විප්ලවවාදියෙකුගේ සිට මාධ්‍යවේදියකු කරා: වික්ටර් අයිවන් නම් දේශපාලන ප්‍රහේලිකාව – ලයනල් බෝපගේ
වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරකට පසුවත්, ඔහුව නිර්වචනය කළ ප්‍රතිවිරෝධතා තවමත් ජීවමාන ව පවතී. ඔහු ජීවිත කාලය පුරාම පාර්ශ්වික-ආබාධිත බවක් ද ඇතුළු සියළු දුෂ්කරතාවන්ට මුහුණ දී, ශ්‍රී ලාංකික මාධ්‍ය මත නොමැකෙන සලකුණක් තබා ගිය කැපී පෙනෙන පුද්ගලයන්ගෙන් කෙනෙක් විය හැකිය. බර්ට්‍රන්ඩ් රසල්ගේ සහ මහත්මා ගාන්ධිගේ කෘතිවලින් හැඩ ගැන්වුන ක්‍රියාකාරිකයෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු සහ කතුවරයෙකු වූ ඔහු කිසි විටෙකත් දේශපාලනිකව මධ්‍යස්ථ ව සිටියේ නැත. බොහෝ විට අස්ථාවර වූ ඔහුගේ පක්ෂපාතිත්වයන් අනපේක්ෂිත අන්දමින් විතැන් විය. ඔහු ප්‍රතිවිරුද්ධ අදහස්වලට ඉඩ ලබා දුන්නද, ඔහු එසේ කළේ ඔහුගේ ම වූ කොන්දේසි මත පමණකි.
පුවත්පත් කලාවේ ප්‍රතිවිරෝධතා මූර්තිමත් කිරිමක්
පොඩි අතුල ලෙස ද හැඳින්වුන වික්ටර් අයිවන්, ශ්‍රී ලංකා දේශපාලන ක්‍රියාකාරිත්වයේ සහ පුවත්පත් කලාවේ ප්‍රතිවිරෝධතා මූර්තිමත් කළේය. විප්ලවකාරී කැරලිකරුවෙකුගේ සිට පුරෝගාමී ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු දක්වා වූ ඔහුගේ ගමන, ආකූල සමාජයන් තුළ බලයට අභියෝග කරන අය තරණය කල සංකීර්ණ සදාචාරාත්මක බිම් පෙදෙස හෙළිදරව් කරයි. ඔහුගේ උරුමය විවාදාත්මක ව පවතී. ඇතමෙක් එඩිතර සත්‍ය ප්‍රකාශ කරන්නෙකු ලෙස සැමරූ අතර, අනෙක් අය, ප්‍රතිපත්ති සහ පැවැත්ම අතරේ නොසන්සුන්කාරී පහසුවකින් සැරිසැරූ අවස්ථාවාදී දේශපාලන චරිතයක් ලෙස ඔහුව විවේචනයට ලක් කලේය.
විප්ලවවාදියාගේ සිට ප්‍රතිසංස්කරණවාදියා දක්වා
වික්ටර් අයිවන්ගේ දේශපාලන පිබිදීම ඇති වූයේ පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) බවට පත් ‘ව්‍යාපාරය’ සමඟ ඔහු පැවැත්වූ සම්බන්ධතාවෙනි. 1971 අප්‍රේල් නැගිටීමට පෙර ‘විසි දෙකේ කමිටුවේ’[i] සාමාජිකයෙකු ලෙස ඔහු සංවිධානයේ යුද සූදානම සම්බන්ධව වැදගත් වගකීමක් ඉසිලීය. රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමඟ පෙල ගැසී සිටි ඔහුට විශේෂයෙන්, ව්‍යාපාරය සඳහා ආයුධ සෑදීම – ආරම්භක ක්‍රියා පටිපාටිය බොහෝ මන්දගාමී බව දැන ගත් විට අත් බෝම්බ නිෂ්පාදනය අධීක්ෂණය කිරීම – පවරන ලදී.
