23 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවූ බව කියන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙලෙස වධහිංසාවට ලක්වූ බව කියන තරුණයා පවසන්නේ මුදල් වංචාවක් සිදුකළ බවට තරුණියක විසින් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා 2026 පෙබරවාරි 27 වන දින තලවකැලේ පොලිසියට කැඳවා ඇති බවයි. එහිදී සිටි කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහර දී වධහිංසා පැමිණවූ බවත් ඔහු කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පොලිසියෙන් කළ දැනුම්දීමකට අනුව පවුලේ අය සමග උදෑසනම පොලිසියට ගිය බවත්, ඉන්පසු තමන් වෙනම කාමරයකට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කළ බවත් ඔහු සඳහන් කරයි. පැමිණිල්ල කළ බව කියන තරුණියද එහි සිටි බවත්, සිංහල භාෂාවෙන් ලියන ලද ලේඛනයකට තමන්ගෙන් අත්සන් ලබා ගත් බවත්, තමන් දෙමළ ජාතිකයෙකු වන බැවින් එහි ලියා තිබුණේ කුමක්දැයි නොදැන අත්සන් කළ බවත් ඔහු පැවසීය.

පසුව පස්වරු 2.00 ට පමණ පැමිණිලිකාර තරුණියගේ පවුලේ සාමාජිකයන් පොලිස් ස්ථානය තුළට කැඳවා ඇති බවත්, එම අවස්ථාවේදී තරුණියගේ පියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපති හඳුනන බව කියා නිලධාරීන් සමග කතාබහ කළ බවත් පැමිණිල්ලේ සඳහන්වේ.

එම දුරකථන සංවාදයෙන් පසුව තත්ත්වය තවත් දරුණු වූ බවත්, එහි සිටි කාන්තා පොලිස් නිලධාරිනියක තමන්ගේ හිසට, කනට සහ බෙල්ලට කිහිප වතාවක් පහර දුන් බවත්, පසුව බූට් සපත්තු වලින් පයින් ගසා තවත් පහර දී ඇති බවත් ඔහු පවසයි. තවත් පොලිස් නිලධාරියෙකු ගිනිඅවියක් පෙන්වා බිය ගන්වා තර්ජනය කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එතැනින් නොනැවතී සිවිල් ඇඳුමින්, හෙල්මට් පැළඳ සිටි පුද්ගලයෙකු පැමිණ තම ගුදමාර්ගයට විකට් පොල්ලක් දමන බවට තර්ජනය කරමින් අසභ්‍ය වචන වලින් බැන වැදුණු බවද තරුණයා චෝදනා කර තිබේ.

මෙම වධහිංසා සහ තර්ජන කිසිවෙකුටත් හෙළි නොකරන ලෙසද පොලිසිය විසින් නැවත තර්ජනය කර ඇති අතර, එමෙන් පසුව තරුණයා මුදාහැර තිබේ.

නිවසට පැමිණි පසු ඔහුට නොනවතින හිසරදයක්, වම් ඇසේ පෙනීම දුර්වල වීම ඇතුළු රෝග ලක්ෂණ මතුවී රෝහල්ගත කළ බවත්, නේවාසිකව ප්‍රතිකාර ලබා ආපසු පැමිණීමෙන් පසුව නැවතත් හිසරදය, නාසයෙන් රුධිරය වහනය වීම, කනේ වේදනාව සහ පෙනීම තවදුරටත් දුර්වල වීම හේතුවෙන් යළි රෝහල්ගත කිරීමට සිදු වූ බවත් සඳහන් වේ.

රෝහල් ගතව සිටින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ ඇති බවත්, එහිදී “යෝගා” නමැති නිලධාරියෙකු පොලිසියෙන් පහර දුන් බව කිසිසේත් පිළිගත නොහැකි බව පවසා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හදිසි දුරකථන අංකයට ද දැනුම්දී ඇති අතර, ඒ අනුව විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබී තිබේ.

එමෙන්ම මෙම වින්දිත තරුණයාට හෙට (10) සහකාර පොලිස් අධිකාරීවරයකු හමුවේ පෙනී සිටින ලෙස අද (09) කැඳවීමක් ලැබී ඇති බවත් වාර්තා වේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සිකුරාදා (06) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් වධහිංසාවක් සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවකදී වින්දිතයෙකුට රුපියල් ලක්ෂ 10කට අධික වන්දියක් ගෙවන ලෙස පොලිස් නිලධාරීන්ට සහ රජයට නියෝග කර තිබූ පසුබිමකය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය අනුව කිසිම පුද්ගලයෙකු වධහිංසාවට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට යටත් කළ නොහැකි බව පැහැදිලිව සඳහන් කර ඇති අතර, එය සීමා කළ නොහැකි මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනේ.

www.medialk.com – භානුල ගිරිබාව විසින් පල කරන ලද වාර්තාවක් ඇසුරෙනි.

Archive

Latest news

Related news