ශ්‍රේෂ්ඨාධිකරණයට කොකා පෙන්වා දඩුවම් ලැබූ සිද්ධාලේප – පොලිස් වධකයකුට ජාජබ ආණ්ඩුවෙන් උසස්වීම්

පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් සිට සහකාර පොලිස් අධිකාරී (ASP) ධුරයට උසස්වීම් ලැබූ භාතිය ජයසිංහ නම් පොලිස් නිලධාරියා ඒ පිළිබඳ සිය සතුට ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. ඒ මෙසේය.

“සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිහිනයක් මෙන්ම අභියෝගයක් ද වේ. අනේකවිධ අභියෝග මැද අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලැබීමි.”

සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ මෙම භාතිය ජයසිංහ කවුරුන්ද යන්න වත්මන් පොලිස්පතිවරයාට අමතක වී තිබිය හැකි වුවත්, අපට නම් එය අමතක නොවන කරුණකි. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු ලෙස වද හිංසා පමුණුවා ඇති බවට හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරුණු නඩුවේ දෙවන වග උත්තරකරු වන්නේ මෙම භාතිය ජයසිංහය.

හිස මුදුනේ සිට දෙපතුල දක්වා පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාතික ජන බලවේග (ජාජබ) ආණ්ඩුවේ කර්තෘවරුන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම්, භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම ගැන කෙසේ හෝ නතර කරනු ඇත. එපමණක් නොව, ඔවුන් පොලිස් දෙපාර්තමේන්තුවේ සීමාවෙන් පවා ඉවත් කරනු ඇත. එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීමට පුරවැසියන් අතර බෙදූ ප්‍රතිපත්ති ප්‍රතිඥා අමතක කොට ජාජබ ආණ්ඩුව ගෙන යන මෙවැනි විකාරරූපී මැදිහත්වීම් පිළිබඳ දිනපතා අසන්නට හා දකින්නට ලැබෙන වටපිටාවක සිද්ධාලේප වදකයකුට උසස් තනතුරක් දීම ගැන පුදුම විය යුතු නැත.

කෙසේ වෙතත්, පොලිස්පතිවරයාට හා ජාජබ ආණ්ඩුවේ කර්තෘවරුන්ට අප ඒ නඩුව පිළිබඳ කෙටියෙන් සිහිපත් කරන්නට කැමැත්තෙමු.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාහසිකත්වය මෙරට ප්‍රසිද්ධියට පත් වූයේ 2011 ජනවාරි මාසයේදී හොරණ මිල්ලෑව කිඳෙල්පිටියෙහි පදිංචි වෙහෙරගෙදර රංජිත් සුමංගල නම් හිටපු යුද හමුදා සෙබළකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මානව හිමිකම් පෙත්සමකට (SCFR 47/2011) ලබා දුන් තීන්දුව නිසාය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වූයේ

1.  පොලිස් කොස්තාපල් බණ්ඩාර, මිරිහාන පොලිස් ස්ථානය

2.  පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ, මිරිහාන පොලිස් ස්ථානය

3.  ප්‍රධාන පොලිස් පරීක්ෂක එගොඩවෙල, මිරිහාන පොලිස් ස්ථානය

4.  අජිත් වනසුන්දර, අංක 255, මාලගල, පාදුක්ක

5.  එම්.ඩබ්. දේශබන්දු තෙන්නකෝන්, පොලිස් අධිකාරී, නුගේගොඩ

6.  මහින්ද බාලසූරිය, පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ

7.  ගරු නීතිපතිතුමා, නීතිපති දෙපාර්තමේන්තුව, අලුත්කඩේ

මෙම මානව හිමිකම් පෙත්සම ඉදිරිපත් කළ රංජිත් සුමංගල 2010 වර්ෂයේ දෙසැම්බර් 15 වන දින සිය රැකියාවට යමින් සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගන්නා ලදී. ඔහු පැහැර ගැනීමට හේතුව වූයේ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් වෙත ලැබුණු නිර්නාමික පෙත්සමකින් සිදු කරන ලද පැමිණිල්ලකි.