ආවේණික ලෙස රැඩිකල් ප්‍රවේශයක් ගත් ඔහු, පිපිරීම ආරම්භ කිරීම සඳහා ගිනිකූරකින් දැල්විය හැකි වැටියක් හඳුන්වා දුන්නේය. කෙසේ වෙතත්, ඔහුගේ උද්යෝගය ඔහුගේ ප්‍රවේසම ඉක්මවා ගියේය. ඇල්පිටියේ පැවති ‘විසි දෙකේ කමිටු’ වාරයක දී, පිටතට විසි කිරීමට පෙර නිවස තුළ දී දල්වා එහි මුල් ආකෘතියක් ප්‍රදර්ශනය කරන්නට ඔහු උත්සාහ දැරීය. මැටි බිත්තිය සිදුරු කරමින් එය අකාලයේ පුපුරා ගියේය. මෙම අතිධාවනකාරී හැසිරීම අවසානයේ ඔහුට ඔහුගේ මරණය දක්වා නිරන්තරයෙන් සත්කාර කිරීම අවශ්‍ය කරමින්, ආබාධිත වූ වම් අතක් ඉතිරි කර ගිය වඩා බරපතළ අනතුරක් ඇති කළේය.
නඩු විභාගය සහ මතවාදී විතැන් වීම
අසාර්ථක වුන 1971 අප්‍රේල් කැරැල්ල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය. වික්ටර් අයිවන්, අග විනිසුරු එච් එන් ජී ප්‍රනාන්දු ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් හමුවේ ක්වීන්ස් ක්ලබ් හි පැවැත්වූ අපරාධ යුක්ති කොමිෂන් සභා ප්‍රධාන නඩු විභාගයේ හත් වන විත්තිකරු වූයේය. ඔහු, අප්‍රේල් නැගිටීමේ ප්‍රධාන නිර්මාපකයන් ලෙස සැලකූ තවත් විත්තිකරුවන් හතළිස් දෙදෙනෙක් සමඟ නඩු විභාගයට පෙනී සිටියේය. රැජිනගේ ආණ්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීමේ සහ රැජිනගේ ආණ්ඩුවට සහ රාජ්‍යයට එරෙහිව යුද්ධ කිරීමේ චෝදනාවලට වරදකරු කරනු ලැබූ ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කරන ලදි.
කෙසේ වෙතත්, නඩු විභාගය ආරම්භ වීමටත් පෙර සිටම ඔහු ජනතා විමුක්ති පෙරමුණ සහ මාක්ස්වාදය යන දෙකම අතහැර දමා තිබුණි. මැගසින් බන්ධනාගාරයේ A වාට්ටුවේ රඳවා සිටියදී හෝ ඊට පෙර, ඔහු දැඩි මතවාදීමය වෙනස් වීමකට බඳුන් වි තිබුණි. ශ්‍රී ලංකාව පුරා පිහිටුවා තිබුන රැඳවුම් මධ්‍යස්ථාන, රැඳවියන් නැගිටීම විවේචනාත්මකව පරීක්ෂාවට ලක් කල සහ දේශපාලන ස්ථාවරයන් විවාදයට බඳුන් කල අනියම් විශ්ව විද්‍යාල බවට පත් විය.
සන්නද්ධ අරගලයේ ස්වභාවය පිළිබඳව, විශේෂයෙන් “ඉන්දියානු ව්‍යාප්තවාදය”[ii] යන මාතෘකාව යටතේ ජවිපෙ පැවැත්වූ පන්තිය පිළිබඳව විවාදයන් පැවතුණි. කෙසේ වෙතත්, වික්ටර් අයිවන්ගේ පාවී යෑමේ ස්වභාවය නොවරදින සුළු විය. ඔහු, තමා සතුව තිබූ නායකත්ව මෙහෙවර නොතකා, තමන්වම නිර්දෝෂ බවට පත් වෙමින්, අනෙකුත් ජවිපෙ නායකයින් මත මුළුමණින්ම වරද පටවමින්, ව්‍යාපාරය සාමූහික ව සිදු කරන ලද දේශපාලනය අවතක්සේරු කිරීමට පටන් ගත්තේය.
MI5 නමැති බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ඒකකයේ උපදෙස් අනුව කටයුතු කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශකයින් සමඟ මතභේදාත්මක ලෙස සමීප වූ ඔහු, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කළේය. ඔහු, ජවිපෙට එරෙහි ව සභාග ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරයට සහ පැමිණිල්ලට සෘජු හෝ වක්‍ර අයුරින් ලෙස සහාය වූ සාක්ෂිකරුවෙකු බවට පත් විය. මෙම මුල් විතැන් වීම, එනම් ඔහුගේ ආධාරකරුවන් දුටු අන්දමට, ඔහු දැරූ ස්ථාවරය සඳහා අවශ්‍ය වූ විට, නැතහොත් ඔහුගේ විවේචකයන් විශ්වාස කළ අන්දමට, අවස්ථාවක් ලැබුණු විට පෙර තිබූ පක්ෂපාතිත්වයන් බිඳ දැමීමට ඔහු දැක්වූ කැමැත්ත, ඔහුගේ මුළු වෘත්තීය ජීවිතය ම නිර්වචනය කරන රටාවක් සැකසීය.
