ආණ්ඩුව පරණ පාරේ: සම්මත කළ නව ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුකූල නැහැ! – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL)

ඡයාරුපය: බීබීසී සංහල සේවයෙනි.

ජාතික ජන බලවේග ආණ්ඩුව රාජපක්ෂ අඩිපාරේ යමින් ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දු නොසළක තමන්ට අවශ්‍ය පරදි පනත් ම්මත කර ගනිමින් සිටින බව පසුගිය 04 දා සම්මත කරන ලද “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත පෙන්නුම් කරයි. ඒ සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහත දැක්වේ.

2026 මාර්තු 04 දින,  “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තම දැඩි කනස්සල්ල පළ කරයි. නීතිය මගින් ක්ෂුද්‍රමූල්‍ය ආයතන නියාමනයේ පැවති දුබලතා සපුරාලීමේ අවශ්‍යතාවක් සහ දැඩි ලෙස අවදානමට ලක් වූ ණයගැතියන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් පැවති විටෙක මෙවන් පනතක් සම්මත කිරීම, එකී අරමුණු සපුරාලීමට ප්‍රබල බාධාවකි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් පාර්ශව විසින් 2024 වසරේදී ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත අභියෝගයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නියැලෙන සියලුම ආයතන සමාන නියාමනයකට යටත් විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. කෙසේ වෙතත්, නව නීතිය මගින් අදාළ ව්‍යවස්ථාපිත අනුකූල නොවීම් සහ නියාමන දෝෂ නිරාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඒ හරහා සැලකිය යුතු නීතිමය හිඩැස් ඉතිරි වී ඇති බවත් TISL ආයතනයේ විශ්ලේෂණය මගින් පෙන්වා දෙයි.

සම්මත කරන ලද පනත මගින්, පෙර පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත් කිරීමට නියම කරන ලද, මූල්‍ය ආයතන කිහිපයකට කරන ලද ව්‍යාතිරේඛී සැලකීමට ඉඩ දුන් වගන්තිය ඉවත් කර තිබුණත්, “ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරය” යන්නට ලබාදී ඇති නිර්වචනය තුළින් නැවත එම ව්‍යාතිරේඛය සඳහා නීතිමය හිඩැසක් නිර්මාණය කර ඇත. මෙම අර්ථ දැක්වීමට අනුව, අඩු ආදායම්ලාභී පුද්ගලයින්ට ණය ලබා දීම ක්ෂුද්‍රමූල්‍යකරණයක් ලෙස සැලකෙන්නේ එහි “ප්‍රධාන අරමුණ” සමාජ සවිබල ගැන්වීම වන අවස්ථාවලදී පමණි.

මෙම තත්ත්වය පැහැදිලි නීතිමය හිඩැසක් නිර්මාණය කරයි. ඒ අනුව, මහා පරිමාණ බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු (Leasing) ආයතනවලට, තමන්ගේ අරමුණ ‘වාණිජ අරමුණක්’ බව පවසමින් ක්ෂුද්‍රමූල්‍ය වර්ගීකරණයට හසු නොවී සිටිය හැකිය. මේ හරහා, බලපෑමට ලක්විය හැකි (අවදානම් සහිත) ණයගැතියන් වෙත, එවන්ම ක්ෂුද්‍රමුල්‍ය ණය පහසුකම් ලබා දුන්නද, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට අදාළ වන පාරිභෝගික ආරක්ෂණ සහ නියාමන ප්‍රමිතීන්ගෙන් මිදීමට එම ආයතනවලට අවස්ථාව ලැබෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, ණය ලබාගන්නන්ගේ ආරක්ෂාව තීරණය වනුයේ ණය වර්ගයේ ස්වභාවය හෝ ණය ලබාගන්නා පුද්ගලයාගේ අවදානම් සහගතභවය මත නොව, ණය ලබාදෙන ආයතනය තමන්ගේ අරමුණ විග්‍රහ කරන ආකාරය මතය. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැළැක්විය යුතු බවට තීන්දු කරන ලද, ව්‍යාතිරේඛීභාවය නැවත නිර්මාණය කරනවා පමණක් නොව, මෙම නීති සම්පාදනයේ පවතින බරපතල දුර්වලතාවයන් ද මනාව පිළිබිඹු කරයි.

නීතිය මගින් ණය ලබාගන්නන්ගේ ආරක්ෂාව ගැන සඳහන් කළද, එම ආරක්ෂණ විධිවිධාන බොහෝ දුරට පුළුල් මට්ටමක පවතින අතර ඒවා ඵලදායී කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයන්ගෙන් තොරය. මෙම නීතිය මගින්;

  • ආදායම් තහවුරු කිරීමේ ප්‍රමිතීන් හෝ ණය-ආදායම් සීමා අවශ්‍ය නොවීම;

  • නියාමන තීරණවලට එරෙහිව පැහැදිලි අභියාචනා යාන්ත්‍රණයක් සැපයීමට අපොහොසත් වීම; සහ

  • ඇතැම් නීතිමය ක්‍රියාදාමයන්හිදී නීතිමය නියෝජනයක් සඳහා ණය ගැතියන්ට ඇති අයිතිය සීමා කිරීම.

ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත‍්‍රය කාන්තා ණයලාභීන් ඉලක්ක කර ගනිමින් සිදුවන ලිංගික අල්ලස් හා දූෂණයන් ඇතුළු බිය ගැන්වීම්, බලහත්කාරයෙන් ණය අයකර ගැනීමේ ක‍්‍රමවේද හා බරපතල අපයෝජනයන් සම්බන්ධ වී පවතී. එසේ වුවද, එවැනි හැසිරීම් නියාමන උල්ලංඝනයන් ලෙස හඳුනා ගැනීමටත්, බලපත‍්‍රලාභීන් සඳහා අනිවාර්ය වාර්තා කිරීමේ වගකීම් පැනවීමටත්, හෝ එවැනි අපයෝජනයන් සඳහා නියාමන රාමුව තුළ දඬුවම් නියම කිරීමටත් මෙම නීතිය අපොහොසත් වී ඇත. මෙම අවදානම් සහගත තත්ත්ව, අනුකූලතාවය, අධීක්ෂණය සහ බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රියාවලීන් ඔස්සේ මග නොහැරවා ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීම තුළ, ණය ලබාගන්නන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නීතියේ සඳහන් කර ඇති අරමුණ සම්පූර්ණ කරගැනීමට හැකියාවක් නොපවතී.

යෝජිත අධිකාරියේ පාලන ව්‍යුහය තුළ පවතින දුර්වලතා පිළිබඳව ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දෙයි. බැඳියාවන් අතර ගැටුම් හෙළිදරව් කිරීම් නොමැතිකම, ප්‍රදාන සහ මූල්‍ය මූලාශ්‍ර සම්බන්ධයෙන් පවතින ප්‍රමාණවත් නොවන විනිවිදභාවය සහ ප්‍රමාණවත් වගවීමේ යාන්ත්‍රණයකින් තොරව බලතල මධ්‍යගතවීම මෙයට ඇතුළත් දුබලතා වේ. මන්ද, ඵලදායී නියාමන ආයතනයක් මනා විනිවිදභාවයකින් සහ සුපිළිපන්භාවයකින් යුත් ප්‍රමිතීන්ට යටත් විය යුතුමය.

මෙම පනත පවතින ස්වරූපයෙන්ම සම්මත කිරීම, අවදානමට ලක්විය හැකි ප‍්‍රජාවන්ට සාධාරණයක් කිරීමට සහ ඔවුන්ව ආරක්ෂා කිරීමට රජය ලබා දී ඇති සහතික කිරීම් ඉටු කිරීමට අපොහොසත් වීම නිරූපණය කරන බරපතල පසුබෑමකි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගන්නන්ගෙන් අතිමහත් බහුතරයක් ආර්ථික වශයෙන් අවදානමට පවුල්වල සාමාජිකයන් වන අතර, විශේෂයෙන්ම තම ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා කුඩා ණය මත යැපෙන කාන්තාවන් සහ අඩු ආදායම්ලාභී ප‍්‍රජාවන් ඒ අතර වේ. අදාළ අරමුණ ඉටු කර ගැනීමට කිසිසේත්ම සුදුසු නොවන නීති සම්පාදනය කිරීම හරහා, මෙම ප‍්‍රජාවන් ආක‍්‍රමණශීලී ලෙස ණය ලබාදීමේ ක‍්‍රමවේදයන්ට නිරාවරණය වීමේ අවදානමක් රජය විසින් නිර්මාණය කරයි. මෙම නීතිය මගින් වැළැක්වීමට අපේක්ෂා කළේ ද එම අහිතකර තත්ත්වයන්මය.

මෙම නීති සම්පාදනය තුළින් පිළිබිඹු වන්නේ ශ‍්‍රී ලංකාවේ පවතින විනිවිදභාවයකින් තොර සහ අසංවිධානාත්මක ක‍්‍රියාවලියේ අඩුපාඩු නැවත වරක් ඉස්මතු කරයි. මෙම නීතියට අදාළ සංශෝධන සකස් කිරීමේදී සහ ඉදිරි සියලූ‍ම නීති සම්පාදන කටයුතුවලදී, නියම මහජන සභභාගීත්ව ප‍්‍රවේශයක් අනුගමනය කළ යුතුය. එනම්, නීති කෙටුම්පත් කිරීමේ කිරීමෙන් පසුව නොව ප‍්‍රතිපත්ති සම්පාදනයේ සහ නීති කෙටුම්පත් කිරීමේ මුල් අවධියේදීම මහජනතාවගේ සහ විශේෂඥයන්ගේ අදහස් අර්ථවත් ලෙස ලබාගැනීම සහ ඒවා ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවයයි.

Archive

Latest news

Related news