එසේ පැහැර ගත් රංජිත් සුමංගල දඹර සුසාන භූමිය වෙත ගෙන ගොස් වද හිංසා පමුණුවා ඇත. වරද නොපිළිගන්නේ නම් ඔහු පණ පිටින් වළලන බවට දෙවන වග උත්තරකාර පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ තර්ජනය කර තිබේ. ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ විසින් පළමු වග උත්තරකරු වූ බණ්ඩාරට මිරිස් කුඩු පිරවූ ෂොපින් බෑග් දෙකක් දී ඒවා රංජිත් සුමංගලගේ හිස ආවරණය වන ලෙස දමන ලෙස නියෝග කර ඇත. පෙත්සම්කාර රංජිත් සුමංගල මිරිස් කුඩු ආශ්වාස කිරීමෙන් පසු මිය යාමට ආසන්න වන විට එම මිරිස් පිරවූ බෑගය හිසෙන් ඉවත් කර තිබේ.

පෙත්සම්කාර රංජිත් සුමංගලට ඉතා දරුණු ලෙස වද හිංසා පමුණුවා ඇති බව අනාවරණය වූයේ ඔහු ඇප මත මුදා හැරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතලේ රෝහලට ඇතුළත් වීමෙනි. මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඔහුගේ ශරීරයේ තිබූ තුවාල පොලිස් අත්අඩංගුවේදී සිදු කළ වද හිංසා සම්බන්ධයෙන් ඔහු හෙළි කළ ප්‍රකාශ සමග ගැළපෙන බවට සහතික කළේය.

රංජිත් සුමංගල සිය පෙත්සමේ සඳහන් කර ඇති වද හිංසා ක්‍රම:

–   “මගේ කකුල් දෙක බැඳලා ඔළුව පහතට දාලා එතැන තිබුණු වතුර පොකුණට ඔබන ලදී. හුස්ම ගන්න බැරුව දඟලන විට ගොඩට ගත් අතර, නැවත නැවතත් එසේ කෙරිණි.”

–   “මිරිස් කුඩු, පෙට්රල් හා ෂොපින් බෑග් ගෙනැවිත් තිබුණි. ෂොපින් බෑග්වලට පෙට්රල් දමා මුහුණට ඇල්ලුවා.”

–   “පසුව මා නිරුවත් කර පුරුෂ ලිංගයේ මිරිස් කුඩු තැවරුවා.”

තවද, එවකට නුගේගොඩ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් එහි පැමිණ රංජිත් සුමංගල ඇතුළු අනෙකුත් සැකකරුවන්ට රබර් හෝස් බටයකින් පහර දෙමින් සිද්ධාලේප ලබා දී ඒවා ලිංගේන්ද්‍රයන්හි ආලේප කරන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව සැකකරුවන් විසින් එම සිද්ධාලේප තම ලිංගේන්ද්‍රයන්හි ආලේප කරගෙන ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

මෙම මානව හිමිකම් පෙත්සමේ වග උත්තරකරුවන් රංජිත් සුමංගලගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම තීන්දුවට අනුව:

1.  වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිය පුද්ගලික මුදලින් රුපියල් මිලියන දෙකක (රු. 2,000,000) වන්දියක් වින්දිතයාට ගෙවිය යුතුය.

2.  රජය මගින් අමතර වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක (රු. 100,000) මුදලක් ගෙවිය යුතුය.

3.  වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් කොමිෂමට නියෝග කර තිබේ.

නීතිය ඉදිරියේ පොලිස් කොමිෂමේ අකීකරුකම

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහට එරෙහිව පොලිස් කොමිෂම විනය ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණි. එහෙත් පොලිස් කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගය අධෝවාතයක් තරම්වත් ගණන් නොගත් බව පැහැදිලිය. ලංකාවේ පොලිස් කොමිෂම ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා බලසම්පන්න බව මෙවැනි සිද්ධීන්ගෙන් සිතාගත හැකිය.

භාතිය ජයසිංහ සහකාර පොලිස් අධිකාරී ධුරයට පත්වීම පිළිබඳ සිතන විට මෙරට නීතිය මෙතරම් අවප්‍රමාණයට පත්වීම ගැන පුරවැසියන් වශයෙන් අපට දැනෙන්නේ දැඩි කම්පනයක් හා කණගාටුවකි. සමහර විට අනාගතයේදී ආණ්ඩුවට එරෙහි විය හැකි පුරවැසියන්ගේ ලිංගේන්ද්‍රයේ සිද්ධාලේප උලා මට්ටු කරන්නට පුරුද්දක් ඇති පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා දී තමන්ගේ වහලුන් ලෙස ළඟ තබාගෙන සිටීම හොඳ යැයි “පොලිස් ඇමති ඩබල්” හිතාගෙන සිටින්නට ද පුළුවන.

ලංකා දවස අඩවියෙහි පළ වූ ලිපියක් ඇසුරිණි

 

Archive

Latest news

Related news