ගවේෂණ පුවත්පත් කලාවේ උපත
1977 දී අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත (CJC) අවලංගු කර, ඒ යටතේ වරදකරුවන් කරන ලද අයට සමාව දුන් විට, වික්ටර් අයිවන් නිදහස ලැබීමෙන් පසු කෙටි කලකට ලංකා සමසමාජ පක්ෂයට එක් විය. ජනතා විමුක්ති පෙරමුණේ ඔහුගේ හිටපු සගයන් ඉලක්ක කර ගෙන ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවූ ඔහු, 1981 දී ගාල්ල අතුරු මැතිවරණයට පවා තරඟ කළ නමුත් ඔහුගේ මැතිවරණ ප්‍රතිඵලය බලාපොරොත්තු සුන් කරවන සුළු විය.
ඔහුගේ විප්ලවකාරී ශක්තිය අවසානයේ අවශෝෂණය කර ගත්තේ පුවත්පත් කලාවයි. ඔහු ආරම්භ කළ රාවය පුවත්පත ඔහුගේ ප්‍රධාන බලපෑමේ මාධ්‍යය බවට පත් විය. එය ශ්‍රී ලංකාවේ බලවත්ම හඬක් බවට පත් කරමින් වසර විසිපහක් පුරා ඔහු මෙම ප්‍රකාශනය සංස්කරණය කලේය. කලින් අත තැබිය නොහැකි යැයි සැලකූ විෂයයන් වන දූෂණය, මානව හිමිකම් උල්ලංඝන, අධිකරණ විෂමාචාර සහ රට පීඩාවට පත් කළ සමූහ අතුරුදහන් කිරීම් ගැන අවධානය යොමු කළ රාවය පුවත්පත සිංහල මාධ්‍යයට අව්‍යාජ ගවේෂණාත්මක පුවත්පත් කලාව හඳුන්වා දුන්නේය.
පුවත්පත් කලාව කෙරෙහි ඔහු දැක්වූ ප්‍රවේශය සෘජුවම පදනම් වූයේ ජනතා විමුක්ති පෙරමුණ ඔහු තුළ ඇති කළ දේශපාලන හැඩ ගැස්මෙනි. ව්‍යාපාරය විසින් රෝපණය කරන ලද ගුණාංග – කැපවීම, අධිෂ්ඨානය සහ කැප කිරීමට ඇති කැමැත්ත – බාධාවකින් තොරව ම ඔහුගේ පුවත්පත් කලාවට පරිවර්තනය විය. ඔහු, යොවුන් වියේ දී ජනතා විමුක්ති පෙරමුණ සමඟ සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ සාර්ථක මාධ්‍යවේදී පරම්පරාවක කොටසක් බවට පත් විය.
දේශපාලන බලපෑම් සහ ඒවායේ සීමා මායිම්
අතුරුදහන් කිරීම් පිළිබඳව ඔහු කරන ලද හෙළිදරව් කිරීම් ප්‍රධාන දේශපාලන ගැටළුවක් බවට පත්ව තිබිණි. එවැනි හෙළිදරව් කිරීම්, දාහත් වසරක දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා කර, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය තෝරා පත් කර ගැනීම සඳහා සැලකිය අන්දමින් දායක වූයේය. වික්ටර් අයිවන් මෙම දේශපාලන විතැන් වීමේ දී, හුදු වාර්තාකරණය බොහෝ සේ ඉක්මවා ගිය බලපෑමක් විදහා පෙන්වමින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලේය. වෙනසක පොරොන්දුව විශ්වාස කරමින්, හිටපු ජනාධිපතිනියගේ පාලනය බලයට ගෙන එන්නට වෙහෙස නොබලා කටයුතු කළ බොහෝ දෙනා අතර ඔහු ද සිටියේය. බලයට ගෙන එන්නට ඔහු සහාය දුන් කිසිදු දේශපාලන බලවේගයක් තුළ අධිකාරි තනතුරු ලබා ගන්නට කිසිදාක උත්සාහ නොදැරීම ගැන වික්ටර් අයිවන් ප්‍රශංසාවට ලක් විය යුතුය.
එහෙත්, එම සම්බන්ධතාවය ඉක්මනින් පළුදු විය. කුමාරතුංග මහත්මිය තේරී පත්වීමට උදව් කිරීමෙන් පසු, ජනාධිපතිනිය පිළිබඳව අතිශය අප්‍රසන්න විවේචනයක් වූ ‘චෞර රැජින’ රචනා කල ඔහු, ආවේණික කෲරත්වයෙන් යුතුව ඇයට විරුද්ධ විය. විශ්‍රාම යාමෙන් පසු ඇය කැබිනට් අනුමැතිය සහිතව රජයේ ඉඩමක් අත්පත් කර ගත් විට වික්ටර් අයිවන් එය නැවත රජයට පවරා දීම සඳහා සාර්ථක අන්දමින් නඩු පැවරීය. ඔහුගේ විවේචනය නිශ්චිත නීතිමය ක්‍රියාමාර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව එයින් විදහා දැක්විණි.
අත තැබිය නොහැකි අයට අභියෝග කිරීම
වික්ටර් අයිවන්ගේ ඉතාමත් වැදගත් දායකත්වය වූයේ ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳව ඔහු කළ එඩිතර විවේචනයයි. නඩු පවරමින් සහ දිගු කලක් දඬුවම් නොලබා ක්‍රියාත්මක වූ ආයතනවලින් වග වන ලෙස ඉල්ලා සිටිමින් ඔහු අගවිනිසුරු සරත් නන්ද සිල්වා[iii] සහ මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක[iv] සම්බන්ධව දූෂණ හෙළිදරව් කළේය. ඉහළම අධිකරණ නිලයන් පවා ප්‍රශ්න කිරීමට ලක් කල හැකි බව පෙන්නුම් කළ ඔහුගේ ක්‍රියාකාරිත්වය විමර්ශන කමිටු පිහිටුවා ලීමට බල කර සිටියේය.
කුලය පිළිබඳ නිබන්ධනය
ඔහුගේ බුද්ධිමය දායකත්වය පුවත්පත් කලාවෙන් ඔබ්බට විහිදුණි. සිරගත කර සිටියදී ඔහු පුළුල් ලෙස ලිවීමේ නිරත විය. එසේ කිරීමේ දී ඔහු වෙනස්කම් කරන කුල ක්‍රමය, දකුණේ ජවිපෙ කැරලි සහ උතුරේ දෙමළ සටන්කාමී ව්‍යාපාර යන දෙකටම තීරණාත්මක වූ බවට විවාදාත්මක නිබන්ධනයක් ඉදිරිපත් කළේය.
කුලය ගැන සාකච්ඡා කිරීම තහනම් බවට සැලකූ කාලයක ඔහු දිගටම කල විශ්ලේෂණය, ශ්‍රී ලංකාවේ යලි යලිත් ඇති වන සමාජ අර්බුද තුල කුලය ඉටු කරන භූමිකාව පිළිගැනීමට ශාස්ත්‍රඥයින්ට අවසානයේ දී බල පෑවේය. ඔහුගේ පසුකාලීන කෘතිවල දී, කුලය අනුව වෙනස්කම් කිරීම බෞද්ධ දේශපාලන ප්‍රවණතාවලට බලපෑ ආකාරය ද, නිදහසින් පසු කුල ක්‍රමය ශ්‍රී ලංකා දේශපාලනය හැඩ ගස්වා ඇති ආකාරය ද පිළිබඳව ඔහු ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය.
එහෙත් ඔහුගේ විශ්ලේෂණ ක්‍රමවේදය ඇතැම් විට මනෝමූල නිගමනවලට මඟ පෑදීය. 1960 ගණන්වල අගභාගයේ සහ 1970 ගණන්වල ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනය හා ව්‍යාප්තිය විග්‍රහ කරන විට, නායකත්වය නිශ්චිත කුල කණ්ඩායම් කෙරෙහි අවධානය යොමු කර කටයුතු කර ඇති බව නිගමනය කළ ඔහු, එම වර්ධනය ප්‍රධාන වශයෙන් කුල සාධකවලට ආරෝපණය කලේය. කෙසේ වෙතත්, වඩාත් දැඩි ලෙස කළ විශ්ලේෂණයක් ඊට වඩා වෙනස් නිගමනයක් කරා එළඹෙන්නට ඉඩ තිබුණි. එනම්, ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් කුල පාදක ප්‍රජාවන් අතර ව්‍යාප්ත වූයේ එම ප්‍රජාවන් සමාජ-ආර්ථික හා දේශපාලන පීඩනයට ලක් ව සිටි නිසා බවයි.
පරස්පර දේශපාලනය
වික්ටර් අයිවන්ගේ දේශපාලන පෙළ ගැසීම් ඔහුගේ ඉතාමත් මතභේදාත්මක අංගය ලෙස පැවතුනේය. ඇතැම් විට ඔහු කලින් විවේචනය කළ නායකයන් ට සහයෝගය දක්වමින් විවිධ දේශපාලන නායකයින් සමඟ සම්බන්ධතා පවත්වා ගත්තේය. රාජපක්ෂ පවුල සමඟ පැවති ඔහුගේ සම්බන්ධතාවය, මෙම සංකීර්ණත්වය එහි තියුණු ම ස්වරූපයෙන් සංකේතවත් කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 2012 රාවය පුවත්පතේ විසිපස් වන සංවත්සරයේ දී වික්ටර් අයිවන්, එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රශංසා කරමින් ද, සියළු දේශපාලන බලවේගවලට පාලන තන්ත්‍රය පසුපස එක්සත් වන ලෙස ඉල්ලා සිටිමින් ද විචාරකයින් ‘සමච්චල්කාරී ප්‍රශංසාවක්’ ලෙස හැඳින්වූ කතාවක් පැවැත්වීය.
මෙය, ඔහුගේ සුවිශේෂී විවේචනාත්මක ස්වරය අපේක්ෂාවෙන් සිටි බොහෝ දෙනෙකුගේ කම්පනයට හේතු විය. ඔහු සිංහල බෞද්ධ ආධිපත්‍යය සහ යුද ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි අයෙක් බවට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි. තමන්ගේම වූ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ (LLRC) නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පාලන තන්ත්‍රයකින් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලා සිටියේය. විචාරකයන් මෙය දුටුවේ – ඔහුගේ හිටපු සගයන්ට එරෙහිව බලධාරීන් සමඟ 1971 දී ඔහු පැවැත්වූ සහයෝගීතාවය සිහිපත් කරවන දේශපාලනික යටත් වීමක් ලෙසයි.
එහෙත් වෘත්තාන්තය සරල අවස්ථාවාදයට වඩා සංකීර්ණ එකක් ලෙස පැවතුණි. වික්ටර් අයිවන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඒකාධිපති ප්‍රවණතා සහ ෆැසිස්ට්වාදය පිළිබඳව චෝදනා එල්ල කරමින් ඔහු පිළිබඳ ඉතාමත් තියුණු විවේචකයෙකු බවට පත් විය. ක්‍රම පද්ධතියේ වැරදි ක්‍රියා ගැන හඬ නැගූ ඔහු, ඒ හා සමගාමීව එවැනි ක්‍රම පද්ධති නඩත්තු කළ අය සමඟ සහජීවනයෙන් කල් ගෙවීය.
කල් පවත්නා ප්‍රශ්න
දේශපාලන හවුල්කරුවෙකු ලෙස සේවය කරමින් සහ රජ කරවන්නෙකු ලෙස කටයුතු කරමින්, දේශපාලන ප්‍රවේශය උදෙසා ඔහු මාධ්‍යවේදී නිදහස අතරමග සමාදානයට ලක් කල බව කියමින් වික්ටර් අයිවන්ගේ විචාරකයෝ ගැලපීමක් නොමැතිකම ගැන ඔහුට චෝදනා කළහ. පුවත්පත් කලාව හදාරන සිසුන් ඔහුව දුටුවේ අපහසුතාවෙන් පෙළෙන මාදිලියක් ලෙසයි. ඔහු දැක්වූ ධෛර්යය ප්‍රතික්ෂේප කළ නොහැකි වූ නමුත් ඔහුගේ විතැන් වන පක්ෂපාතිත්වයන් ඔහුගේ අවංකත්වය පිළිබඳ ප්‍රශ්න මතු කළේය.
ඔහුව ආරක්ෂා කළ අය විරුද්ධ වූයේ, ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීම සඳහා බලයට ඇති සමීපතාව යොදා ගනිමින් ඔහු අතිශය භයානක පරිසරයක ක්‍රියාත්මක වූ බව යි. දූෂණය පිළිබඳ ඔහු නොකඩවා කළ හෙළිදරව් කිරීම්, ක්‍රම පද්ධතිය ගැන ඔහු කළ විවේචන සහ අධිකරණයට අභියෝග කිරීමට ඔහු තුළ තිබූ කැමැත්ත, ප්‍රතිසංස්කරණ කෙරෙහි ඔහු තුළ තිබූ සැබෑ කැපවීම පිළිබඳ සාක්ෂි ලෙස ඔව්හු පෙන්වා දුන්හ.
දෘෂ්ටිකෝණ දෙකෙහි ම සත්‍යයේ අංශු මාත්‍රයක් ගැබ්ව ඇත. මාක්ස් විස්තර කළ පරිදි, එක මෙහෙවරකට සීමා වූ “දිළිඳු” පුද්ගලයා සහ බහුවිධ ප්‍රකාශන හැකියාව ඇති “ධනවත්” පුද්ගලයා අතර පවතින ආතතිය වික්ටර් අයිවන් මූර්තිමත් කළේය. ජීවිතයේ විවිධ අවධීන්හි දී ඔහු විප්ලවවාදියෙකු හා ප්‍රතිසංස්කරණවාදියෙකු ගේ, විචාරකයෙකු හා සහකරුවෙකු ගේ, ප්‍රතිපත්ති ගරුක ගවේෂකයෙකු හා දේශපාලන ප්‍රයෝජ්‍යතාවාදියෙකු ගේ භූමිකා රඟ දැක්වීය.
උරුමය සහ පාඩම්
ශ්‍රී ලාංකික මහජන කතිකාව ගැඹුරින් හැඩ ගැස්වූ පුද්ගලයෙක් ලෙස වික්ටර් අයිවන් දිවියෙන් සමු ගත්තේය. ඔහු සිංහල මාධ්‍යයට ගවේෂණාත්මක පුවත්පත් කලාව හඳුන්වා දුන්නේය; අත තැබිය නොහැකි ආයතනවලට අභියෝග කළේය; සමාජය දිගු කලක් තිස්සේ මග හැර තිබූ කුලය, දූෂණය සහ පාලනය පිළිබඳ සංවාද දියත් කිරීමට බල කළේය.
එහෙත් ඔහුගේ උරුමය, අධිකාරවාදී සන්දර්භයන් තුළ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මුහුණ දෙන සදාචාරාත්මක සංකීර්ණතා පිළිබඳව අපහසු ප්‍රශ්න මතු කරයි. උපාය මාර්ගික සහයෝගීතාවය කොන්දේසි විරහිත යටත් වීමක් බවට පත් වන්නේ කවර විටද? ප්‍රයෝජ්‍යතාවාදය අවස්ථාවාදය බවට පත් වන්නේ කවර විටද?
ඔහුගේ අවසාන දිනවල ඔහු දුටු 2022 අරගල විරෝධතා ව්‍යාපාරය, ශ්‍රී ලංකාවේ ක්‍රම පද්ධතිය පුළුල් ලෙස දිරාපත් ව ඇති බවට පැවති විශ්වාසය සනාථ කලේය. සියළු රාජ්‍ය ආයතන කෙරෙහි විරෝධතාකරුවන්ගේ විශ්වාසය අහිමි වීම ප්‍රතිරාවය කළේ ඔහු සිය වෘත්තීය ජීවිතය පුරා කළ විවේචනයන් ය. එහෙත්, ක්‍රම පද්ධති වෙනසක් ක්‍රියාකාරී ලෙස ඉල්ලා සිටීම සඳහා ඔහුට සිය විප්ලවීය මූලයන් වෙත ආපසු යන්නට නොහැකි විය – නැතහොත් එසේ නොයන්නට ඇත.
වික්ටර් අයිවන්ගේ ජීවිතය, අභියෝගාත්මක වකවානුවල දී දේශපාලන ක්‍රියාකාරිත්වය නිර්වචනය කරන සම්මුතීන් සහ ප්‍රතිවිරෝධතා පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් ලෙස සේවය කරයි. වීරයෙකු ලෙස හෝ අවස්ථාවාදියෙකු ලෙස සැලකුව ද, ශ්‍රී ලාංකික මාධ්‍ය සහ දේශපාලනය කෙරෙහි ඔහු දැක්වූ බලපෑම අවිවාදිත ය. ඔහු දූෂණය හෙළිදරව් කළේය; බලයට අභියෝග කළේය; හිතාමතා සවන් දෙනු නොලැබූ අයට හඬක් ලබා දුන්නේය.
ඇතැම් විට වඩාත්ම අවංක තක්සේරුව වන්නේ, ඔහුගේ දේශපාලනයේ දී දෝෂ සහගත වූ නමුත් සත්‍යය කතා කිරීම අත්‍යවශ්‍ය බවට ඔහු තුල පැවතුණ විශ්වාසයේ නොසැලී සිටිමින් වික්ටර් අයිවන් අතිශයින්ම මානුෂික වූ බව යි. කුරිරු යථාර්ථය විසින් පදම් කරන ලද විප්ලවකාරී පරමාදර්ශය, නොනැසී පැවැත්මේ අවශ්‍යතාවය විසින් අතරමග සමාදානයට ලක් කරන ලද ධෛර්යය, සහ නිර්දය ඉල්ලීම් මගින් පරීක්ෂාවට ලක් කරන ලද ප්‍රතිපත්ති සමන්විත කල ශ්‍රී ලාංකික දේශපාලන සවිඥානකත්වයේ ප්‍රචණ්ඩකාරී ගවේෂණය මූර්තිමත් කළේය.
යොවුන් විප්ලවකාරී උද්‍යෝගය පිළිබඳ ස්ථිර සිහි ගැන්වීමක් වුන ඔහුගේ ආබාධිත වම් අත, මුල්කාලීන පරමාදර්ශ වාදයෙන් කැළැල් වුනු, වේදනාකාරී පාඩම් මගින් හැඩ ගැස්වුණු, හා ඔහුට කිසිදා මුළුමණින් විසඳා ලිය නොහැකි වුනු ප්‍රතිවිරෝධතා මගින් සදහටම සලකුණු කළ ඔහුගේ සමස්ත ජීවිතය ම සංකේතවත් කළේය.
මෙම ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුවද ඔහු නොකඩවා සටන් කළ බව, ලිවීමේ නිරත වුන බව සහ අභියෝග කළ බව ඔහුගේ සත්‍යවාදී උරුමය වේ.
2026 පෙබරවාරි 11 වන දා
[i] ‘ව්‍යාපාරයේ’ අනියම් මධ්‍ය කමිටුව.
[ii] “ඉන්දියානු ව්‍යාප්තවාදය” නමැති මතවාදය, චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) සහ චීන රාජ්‍ය මාධ්‍ය විසින් ඉන්දියාව දේශ සීමාවේ කරන ලද කටයුතු ආක්‍රමණශීලී, ව්‍යාප්ත වාදී සහ යටත් විජිතවාදී ලෙස රාමු කිරීම සඳහා සකස් කර භාවිතා කරන ලද වෘත්තාන්තයකි. 1962 චීන-ඉන්දියානු යුද්ධය බොහෝ දුරට මෙම තරඟකාරී ප්‍රකාශ මගින් අවුළුවා ලන ලද අතර, ෂී ජින්පිං යටතේ මෙම මතවාදය යළි අවධාරණය කරන ලදි.
[iii] වික්ටර් අයිවන්, රාවය පුවත්පතේ කතුවරයා ලෙස සරත් නන්ද සිල්වාට එරෙහිව දැඩි හා දීර්ඝ සටනක් මෙහෙයවීය. මෙය ශ්‍රී ලංකාවේ ස්වාධීන පුවත්පත් කලාවේ දියුණුවට කළ විශිෂ්ට දායකත්වයකි. මෙම නඩු සහ වාර්තා ලේඛනගත කල ඔහු පසුව ඒවා ප්‍රකාශයට පත් කළේය.
[iv] ශ්‍රී ලංකාවේ හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට එරෙහි නඩුවට, දැඩි සේ බලය අයුතු ලෙස යොදා ගැනීම, ලිංගික අපචාර සහ එම ක්‍රියාවන් පසුව වසන් කිරීම යන චෝදනා ඇතුළත් විය. පසුව එය වාර්තා චිත්‍රපටයකට නැඟුණ එය, පසුව සැලකිය යුතු මහජන විවාදයට පත් මාතෘකාවක් බවට පත් විය.